Tag: meethotamulla

  • පමා වූ යුක්තිය – මීතොටමුල්ල

    පමා වූ යුක්තිය – මීතොටමුල්ල

    මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් පසු සිදු වූ ජීවිත හානි ඇතුළු ඛේදවාචක මාලාව අනතුරක් නොව සාපරාධී නොසලකා හැරීමක ප්‍රතිඵල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ .

    මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 මාර්තු 31 ප්‍රකාශයට පත් කරන ලදී මෙම තීන්දුව මගින් කොළඹ මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව අධිකරණය නිගමනය කර ඇත.

    මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය යනු හුදෙක් එක් දිනක සිදු වූ ස්වභාවික විපතක් නොව, වසර ගණනාවක් පුරා රාජ්‍ය තන්ත්‍රයේ පැවති අදූරදර්ශී බව සහ වගකීම් විරහිතභාවය මැනවින් නිරූපණය කරන කැඩපතකි. 2017 වසරේ අප්‍රේල් මස 14 වැනිදා මුළු රටම සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල නිරත වෙද්දී, මීතොටමුල්ල වැසියන්ට උරුම වූයේ යෝධ කුණු කන්දකට යට වී පණපිටින් වැලලීමට සිදු වූ මහා ඛේදවාචකයකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 මාර්තු 31 වැනි දින ලබා දුන් තීන්දුව මගින් මෙරට පාරිසරික යුක්තිය පසිඳලීමේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළා ඇත. විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ලියන ලද මෙම තීන්දුව මගින් රාජ්‍ය ආයතන රැසක් සිය ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැර ඇති බවත්, ඒ හරහා පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් බරපතල ලෙස කප්පාදු කර ඇති බවත් ඉතා තර්කානුකූලව පෙන්වා දී තිබේ.

    මෙම නඩුකරය ගොනු කරන ලද්දේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි නුවන් බෝපගේ ඇතුළු පෙත්සම්කරුවන් අට දෙනෙකු සහ ප්‍රේමලාල් පෙරේරා ඇතුළු තවත් පෙත්සම්කරුවන් පිරිසක් විසිනි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නඩුව වෙනුවෙන් පෙනී සිට ඇත.

    ඔවුන් සියලු දෙනාම මෙම යෝධ කුණු කන්ද නිසා පීඩාවට පත් වූවන් වන අතර, දෙවන පෙත්සම්කරු වූ කීර්තිරත්න පෙරේරා සිය බිරිඳ, දියණිය, බෑණනුවන් සහ මිණිබිරිය යන සිව්දෙනාම මෙම විපතින් අහිමි කර ගත් අයෙකි. පෙත්සම්කරුවන් මුලින්ම අධිකරණය හමුවට පැමිණියේ 2015 වසරේදී වන අතර, එවකට ඔවුන් අනතුරු ඇඟවූයේ දිනකට කුණු ටොන් 750ක් සහ 1200ක් අතර ප්‍රමාණයක් මෙම ස්ථානයට බැහැර කිරීම නිසා තමන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවයි. ඔවුන් එදින කියා සිටි පරිදිම, වසර දෙකකට පසු සිදුවූ මහා විනාශය වළක්වා ගැනීමට තිබූ අවස්ථා බලධාරීන් විසින් හිතාමතාම මගහැර තිබූ ආකාරය නඩු විභාගයේදී ඉතා පැහැදිලිව අනාවරණය විය.

    මීතොටමුල්ල කුණු කන්දේ මාරාන්තික ගමන ආරම්භ වූයේ 2009 වසරේදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පැවති කුණු බැහැර කිරීමේ අර්බුදයත් සමඟය. එවකට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කුණු බැහැර කිරීම අධිකරණ නියෝගයක් මත තහනම් කළ විට, කොළඹ නගරයේ එකතු වන අපද්‍රව්‍ය බැහැර කිරීමට විකල්පයක් ලෙස කොළඹ මහා නගර සභාව විසින් මීතොටමුල්ලේ පිහිටි පොතුවිල් කුඹුර නම් ඉඩම හඳුන්වා දෙන ලදී. ඒ අනුව 2009 අප්‍රේල් 27 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලික පියවරක් ලෙස අක්කර දෙකක (2) භූමි ප්‍රමාණයක පමණක් කුණු බැහැර කිරීමට කොළඹ මහා නගර සභාවට අවසර ලබා දුන්නේය. මෙම අවසරය වසරක කාලයකට පමණක් සීමා වනු ඇතැයි නගර සභාවේ නීතිඥයින් එදින අධිකරණයට සහතික වී තිබූ නමුත්, එම තාවකාලික අවසරය මුවාවෙන් වසර අටක් පුරා නීති විරෝධී ලෙස අක්කර 18ක් දක්වා වූ විශාල භූමි ප්‍රදේශයක කුණු බැහැර කිරීම සිදු විය. මෙය හුදෙක් සීමාව ඉක්මවා යාමක් නොව, අධිකරණ නියෝගය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව විනිසුරු මඬුල්ල අවධාරණය කළහ.

    අධිකරණය විසින් මෙම තීන්දුවේදී ‘නිසි අපද්‍රව්‍ය බැහැර කිරීම’ (Proper Disposal) යන සංකල්පය පිළිබඳව ඉතා පුළුල් සහ විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. නගර සභා ආඥාපනතේ 129 වගන්තිය ප්‍රකාරව කුණු “බැහැර කිරීම” යනු හුදෙක් එක් ස්ථානයකට ගෙන ගොස් ගොඩගැසීම නොවන බව අධිකරණය පෙන්වා දුන්නේය. විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ නිසි බැහැර කිරීමක් යනු අපද්‍රව්‍ය වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය, කොම්පෝස්ට් කිරීම සහ පරිසර හිතකාමී ලෙස බලශක්තිය නිපදවීම වැනි ක්‍රියාවලීන්ගෙන් සමන්විත විය යුතු බවයි. මීතොටමුල්ලේදී සිදු වූයේ කුණු තට්ටුවක් මත පස් තට්ටුවක් දමා ගොඩගැසීම පමණක් වන අතර, එය කිසිසේත්ම නීත්‍යානුකූල බැහැර කිරීමක් ලෙස පිළිගත නොහැකි බව අධිකරණය තීරණය කළේය. මෙම අසමත්කම නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර දූෂණය වීම, මෙතේන් වායුව පිටවීම සහ දරාගත නොහැකි දුර්ගන්ධයක් පැතිරීම වැනි බරපතල පාරිසරික හානි රැසක් සිදු විය.

    මෙම වගකීම් විරහිත ක්‍රියාවලියට රාජ්‍ය ආයතන රැසක් දායක වී තිබූ ආකාරය නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව විස්තර කර ඇත. කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන තර්කය වූයේ තමන්ට වෙනත් විකල්පයක් නොතිබූ නිසාත්, අධිකරණ අවසරය මත මෙය සිදු කළ නිසාත් තමන් වගකිව යුතු නොවන බවයි. එහෙත් අධිකරණය එම තර්කය බැහැර කළේ, “නීතිය මගින් කළ නොහැකි දෙයක් කිරීමට බල නොකරයි” (Lex Non Cogit Ad Impossibilia) යන නීතිමය මූලධර්මය මෙම අවස්ථාවට අදාළ නොවන බව පවසමිනි. වසර අටක් වැනි දීර්ඝ කාලයක් තුළ විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමට නගර සභාවට ඕනෑ තරම් කාලය තිබූ බවත්, ඔවුන් එය හිතාමතාම මගහැර ඇති බවත් අධිකරණය නිගමනය කළේය. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සිය බලතල ඉක්මවා යමින් නාගරික සංවර්ධනයට අදාළ නොවන අරමුණක් සඳහා මෙම ඉඩම පාවිච්චි කිරීමට ඉඩ දීමෙන් සිය වගකීම පැහැර හැර ඇත.

    මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය ද මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක් විය. ජාතික පාරිසරික පනත යටතේ කුණු බැහැර කිරීම “නියමිත ක්‍රියාකාරකමක්” වුවද, මීතොටමුල්ලේදී කිසිදු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව වසර ගණනාවක් පුරා මෙම විනාශය සිදුවීමට ඉඩ දීම ඔවුන් කළ බරපතල වරදක් බව තීන්දුවේ දැක්වේ. “මීතොටමුල්ල යනු කුණු බැහැර කරන ස්ථානයක් මිස ‘පහසුකම් සහිත මධ්‍යස්ථානයක්’ නොවන නිසා බලපත්‍රයක් අවශ්‍ය නොවේ” යන මධ්‍යම පරිසර අධිකාරියේ තර්කය අධිකරණය විසින් හාස්‍යයට ලක් කරමින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඕනෑම ස්ථානයක දිනකට ටොන් 10කට වඩා අපද්‍රව්‍ය බැහැර කරන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම බලපත්‍රයක් අවශ්‍ය බව සිංහල භාෂිත නියෝග මගින් තහවුරු වන බව විනිසුරු කෝදාගොඩ මහතා සිය තීන්දුවේ පෙන්වා දුන්නේය.

    විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිය තීන්දුවේ අවසන් භාගයේදී ඉතා හැඟීම්බර සහ සදාචාරාත්මක කරුණු රැසක් මතු කර තිබුණි. ඔහු සඳහන් කළේ 2009 සිට 2017 දක්වා කාලය තුළ කොළඹ නගරාධිපතිවරුන්, කොමසාරිස්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම සාපරාධී නිද්‍රාවට වගකිව යුතු බවත්, ඔවුන් සිය හෘද සාක්ෂියෙන් සමාව ගත යුතු බවත්ය.

    ඒ අනුව විනිසුරු කෝදාගොඩ මහතා පහත නියෝග නිකුත් කරන ලදී.

    මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ප්‍රකාශයන්
    1 වන වගඋත්තරකරු (කොළඹ මහා නගර සභාව): 2009 සිට 2017 දක්වා කාලය තුළ කොළඹ නගරයෙන් එකතු කරන ලද කුණු කසළ මීතොටමුල්ලේ පොතුවිල් කුඹුරට බැහැර කිරීමේ නීති විරෝධී සහ අවිධිමත් ක්‍රියාව මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති පෙත්සම්කරුවන්ගේ සහ පොතුවිල් කුඹුර අවට පදිංචිව සිටි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණය ප්‍රකාශ කරයි. +1

    7 වන වගඋත්තරකරු (කොලොන්නාව නගර සභාව): 2009 සිට 2017 දක්වා කාලය තුළ කොලොන්නාව නාගරික සීමාවෙන් එකතු කරන ලද කුණු කසළ පොතුවිල් කුඹුරට බැහැර කිරීමේ නීති විරෝධී ක්‍රියාව මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති පෙත්සම්කරුවන්ගේ සහ පොතුවිල් කුඹුර අවට පදිංචිව සිටි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණය ප්‍රකාශ කරයි.

    4 වන වගඋත්තරකරු (නාගරික සංවර්ධන අධිකාරිය): 2009 සිට 2017 දක්වා කාලය තුළ (අ) පොතුවිල් කුඹුරේ ඉඩම කොළඹ මහා නගර සභාවට පැවරීම, (ආ) කුණු බැහැර කිරීම සඳහා අක්කර දෙකකට (2) වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීමට ඉඩ දීම, (ඇ) නීති විරෝධී ලෙස කුණු දැමීමට ඉඩ දීම, (ඈ) කොලොන්නාව නගර සභාවට ද එම ඉඩම භාවිතා කිරීමට ඉඩ දීම, සහ (ඉ) වගඋත්තරකරුවන්ට එරෙහිව නාගරික සංවර්ධන නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම යන කරුණු මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණය ප්‍රකාශ කරයි.

    5 වන වගඋත්තරකරු (බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය): 2009 සිට 2017 දක්වා කාලය තුළ පොතුවිල් කුඹුරට කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් 1 වන සහ 7 වන වගඋත්තරකරුවන්ගේ නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිය ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වීමෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණය ප්‍රකාශ කරයි.

    6 වන වගඋත්තරකරු (මධ්‍යම පරිසර අධිකාරිය): බලපත්‍රයක් නොමැතිව නියමිත ක්‍රියාකාරකමක නිරත වීමට වගඋත්තරකරුවන්ට ඉඩ දීමෙන් සහ එමගින් පොතුවිල් කුඹුර අවට වායුගෝලය, ජලය සහ පස දූෂණය කිරීමට ඉඩ දීමෙන්, ජාතික පාරිසරික පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට බරපතල ලෙස අපොහොසත් වී ඇති බවත්, ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය ප්‍රකාශ කරයි.

    ක්‍රියාත්මක කළ යුතු නියෝග (Directions)
    පරිසරය යථා තත්ත්වයට පත් කිරීම: මධ්‍යම පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සහභාගීත්වයෙන් පොතුවිල් කුඹුරේ බලපෑමට ලක් වූ ප්‍රදේශ පරීක්ෂා කර, එම ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමට සහ පරිසර හානිය අවම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සහතික කළ යුතුය. එවැනි පියවර ගෙන නොමැති නම්, ඒ සඳහා 1 වන සහ 7 වන වගඋත්තරකරුවන්ට නියෝග කර ඒවා අධීක්ෂණය කළ යුතු අතර, එහි පිරිවැය එම වගඋත්තරකරුවන් දෙදෙනා විසින් ඒකාබද්ධව දැරිය යුතුය.

    අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩසටහන්: කොළඹ මහා නගර සභාව සහ කොලොන්නාව නගර සභාව, මෙම තීන්දුව ලබා දුන් දින සිට වසර හයක් (6) නොඉක්මවන කාලයක් තුළ, තීන්දුවේ අර්ථ දක්වා ඇති පරිදි ‘නිසි අපද්‍රව්‍ය බැහැර කිරීමේ’ (proper disposal of garbage) වැඩසටහන් ස්ථාපිත කර ක්‍රියාත්මක කළ යුතුය. මෙහිදී කොළඹ මහා නගර සභාව අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය ද සමාලෝචනය කර එය මෙම තීන්දුවේ අර්ථ දැක්වීමට අනුකූල බව සහතික කළ යුතුය.

    විනිසුරුවරුන්ගේ නොඑකගතා
    මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේදී, විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සහන සහ නිරීක්ෂණ සම්බන්ධයෙන් අගවිනිසුරු පී. පද්මන් සූරසේන මහතා සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයා සිය නොඑකඟතාවය ප්‍රකාශ කර ඇත. මෙම විනිසුරුවරුන් දෙදෙනාම යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා විසින් සිදු කරන ලද නීතිමය විශ්ලේෂණයන්ට සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට කරන ලද ප්‍රකාශයන්ට පූර්ණ එකඟතාවය පළ කර සිටිති. කෙසේ වෙතත්, නඩු තීන්දුවේ 116 වන ඡේදය මගින් ලබා දී ඇති ඇතැම් විධානයන් සහ 117 වන ඡේදයේ අඩංගු සදාචාරාත්මක නිරීක්ෂණ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වේ. මෙම නොඑකඟතාවය මගින් අධිකරණය සතු බලතල ක්‍රියාත්මක කිරීමේ සීමාවන් සහ විධායක ක්‍රියාවන් සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් විය යුතු ආකාරය පිළිබඳව වැදගත් නීතිමය සංවාදයක් මතු කරයි.

    ගරු අගවිනිසුරු පී. පද්මන් සූරසේන මහතා සිය මතය ඉදිරිපත් කරමින් කියා සිටින්නේ 115 වන ඡේදය මගින් වගඋත්තරකාර ආයතන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ලබා දී ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් තමා එකඟ වන බවයි.

    එහෙත් එම තීන්දුවේ 116 වන ඡේදය මගින් ලබා දී ඇති විධානයන් සහ නියෝග ක්‍රියාත්මක කිරීමට තමාට නොහැකි බව ඔහු අවධාරණය කරයි.

    එපමණක් නොව, තීන්දුවේ 117 වන ඡේදය මෙම නඩු තීන්දුවේ කොටසක් නොවිය යුතු බව අගවිනිසුරුවරයාගේ දැඩි මතය වී ඇත. 117 වන ඡේදය මගින් ප්‍රධාන වශයෙන් සිදු කර තිබුණේ මෙම විනාශයට වගකිව යුතු නිලධාරීන් සිය හෘද සාක්ෂියට අනුව පසුතැවිලි විය යුතු බවටත්, ඔවුන් සිය වැරදි සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළ යුතු බවටත් සිදු කරන ලද සදාචාරාත්මක බලපෑමක් බව අගවිනිසුරුවරයා සදහන් කර තිබේ.

    කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයා ද යසන්ත කෝදාගොඩ විනිසුරුතුමාගේ තීන්දුවේ අන්තර්ගත නීතිමය තර්කනයන් සහ නීතිය පිළිබඳ ප්‍රකාශනයන් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවය පළ කර ඇත. මෙම නඩුවේ පාර්ශවයන්ගේ නීතිමය අයිතිවාසිකම් සහ බැඳීම් තීන්දුවේ ඇති ප්‍රකාශයන් මගින් දැනටමත් නිසි පරිදි සහ අවසාන වශයෙන් තීරණය කර ඇති බව ඔහුගේ අදහසයි.

    කෙසේ වෙතත්, තීන්දුවේ 116 (ii) ඡේදය මගින් ලබා දී ඇති නියෝගය සම්බන්ධයෙන් ඔහු සිය නොඑකඟතාවය පළ කරයි. එම ඡේදය මගින් කොළඹ මහා නගර සභාවට සහ කොලොන්නාව නගර සභාවට වසර හයක් ඇතුළත විධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩසටහන් ස්ථාපිත කිරීමට කාලරාමුවක් ලබා දී තිබුණි. ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයා පෙන්වා දෙන්නේ 1947 අංක 29 දරන මහා නගර සභා ආඥාපනතේ 129(ඇ) වගන්තිය යටතේ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම මෙම පළාත් පාලන ආයතන සතු දැනටමත් පවතින ව්‍යවස්ථාපිත වගකීමක් බවයි.

    අවසානයේදී මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් තහවුරු කරනු ලැබුවේ, රාජ්‍ය ආයතන යනු හුදෙක් නීති පොත්වලට පමණක් සීමා වූ ව්‍යුහයන් නොවන බවත්, ඔවුන් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා සජීවීව බැඳී සිටින බවත්ය. මීතොටමුල්ල කඩා වැටීමෙන් මියගිය පුද්ගලයන් 40 දෙනා වෙනුවෙන් දැනටමත් රුපියල් මිලියන 908කට අධික වන්දි මුදලක් ගෙවා ඇති නිසා අලුතින් වන්දි ගෙවීමට නියෝග නොකළත්, මෙම විනාශයට වගකිව යුතු ආයතන පෙත්සම්කරුවන්ගේ නඩු ගාස්තු ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කළේය.

  • මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?

    මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?

    දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය. ඇතැම් අම්මලාට මැරෙන තුරු දොර දෙස බලා සිටින්නට උරුම කළේ දරුවන් අතුරුදන් කරමින් ය. මේ එහෙම රාජ්‍යයකි.

    සිරියාවේ අලාන් කුර්දි දරුවා සරණාගතයකු ලෙස මුහුදු වෙරළේ මහ පොළොව බදාගෙන මිය ගියේය. ඉන්දියාවේ සුර්ජිත් විල්සන් දරුවා මිය ගියේ තමිල්නාඩුවේ වතුර සොයන සටනට මැදි වූ නිසා ය. අවිධිමත් ලෙස හාරන ලද අඩි සියයකට වඩා ගැඹුරු ළිඳක පතුලේ සිරවී සුර්ජිත් මිය ගියේය.
    මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ 2017 අප්‍රේල් 14දා ය. රට පුරා ජනතාව අලු‍ත් අවුරුද්ද සමරන විට දරුවන් පස්දෙනෙකු ද ඇතුළු 40කට ආසන්න පිරිසක් ඒ කුණු කන්දට යට විය. පසුව ඉදිරිපත් කෙරුණු සංඛ්‍යා ලේඛනවලට අනුව මේ අපරාධයෙන් 32ක් මියගොස් 8ක් අතුරුදන් වී තිබිණි. සිය ගණනකට නිවාස සහ දේපොළ අහිමි විය. මීතොටමුල්ලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් ද තිබිණි. නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය ඇතුළු න්‍යායයන් වචන බවට පත්කරමින් පත්වූ සියලු ආණ්ඩු එක්ව අක්කර 20ක කුණු කන්දක් හැදුවේය. දිනකට කුණු ටොන් 800ක් හැලූ මීතොටමුල්ල අවසානයේදී නායගියේය.

    හිතාමතා කළ – නැතහොත් වළක්වා ගත හැකිව තිබූ මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසම ඉදිරියේ විවිධ පිරිස් සාක්ෂි ලබාදුන්නේය. මේ අපරාධයට වගකිවයුත්තන් රැසක් කොමිසමෙන් නම් කළ අතර, රාජ්‍ය ආයතන 5ක් සෘජුව ඊට වගකිව යුතු ද එම නිර්දේශවල සඳහන් විය. නමුත් ඒ කිසිවකුට කිසිවක් සිදුනොවීය.

    කිරුලපන ප්‍රදේශයේ තිබූ කුණු මෝල සහ ජීව වායු පද්ධතිය වසා දැමිණි. ඉන්පසු මට්ටක්කුලිය, බ්ලූමැන්ඩල්, කොටිකාවත්ත, මීතොටමුල්ල ප්‍රදේශවල කුණු ගොඩ ගැසිණි. ක්ෂේත්‍රයේ විද්වතුන් වන නිමල් ප්‍රේමතිලක සහ සුමිත් පිලපිටිය අවස්ථා කිහිපයකදී බලංගොඩ සහ වැලිගම ප්‍රදේශවල කසළ කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඒවා ඉදිරියට ගියේ නැත. කෙරවලපිටියේ කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ ද එය ද ටික පැවතුණේ ටික දිනකි. අරුවක්කාලුවලට කොළඹ කුණු ගෙනගොස් දැමීමේ ව්‍යාපෘතියට ද අත්වූයේ එම ඉරණම ම ය.
    දැන් ඒ කුණු සියල්ල කොළඹ දිස්ත්‍රික්කයේ කරදියාන ප්‍රදේශයට ගෙනගොස් දමයි. එහි තවත් දැවැන්ත කුණු කන්දක් ගොඩගැසෙමින් තිබේ. මීතොටමුල්ල ඊළඟ අදියර කරදියානෙන් මතුවන්නට පෙර, මේ ඛේදවාචක අවසන් කළ යුතු නොවේද? අඩු තරමේ කසළ බැහැර කිරීමේ විධිමත් ප්‍රතිපත්තියක් සකස් කරගත නොහැකි රටක ය, අප ජීවත් වන්නේ.

    මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට පසුගිය අප්‍රේල් 14දාට වසර 07කි. මේ, එම අපරාධය සිදුවීමට පෙර සිට ම මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සටන් කළ නීතිඥ නුවන් බෝපෙගේ සමග කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.

    මීතොටමුල්ල අපරාධයට අදාළ ව වසර 7කට පස්සෙ බලනකොට අධිකරණය පැත්තෙන් ඉටුවිය යුතු යුක්තිය ඉටුවුණාද?

    කුණු කන්ද තියෙද්දි තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම දැම්මෙ. ඒකෙදි අපි අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා, මෙතැන්ට කුණු දාන එක නතර කරන්න කියලා. ඒ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙලාවෙ දුන්නෙ නෑ. එතකොට අපි සාධාරණ කරුණු රැසක් ඉදිරිපත් කරලා තියෙද්දිත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ වෙලාවෙ ඒ නියෝගය ඉල්ලීම ප්‍රතික්ෂේප නොවුණා නම් මේ ජීවිත ආරක්ෂා වෙන්න තිබුණා.
    ඒ අර්ථයෙන් ගත්තොත් මේක සම්බන්ධයෙන් නීතිය පැත්තෙන් තිබුණු අවධානය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. ඊටපස්සෙ කුණු කන්ද කඩාගෙන වැටුණට පස්සෙ ඊට අදාළ නඩුවෙ තත්ත්වය ගත්තොත්, දැන් නඩුව අහලා තීන්දුවට තියලා තියෙනවා. මේ වෙනකොට වෙන්න ඕනෙ විනාශය වෙලා ඉවරයි. ඒකෙ තීන්දුව කොයි පැත්තට එයිද කියන්න අපි දන්නෙ නෑ. ඒ තීන්දුව මොනවා වුණත් සිදු වුණු බරපතළ හානිය වළක්වාගන්න නීතිය පැත්තෙන් අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය පිළිසරණ මිනිස්සුන්ට ලැබුණෙ නෑ.

    මේකට අදාළව ජනාධිපති කොමිසමකුත් පත්කළා. ඒකෙන් යම් නිර්දේශ ප්‍රමාණයක් දුන්නා. කොළම නගර සභාවෙ හිටපු කොමසාරිස්ලා ඇතුළු නිලධාරීන් සබම්න්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියලා ඒකෙන් නිර්දේශ කළා. ඒ සම්පූර්ණ නිර්දේශ ගැන අපි සෑහීමකට පත්වෙන්නෙ නෑ. ඒක අපක්ෂපාතී ස්වරූපයකින් නෙමෙයි සිද්ධ වුණේ. නමුත් එහෙම තත්ත්වයක් තුළ ලබාදුන් නිර්දේශවත් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ පැත්තෙනුත් ජනතාවට අසාධාරණයක් වුණේ.

    මේ වගේ හිතාමතා කළ අපරාධයකින් පස්සෙ තමන්ට යුක්තිය ඉටුකර ගන්න නීතිය පැත්තෙන් මිනිස්සුන්ට තව මොනවද කරන්න ඉතුරු….?

    ප්‍රධාන වශයෙන්ම මිනිස්සුන්ගෙ ජීවත් වීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඒක දැනටමත් අපි කරලා තියෙන්නෙ. මේක අපරාධයක් කියන තැනින් ගත්තට පස්සෙ මේ කුණුකන්දත් එක්ක සිදුවුණු වංචා-දූෂණ ඒ සියල්ල සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම තියෙන්නෙ රජයට. පොලිසියට. නමුත් ඒ පැත්තෙන් එහෙම පියවරක් ගත්තෙ නෑ. එතැනදි ජනතාවට පියවරක් ගන්න තියෙන්නෙ සීමිත ඉඩකඩක්. ඒ පරීක්ෂණ පවත්වන සියල්ල කරන්න ඕනෙ පොලිසිය ආණ්ඩුව.

    අනෙක් පැත්තෙන් ජනතාවට තියෙන්නෙ වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය. ඒකෙදි අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවා වෙනුවට අපි තේරුවෙ සටන් ක්‍රියාමාර්ග. අපිට අවශ්‍ය වුණේ නෑ මෙච්චර හානියක් වෙලත් තවදුරටත් උසාවිවල රස්තියාදු වෙමින් වන්දි අයකරගන්න. මුලින්ම මේකට ඇත්තටම පොඩි වන්දියක් තමයි දෙන්න තීරණය කරලා තිබුණෙ. නමුත් අපි දිගටම ආපදා කළමනාකරණ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ඉදිරිපිට කරපු උද්ඝෝෂණ සහ ඒ ක්‍රියාමාර්ග නිසා යම් තරමකට සෑහීමකට පත්වෙන වන්දි මුදලක් අපිට ගන්න පුළුවන් වුණා.

    අවුරුදු 7කට පස්සෙ ආපහු හැරිලා බැලුවොත් මේ අපරාධයට එරෙහිව අපි යුක්තිය වෙනුවෙන් සාර්ථක ක්‍රියාමාර්ග තෝරලා තියෙනවද, අනෙකුත් අරගලවලදි වගේ සාමූහිකත්වය ගැන ගැටළු මතුවෙලා තියෙනවද?

    රටේ දේශපාලනය ගත්තොත් කුණු කන්ද කඩාගෙන වැටෙන කොට හිටපු අගමැතිවරයා දැන් රටේ ජනාධිපතිවරයා වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුව පිහිටුවනකොට 2015 වුණු පොරොන්දුවක් තමයි, මීතොටමුල්ල කුණු කන්දට විසඳූම් දෙනවා කියන එක. ඊට පස්සෙ යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ මුලින්ම පහර දුන්නු උද්ඝෝෂණය තමයි කුණු කන්දෙ උද්ඝෝෂණය. 2015 මාර්තු 20 වැනිදා තමයි ඒ ප්‍රහාරය එල්ල කළේ. ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ අපිට සාකච්ඡාවක් දුන්නා. ඒ සාකච්ඡාවෙදි අපිට පොරොන්දු වුණා, මාස හයක් ඇතුළත අපිට විසඳූමක් දෙනවා කියලා.

    රනිල් වික්‍රමසිංහ ළඟ ප්‍රශ්නවලට උත්තර තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් එහෙම නෑ කියන්න මේක හොඳ උදාහරණයක්. එදා ඉඳන් මේ දක්වා ගත්තොත් පොදුවේ රටේ කසළ කළමනාකරණයට දීලා තියෙන විසඳූම තමයි, මීතොටමුල්ලට දාපු කුණු දැන් කරදියානට දාන එක. එතැන කුණු කන්ද ගොඩගහන එක. තැන මාරු කරන එක විතරයි. ප්‍රතිපත්තිමය වශයෙන් කිසිම විසඳූමක් නෑ.

    මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තොත් මේ සටන දිගටම අරගෙන ගියා. මේ වෙනකොට කුණු කන්ද අවට හිටපු මිනිස්සු එතැන පදිංචිත් නෑ. අලුතෙන් කුණු දාන්නෙත් නෑ. මේක ව්‍යාපාරයක් විදිහට දැන් බිමේ නෑ. හැබැයි අපිට තියෙන අත්දැකීම තමයි මේ සටනේ හිටපු ඇතැම් ක්‍රියාකාරිකයනුත් විවිධ දේශපාලන උපක්‍රමවලට අහුවෙලා වෙනත් තැන්වලට ගියා තාවකාලිකව හෝ ස්ථිරව. ඒ වගේ තත්ත්වයන් නිර්මාණය වෙන්න හේතුව විදිහට මම දකින්නෙ මේ වගේ හුදෙකලා සටන් එකතු කිරීමක් නැති එක. මේ සමස්තය එක තැනකට ගොනුකරන්න අවශ්‍යයි.

    උපුටා ගැනීම – ද ටයිම් වෙබ් අඩවිය

  • සංවර්ධන පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ – මීතොටමුල්ල නැවතත් කඩා වැටීමේ අවධානමක

    සංවර්ධන පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ – මීතොටමුල්ල නැවතත් කඩා වැටීමේ අවධානමක

    මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

    එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3400ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබුනද එම කටයුතු බාර ගැනීමට මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවයි සඳහන් වන්නේ.

    අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් මීතොටමුල්ල කසළ කන්ද 2017 වසරේදී කඩා වැටුණා.

    ඒ හේතුවෙන් පුද්ගලයන් එකොළොස් දෙනකු අතුරුදන් වී තවත් පුද්ගලයන් තිස් දෙදෙනකුට ජීවිත අහිමි වුණා.

    හෙක්ටයාර් අටක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන මෙම කුණු කන්දේ උස මීටර් 48ක්.

    කුණු කන්ද තට්ටු පහක් ලෙස සකස් කර එහි උස මීටර් තිස් තුනක් දක්වා අඩු කර තිබෙන බවත් කුණු කන්ද සංවර්ධනය කර කෞතුකාගාරයක් නිවාස සංකීර්ණයක් ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති කීපයක් සිදු කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවට එක් වූ නිලධාරීන් පවසා තිබෙනවා.

    කසළ කන්ද ආශ්‍රිතව මෙතෙක් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නිරීක්ෂණය නොවන බැවින් එහි සූර්ය බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි වන බවට ද එහිදී යෝජනාවක් ඉදිරිපත්වු බවයි වාර්තා වන්නේ.

    මෙම ස්ථානයේ උද්‍යාන විදුලි බලාගාර ඉදිකරන බවට බලයට පත්වූ ආණ්ඩු කිහිපයක්ම පොරොන්දු ලබාදී තිබුණා.නමුත් මෙතෙක් කිසිම ආණ්ඩුවක් එය ඉටුකර නැහැ. මිතොමුල්ල නාය යන අවස්ථාවේත් අගමැතිවරයා ලෙස සිටියේ රනිල් වික්‍රමසිංහයි. ඒ අවස්ථාවේ පොරොන්දු කන්දක් දුන්නද ඒවා කිසිවක් ඉටුවී නොමැති බව පෙනෙන්නට තිබේ.

    එසේම නැවතත් ගෝඨාභය පාලන සමයේ උද්‍යානයක් ඉදිකිරීමට අදාළව වෙන් කළ මුදල් ආගිය අතක් නොමැති බව පවසමින් මහින්ද රාජපක්ෂ විසින්ද කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කරන බවට පොරොන්දු විය.

  • මීතොටමුල්ල ඝාතන වලට වසර 5 යි

    මීතොටමුල්ල ඝාතන වලට වසර 5 යි

    කොළොන්නාව කුණු කන්ද කඩා වැටී මිනිස් ජීවිත ගණනක් විනාශ වී වසර 05ක් ගතවී තිබේ.

    කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වූ නුවන් බෝපගේ තැබූ සටහනක් පහත දැක්වේ.

    අද දින ගෝල්ෆේස් දෙසින් ඇවිලෙන “ඝෝඨා පිස්සෙක් “යන සටන් පාඨ මැද කුණු කන්දට යටවූ අපේ පංතියේ මිනිස්සු අපි සැමරුවෙමු.

    වසර 10 කට පෙර කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පිහිටුවන කොටම ඝෝඨා පිස්සෙක් බව අපි කිව්වෙමු.

    ලෝකයෙන්ම ණය අරන් කොළඹ ජොගින් ට්‍රැක්,උද්‍යාන හදන ගමන් කොලොන්නාවේ මහා කුණු කන්දක් නිර්මාණය කරන්න හැක්කේ පිස්සෙකුට පමණි.

    ඒ කන්ද විකුණා 2015 යහපාලනය බලයට පත්විය.ඒ පාලනය තුලද කුණු කන්ද තවත් අඩි ගණනකින් උස්විය.

    අද IMF යන්න උපදෙස් දෙන රනිල් වික්‍රමසිංහද ඒ ආණ්ඩුවේ සිටි චම්පිකලා සජිත්ලාද ඒ අනුව අපටනම් ජන ඝාතක පිස්සෝය.

    මාරුවෙන් මෑරුවට ජනතාව සහ ආර්ථිකය ඝාතනය කල මේ ක්‍රමය වෙනස් කරන්න මේ වන විට රොදබැදි ජනතාවට මීතොටමුල්ල ස්මාරකය අභියස සිට මීතොටමුල්ල අරගලයේ නියමුවන් අද විප්ලවීය ආචාරය පුද කරන ලදි.

    කුණු කන්දට යටව මියගිය සිංහල, දෙමළ, මුස්ලිම් අහිංසකයන්ගේ නාමයෙන් මේ ක්‍රමය පෙරලලා මහජන බලයක් ගොඩනගමු.

    නුවන් බෝපගේ