Tag: eජන කොළමා

  • විකාර කියවන්න එපා බ්‍රෙෂ්ට්

    විකාර කියවන්න එපා බ්‍රෙෂ්ට්

    සයිබරේ සැරි සරන ඉ කොළමා අහසෙන් බිමට බැහැලා මේ සැරේ බිම් කොළමක් ලියන්න කියලා කල්පනා කළා. ලියුම් පෙට්ටිය ඇරලා බැලුවම ලියුම් දෙකක්. ඊට අමතරව පත්‍රිකා කීපයක්. ලියුම් දෙක විවෘත කරන්න කලින් අනුමාන සැකය වුණේ මේ ලියුම් දෙකම ගෙවිය යුතු බිල් බවයි. ඒ නිසා ඒ දෙක ඇරලා බැලුවේ නෑ. ඒත් ඔබලා බැලුවා. වෙනසක් නෑ.

    ඊට අමතරව පත්‍රිකා කීපයක්. මොනවද කියලා බලුවා. ගෙදරටම ගෙනැත් දෙන කෑම සර්විස් එකක් ගැන. තවත් එකක මුහුණු කීපයක් තියෙන ජනතා නියෝජිත පත්‍රිකාවක්. ඒ කියන්නේ මෙහෙත් ඡන්දයක්. කැමැත්ත ඉල්ලනවා වෙන්නැති. එයාලගේ ප්‍රතිපත්ති, අපේක්ෂකයන්ගේ සුදුසුකම් එහෙමත් ලියලා. ඡන්දයක් තිබුණට ඡන්දයක් තියෙනව ද කියන එක ගැන මෙලෝ හාංකවිසියක් දකින්න නෑ. රැස්වීමක් ජන ගඟ ගළන, රැස්වෙන, කතා පවත්වන බවක් නම් දැක ගන්න ලැබිලා නෑ. පොඩි පොටි මීටින් මීට කලින් තැනක දෙකක දැකලා තිබුණට මරා ගන්න ඡන්දයක් ගැන නම් අහල දැකලා නෑ. රටක් විදිහට නෝමල් දෙයක්. ලියුම් පෙට්ටියට කොළයක් දාලා ඡන්ද කැම්පේන් කළාට මොකද, ලොකු හිඟා කෑමක් නෑ. මේ බිමේ ඡන්ද එහෙමයි.

    “ඇයි මට මේ පත්‍රිකාව දැම්මේ” කියලා ඉකොළමට හිතුණේ එයාට ඡන්ද අයිතියක් නැති නිසයි. ඒත් මේ කොලය දැම්ම කෙනා ඒක දන්නෙ නෑනෙ. දැම්ම කෙනා හිතන්නැති මමත් ජනතාවට අයිති කෙනෙක් කියලා. එහෙම නැත්තම් අලුත් ජනතාවකට අයිති කෙනෙක් කියලා හිතුවද කියන්නත් බෑ.
    මොකද මෙයාල කියන්නේ විකල්ප ක්‍රමයක් ඕන කියලා. මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙවෙයි, මිනිස්සු ඇති කරපු ප්‍රශ්න විසඳන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි ප්‍රධාන සටන් පාඨය, ඉකෝ මිනිස්සු හොයාගෙන යන අය. ලෝකෙට කෙලවිලා යන එක අවධාරණය කරමින් විකල්පයක් හොයන්න හදන ප්‍රතිපත්තියක් පෙන්නුම්කරනවා. ඒක නරකමත් නෑ

    ඒත් ප්‍රතිපත්තිය කියන්නේ වචන නෙවෙයි
    විකල්පය කියන වචනයත් දැන් වෙනකොට සාමාන්‍ය දෙයක්. අර්ථය වෙනස් වෙලා ද නැත්නම් මේ වචනය විකෘති වෙලා ද කියන දේ පත්‍රිකාව දිහා බලාගෙන ඉන්නකොට තේරුණා. අදහස ප්‍රකාශ කරන වචන තුල විකල්පය ඇත්තටම කියැවෙනවද.

    ක්‍රමයක් වෙනස් කරන්න වගේ කතා කරනවා. ඒත් මේ පවතින ක්‍රමය මතම ඉඳගෙන. ඇත්තටම විකල්පය කියන්නේ ක්‍රමය මත ඉඳගෙන ක්‍රමයක් හොයන එක. එහෙම නැතුව විකල්පය කියන්නේ විප්ලවයක් නෙවෙයි. මේ වාගෙ දෙයක් විප්ලවයක් විදිහට තමයි මෙයාලට.

    පත්‍රිකාව ආයෙත් ලියුම් පෙට්ටිය ඇතුළටම දැම්මා. මොකද එළියට බැස්ස ගමන යන්න ඕන නිසා. පාර දිගේ ඇවිදගෙන යන අතරේ වාහන එහෙට මෙහෙට යනවා. කීප දෙනෙක්ම තමන්ගේ කාර් එක පාක් කරන්න තැනත් හොයනවා. වාහන වැඩියි. පාකින්වලට ඉඩ නෑ. ඒ අතරේ පාකින් එකේ නතර කරලා තියෙන වාහන පරීක්ෂා කරනවා ඊට අදාල පොලිස් නෝනා කෙනෙක්. පාකින් වෙලාව පහු වෙලාද, නියමිත නීති අනුගමනය කරල ද කියලා. එහෙම කළා කියලා කිසි ප්‍රශ්නයක් නෑ.. නීතිය කඩලා නම් දඩ කොලේ කාර් එකේ වයිපර් එකට යටින් තියලා යනවා. රජයට ආදයමක්. දවසට දෙතුන් වතාවක් කාර් පාක්වල රවුම් ගැහුවහම හොඳ දඩ ආදායමක්. නීතිය තියෙනවා. නීතිය මිනිස්සු එක්ක තරහ නෑ. ඒත් නීතිය යට තියෙන්නේ මිනිස්සු අසහනයට පත් කිරීම. අවනතභාවය. අධික නිෂ්පාදනය, අධික පරිභෝජනය, අසීමිත ආශාව, ඒවට සරිලන සීමා සහිත පහසුකම, සීමා සහිතවීම මත රාජ්‍යයේ පැවැත්ම.

    නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මේ ඔක්කොම ඒක ඇතුළේ. හරි ලස්සනට ගේම් එක ප්ලේ වෙනවා මිනිස්සුන්ටත් නො දැනෙන්න. ඒ වුණාට නොදැනීම ඇතුළේ වචන විතරයි. අර්ථ නෑ. අසහනය හිත් ඇතුළේ..

    මේ ක්‍රමය වෙනස් කරන එකට විකල්ප ඉදිරිපත් කරන්නේ මේ ක්‍රමයම හොඳින් කරලා. ඒ කියන්නේ, මේ ක්‍රමය තුල නීතිය හොඳටම ක්‍රියාත්මක කරලා.
    මිනිස්සු තමයි තීරණය කරන්න ඕන කියලා කියනවා. එයාලට කියන්නේ ජනතාව…

    පාර දිගේ ඇවිද ගෙන යන මිනිස්සු තම තමන්ගේ අරමුණුවලට දුවගෙන ගියාට විකල්පයක් හොයන බවක් නම් පෙනෙන්න නෑ..

    මේක දැකපු ඉකොළමට මතක් වුණේ බර්ටෝල් බ්‍රෙෂ්ට්. නාට්‍යකාරයා, කවියා. ජනතාවාදියා. සමාජවාදියා. එයා ජනතාව ගැන විශ්වාස කළාට මොකද මේ ජනතාව කියන නාමකරණය ගැන තිබුණෙ නෑ විශ්වාසයක්. ඒක නිසා තමයි එයා කිව්වේ වෙනම ජනතාවක් පත්කරගන්න ඕන මේ ක්‍රමය වෙනස් කරන්න නම්.
    ඒකෙන් කියන්නේ මොකක්ද?

    එදා ඉඳලා මේ ජනතාව කියන පොදු නාමකරණයේ තියෙනවා ගැටලුවක්. ජනතාව තමයි ගැලවුම්කරුවා, ජනතාව තමයි පරම බලය, ජනතාව තමයි තීරකයා. මේ ජනතාව එහෙම බලද්දී කාගෙ ගැලවුම්කාරයා ද. ජනතාව ජනතාවගෙ ගැලවුම්කරායාද නැත්නම් ඔවුන් බලය ඉල්ලන කොටසේ ගැලවුම්කාරයා ද. තමන්ගේ විමුක්තිය තමන්ට ලබා ගැනීමට බැරිකම නිසයි අපිට දේශපාලනය කියන අදහස ඇතුළේ තිබෙන බලයට මැදිගත් වෙන්න වෙන්නේ. මේ බලයට එක එක හැඩයන් තියෙනවා. ඒ හැඩය ඇතුලේ තමයි දර්ශනයන්, ආකෘති, අගයන් විශ්වාශයන් තියෙන්නේ. මේ දේවල් එක එක විදිහට ඇතුළත් වෙලා තියෙන ගුණයක් බලය ඇතුළේ තිබෙනවා. ඒක ශක්තියක් බවට පත් කරගන්න වෙන්නේ ජනතාව කියන අයගේ පොදු සහ සාමූහික ශක්තියෙන්.

    ඉතින් ජනතාවට ශක්තියක් තියෙනවා වුණාට, ශක්තියකට ඥාණයක් නැත්තම් ඒ ශක්තියෙන් වැඩක් නෑ. හැම අවස්ථාවකම එකතු වෙනවා, පොදු බවට පත් වෙනවා. ශක්තියක් හදා ගන්නවා නමුත් ඥාණයක් නෑ. ජනාතාවට බලය කියන අර්ථය නිතර නිතර වර නගනවා. ඒකට නීති හදනවා කියන ව්‍යවස්ථාවක් තියෙනවා. මෙතෙක් ගොඩ නගපු බලය මොකක්ද කියන ප්‍රශ්නයට ජනතාවට උත්තරයක් තිබෙනවා ද කියන කොට ඒ බලය තිබෙන ජනතාව කවුද කියන එක හොයා ගන්න එකත් ඒ වගේම අමාරුයි.

    ජනතාව කියන්නේ පොදු ගුණාකාරයක් ද නැති නම් මහ පොදු සාධකයක් ද

    මිනිස්සු කියලා පොදුවේ ඉන්න සත්වයාට තර්කය සහ ඥාණය තිබෙනවා කියන තැනින් තමයි ඔවුන් දේශපාලනික වෙන්නේ. එම නිසා තමයි ජනතාව වෙන්නේ. මේ ජනතාවට තමයි දේශපාලනයක් අවශ්‍ය වෙන්නේ. තමන්ට අයිති සහ කළ යුතු දේවල් කළමානාකරණය කරගන්න. ඉතිහාසය විසින් හදාගත්ත ක්‍රමය අඩු වැඩි වශයෙන් පවත්වාගෙන යනවා. ගැටලුවක් නැති තාක් කල් පරණ ක්‍රමය ඒ විදිහටම යනවා. ජනතාවත් පරණ විදිහටම ජීවත් වෙනවා. පරණ ජනතාවට අලුත් ජනතාව බවට පත් වෙන්න ගැටලු නැහැ කියලා කියන එක හැම තැනටම පොදු නැති තැන, ගැටුම් ඇති වෙනවා. ජනතාව පාරට බහිනවා. ඒ පරන ජනතාවමයි. අලුත් ජනතාවක් වෙන්න නම් අලුත් ක්‍රමයක් වෙනුවෙන් අලුත් ඥාණයක් පිළිබඳ අදහසක් තියෙන්න ඕන.

    මේ දුවන පනින ජනතාව එහෙම ජනතාවක් ද. නූතනත්වය කරතියාගෙන ගියාට මෙයාලට ප්‍රශ්න නැත්තේ නෑ. නූතනත්වය විසින් ගෙනාපු දේවල් විසින්ම ගෙනාපු දේවල් ප්‍රශ්න බවට පත් කෙරුවට, ඒක ප්‍රශ්නයක් කියලා නො දැනෙනවාද කියන ප්‍රශ්නය අහන්න තියෙන එකක්. මේ නිසා අලුත් ජනතාවක් ද කියන ප්‍රශ්නය මේ නූතනවාදී මිනිස්සුන් වෙත යොමු කරන්න ඕන ප්‍රශ්නයක්. විකල්පය හොයාගෙන යන අයට ඒකට උත්තරයක් තියෙනවාද කියන එක සැකයි. ඒකයි එයාලා ජනතාව කියන්නේ කවුද කියන ප්‍රශ්නය අහන්නැත්තේ.

    මේ රටේ, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටේ පාරට බැස්සම බිමේ යථාර්ථය මේකයි. ආරක්ෂිතයි, ස්ථාවරයි කියලා ඉන්න රටක බිමේ යථාර්ථය එහෙමම වුණත්, වෙනස්, අලුත් සමාජයක උවමනාවන් මිනිස්සුන්ට නැතුවා නෙවෙයි. ඒ වෙනුවෙන් කරන ඉල්ලීම් නැතුවත් නෙවෙයි. ඒත් මේවට තියෙන උත්තර උත්තරද කියන ප්‍රශ්නය නම් අහන්නම වෙන එකක්. විකල්පය යෝජනා කරාට, විකල්පයට විකල්පයක් නෑ…

    ඒත් මිනිස්සු තමන්ගේ සීනි පාලනය කරගන්න, කොලෙස්ටරෝල් නැති කරගන්න දුවනවා.. ඊට අමතරව ඇඟ ස්ලිම් කරගන්න, ලස්සන තියා ගන්න යෝගා කරනවා. කැමෙන් පරිස්සම් වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ කන්න නැති එක නෙවෙයි. කන්නේ මොනවද කොහොමද කියන එක. එකත් විකල්පයක්. ඒත් ඒ ඔක්කොම වෙළෙඳ පොල කියලා කියන එකට නම් අඩු වැඩි වශයෙන් අහුවෙලා ඉන්නේ. වෙළෙඳපළ ජීවිතයේ කොටසක්.

    ඔන්න ඔහොම හිතමින් බිමේ වටපිටාව ගැන කල්පනා කරද්දී පෝන් එකට තොරතුරු එන්න ගන්නවා. ලංකාව.

    මේ දේවල් මෙහෙ වුණාට මේ දේවල් එහෙ වෙන්නෙ නෑ. ඒ දේවල් මෙහෙ වෙන්නෙත් නෑ..

    දැන් බිමෙන් ආයෙත් සයිබරයට ගොඩ වුණාම දකින්න ලැබුණේ ලංකාව. මගේ කියන මගේ නොවන රට. කෙළවරක්, තොර තෝංචියක් නැති සංසාරයක්. දැන් උණුසුම මැතිවරණය දිහාවට. තැටිය රත් වෙමින් යනවා. ඇත්තටම රත් කරනවා. මිනිසුන් තමයි වැදගත්ම සාධකය. ඒ වුණාට මිනිසුන්ම තමයි ප්‍රශ්නය.
    ඔන්න ආයෙත් ඥාණය උරගා බැලීමක් කරන්නයි යන්නේ.

    බ්‍රෙෂ්ට් කියන විදිහට අලුත් ජනතාවක් පත්කරගන්න හදන්නේ..

    පරන ජනතාව පරණ දේම කර කර දැන් ශත වර්ෂයක් විතර ගත වුණත්, ජනතාව හිතාන ඉන්නේ අලුත් කියලා. දේශපාලකයො තමයි මේ ඇන්දවීම කරන්නේ. උන් කියනවා බුද්ධිමත් ජනතාව, ඥාණවන්ත, සෙනෙහවන්ත, කරුණාවන්ත, ජනතාව කියලා. ඒක තරම් බොරුවක් කොහෙද.

    බ්‍රෙෂ්ට් කියන අලුත් ජනතාවක් පත් කරගන්න ඕන නම්, ඒක ඕන හොඳ අලුත් දේශපාලන දැක්මක්, චින්තනයක්.

    වැඩේ තියෙන්නේ ඒක මේ ඔක්කොටම තියෙනවනෙ. ඔක්කොමලා බලය ඉල්ලන්නේ අලුතින් රට ගොඩ ගන්න. තරඟයට ඇවිත් ඉන්න අය, අලුත් ජනතාවක් පත් කර ගන්න සුදුසුකම් පෙන්වන අය කියන්නේ “ අපි තමයි අලුත් අය” කියලා. මේ ඔක්කොම පෙන්වන්නේ අලුත් දෙයක් කරන්න යනවා කියලා.
    ඉතින් ඒකට අනුව, ඒකට හැඩ ගැහුණු මිනිස්සු පෙළ ගැහිලා තම තමාගේ නායකකරකාදීන් පස්සේ යනවා.

    නායකයෝ ජනතාව පස්සේ, ජනතාව නායකයෝ පස්සේ සෙක්කුව පදිනවා. එකම වෘතයක. වටේ යනවා. තරඟයක්. පුටුවක් හිමි කරගන්න සංගීත පුටු තරඟයක්. මේකට තමයි කියන්නේ අලුත් දේ. විකල්පය.

    අලුත් වෙනවා කියන්නේ තිබුණු දෙයට වඩා වෙනස් දෙයක් මිනිස්සුන්ට ලැබෙනවා කියන එක. ඒක ගන්න එක මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. දෙනවා කියන අයගෙ පොරොන්දුව. පොරොන්දු දේශයේ අලුත් ජනතාවක් පත්කර ගන්න අලුත් නායකයෝ තරඟයට ඇවිත්.

    දෙගොල්ලම එකම නම් අලුතින් ජනතාව පත්කරගන්න එක හෝ අලුතින් පාලකයෝ පත් කරගන්න යෝජනා කරන බ්‍රෙෂ්ට්ගේ යෝජනාව ආයෙත් කල් දාන්න වෙනවා. ඒත් තාමත් විවෘතයි.

     

  • ත්‍රස්තවාදී මහාවංසය සහ දේශප්‍රේමී සුදු මහත්තුරු

    ත්‍රස්තවාදී මහාවංසය සහ දේශප්‍රේමී සුදු මහත්තුරු

    වන්නිලෑ ඇත්තෝ, උත්තර දේසේ මහ ඇත්තෝ, මළය රට මහ ඇත්තෝ, මේ ආදී කොට ඇත්තෝ ගත්තම ඇත්තටම මේ අය “ජනතාව” ද කියන අවුල ඔන්න ඉජන කොළමට හිතට එන්න ගත්ත. ඇත්තටම න්‍යායාත්මකව ගත්තොත් තුන් දෙගොල්ලමත් ජනතාව තමයි. ඒත් එයාලව නිකං ජනතාව කියන ගොඩට වැටෙන්නෙ නෑ වගේ හැඟීමක් මේ මනස ඇතුළේ තියෙනවා. ඒක මේ මට විතරක් ඇති වෙන දෙයක් ද නැත්තම් මට ඇති වෙනවා වගේ හැඟීමක් ඇතිවෙන තවත් අය ඉන්නව ද කියලා කියන්න හොයලා බලන්න පොඩි සමීක්ෂණයක් කළොත් මොකද කියලත් හිතෙනවා. මයික් එකක් අරන් ගිහින් අහන්න බෑ, ඒත් පොඩි ප්‍රශ්නයක් දෙකක් දාලා බලන්න පුලුවන් ඉ අවකාශයට. උත්තර දෙයිද නැද්ද කියලා කියන්න මම දන්නෑ. ඒත් ප්‍රශ්න දෙක තුනක් ලියලා බලමු.

    ප්‍රශ්නය
    1: ඔබ ජනතාව කියන ගොඩට ඇතුළත් ද?
    2: අතුළත් නම් කුමන ජනතාවට ද?
    3: නැත්නම් ඒ ඇයි?
    4: උත්තර දේසේ මිනිස්සු ජනතාව ද, එවගේම වන්නිලෑ ඇත්තෝ, මළය රට ඇත්තෝ?

    මේ ප්‍රශ්නවලට උත්තර දුන්නත් නැතැත්, ඔය “ජනතාව” කියන සංකල්පය ගැන මට දැනෙන දේ කිව්ව කියල දොසක් වෙන එකක් නෑ කියල විශ්වාස කරනව.

    රාජ්‍යයක් රටක් වීමට හෝ රටක් රාජ්‍යයක් වීමට තියෙන එක නිර්ණායකයක් වෙන්නේ මේ කියන ජනතාව. රාජ්‍යයක් රටක් කියලා කියන්න ජනතාව අවශ්‍ය නම් ඒක තීරණය කරන්නේ කවුද. කොහෙ ඉඳළ ද? නිශ්චිත භූමියකට එලියෙන්ද ඇතුළෙන් ද? එහෙමත් නැත්නම් අනෙකාගේ දෘෂ්ටියෙන් ද?
    “මගේ ආදරණීය ජනතාව කියලා කිව්වම, කියන “මම” ජනතාවට අයත් වෙනව ද ? අපේ ජනතාව, ඔවුන්ගේ ජනතාව කිව්වම ඒ කියන අයත් ඊට ඇතුළත් ද?

    ඇයි මට එහෙම හිතෙන්නේ?. කවදා ඉඳලද?. ඒකට මට උත්තරයක් නෑ. ඒත් දැන් මට දැනෙන්නෙ නම්, මේ ගොල්ල, ඒ කියන්නේ උතුරේ, බිංතැන්නේ, මළය රටේ ජීවත් වන මිනිසුසු ජනතාව ද කියන ප්‍රශ්නය. මේ හැඟීම ඇති වෙන්නේ හෝ නො වෙන්නේ, තමන් ඉන්න තැන අනුවයි. මම ඉන්න තැන ඉඳළ මේ ගොල්ල ජනතාවද නැද්ද කියලා මට තීරණය කරන්න තියෙන අයිතිය මොකක්ද?‍

    ඉන්න තැන භෞතිකව මොන තූත්තුකඩියේ වුණත්, මානසිකව ඉන්න තැන මත ඇති කරන හැඟීම අර උඩ කාරණයට බලපානවා වෙන්න පුලුවන්. ඒත් ඒ අයිතිය මට දීලා තියෙන්නේ ඉතිහාසයෙන්. ඉතිහාසයේ කවද ඉඳළ ද. මහාවංසේ ඉඳළ ද. ඔව්නෙ. මහවංසේ පටන් ගන්කොටම වන්නිලෑ ඇත්තෝ වෙන් කරනවනේ. එයාලා ආදිවාසින්, වැද්දෝ කියලා. අපේ පූර්වජ මුත්තා ඒ වැඩේ කරලා තියෙනවා. තමන්ගේ අඹුවයි දරුවොයි පන්නල දානව. එයාලා වෙනම දිහාවකට පන්නා යනවා. වෙනම ජීවත් වෙනවා. ඉතින් එදා ඉඳළ එයාලා ජනතාව කියන ප්‍රපංචයෙන් වෙන් වෙනවා. වෙනම අනන්‍යතාවක් තියෙන ජන කොටසක් වෙනවා. එතකොට ජනතාව කියන හැඟීමට මේ “අනන්‍යතාව” කියන එක මානසිකව බලපානවා. භෞතිකය, ඒ කියන්නේ ඔවුන් ජීවත් වෙන භූමියත් ඒකට උදව් කරනවා.

    උත්තර දේසේ ඉන්න ඇත්තොත්, මළය දේසයේ ඉන්න ඇත්තොත් “ජනතාව” කියන කොටසට නො දැනෙන හේතුව ඒක වෙන්න පුලුවන්. මහාවංසෙම තමයි උත්තර දේසේ මිනිස්සුත් ජනතාව කියන සංකල්පය බෙදන්නේ. හැබැයි මළය රට ජනතාව වෙනම කොටසක් කරන්නේ මහවංසය නොවුණත් චූලවංසය වෙන්න පුලුවන් කියලා තර්කයක් ගෙනාවත්, ඒක හරියටම සලකුණු කරන්න පුලුවන් වෙන්නේ සුද්දගෙ කාලේ කියලා කියන හැඟීමයි හිතට එන්නේ. ඒ ගොල්ලෝයි මේ මළය රට වතු ආශ්‍රිතව ජීවත් වෙන දෙමළ බස කතා කරන මිනිස්සු ලංකාවට ගෙනාවේ.
    එහෙම වුණත් මට මේ විදිහට හිතෙන්න මම ඉන්න තැන මොකක් ද. මම ඉන්නේ මේ තුන්ගොල්ල ඉන්න තැන නොවන නිසා ද. මම ඉන්නේ ජනතාව කියලා කියන්න පුලුවන් තැන ද. ඒකත් ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම හිතෙන්නේ සිංහල හින්ද ද? බොෟද්ධ හින්ද ද? එහෙම දෙයක් ඇති කරලා තියෙනවා. බොරුවක් නෙවෙයි. නැත්තම් උතුරෙන් වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා කියලා කියන්න හේතුවක් නෑ. වතු කම්කරුවන්ට විතරක් දෛනික පඩිය අඩු වෙන්න හේතුවක් නෑ. අවුරුදු තිහක යුද්ධයක් කරන්න හේතුවක් නෑ.

    මේ විදිහට බැලුවම මම හිතන එකත්, ඒ මිනිස්සු හිතන එකත් අතර වෙනසක් නෑ. මට තියෙන හැඟීම මයි එයාලටත් තියෙන්නේ. මහා වංසේ ඉඳළා මේ දක්වා ආව ඉතිහාසයේ රස්තියාදුවක් ගැහුවොත්, මේ තුන් ගොල්ල විතරක් නෙවෙයි, තවත් වෙන වෙන මිනිස් කණ්ඩායම් ඉන්නවා වෙන්න පුලුවන්. වෙන්න පුලුවන් නෙවෙයි ඉන්නවා. ශිෂ්ටාචාරයක් කියන්නෙම වෙන් කිරීමක්. සංස්කෘතියක් කියන්නෙම වෙන් කිරීමක්. භාෂාවක් කියන්නෙම වෙන් කිරීමක්. ආර්ථිකයක් කියන්නෙත් වෙන් කිරීමක්. එහෙම හිටපු, එහෙම වෙන් කරපු මිනිස්සු එක් කරා කියලත් කියන්නේ ඉතිහාසයමයි. එක් කරා කියලා කියනකොටම වෙන් වෙලා හිටියා කියලා කියන්නෙත් ඉතිහාසයමයි.

    තැනක් නැතුව තැනින් තැනට ගිහින් ජීවත් වෙන මිනිස්සු පිරිසකුත් ලංකාවේ ඉන්නවා. මෙයාලට සංචාරකයෝ කියලා කියන්නෑ. එයාලට කියන්නේ අහිකුණ්ඨිකයෝ කියලා. මේ මිනිස්සු මොක්කු ද? මේ අය සිංහලයට අනුව දෙමළට අනුව, මසල්මානුවට අනුව ජනතාව ද? රටට අනුව ව්‍යවස්ථාවට අනුව ජනතාව ද

    එතකොට ව්‍යවස්ථාවෙන් කියන ඔය ජනතා පරමාධිපත්‍යය කියන්නේ මොකක්ද? ඒක කාට අනුව ද? ව්‍යවස්ථාවේ කියන ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඒක වචන ද නැත්තම් බහු වචනයක් ද?
    සුද්දා ඇවිත් එට එකතු කළා කිව්වට ඒ එකතු කිරීම කළේ ජනතා පරමාධිපත්‍යය ගැන හිතල ද? දැන් සමහරු 1931 ලැබුණු සර්ව ජන ඡන්ද බලය ගැන කතා කරනව. ඒක ආසියවත් එක්ක සසඳනව, ප්‍රජාතන්ත්‍රවාදයට ගලපනව. ඇත්තටම වුණේ එහෙම එකක් ද? එහෙම දයෙක් උනා නම් ඇයි මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ ජනතාව කියන කොට වෙන වෙනම හැඟීමක් එන්නේ.

    සුද්දා එන්න කලින් එහෙම දෙයක් තිබුණෙ නෑ, කියල කියන ඉතිහාස සාධක තියෙනවා. ලංකාව කිසිම දවසක එකක් විවිදිහට තිබිල නෑ.. එදා රට වැසියා නැත්නම් අද කතා කරන “ජනතාව” කියන සංකල්පයෙන් හිටපු මිනිස්සු ඒකීය අර්ථයකින් හිටියද කියන එක නම් මම දන්නෑ. ඒත් මහවසංසේ, සෙල්ලිපි, අර්ථකතන දිහා බැලුවම අපි කැමැති විදිහට හිතා ගන්න පුලුවන් ඉතිහාසයක් තමයි තියෙන්නේ..

    මේ මොහොතේ දී මේ “ජනතාව” කියන සංකල්පය ව්‍යවස්ථානුකූලට උඩට ඇවිත් තියෙන්නේ. ඒ ඡන්දයක් හින්දා. ජනතා පරමාධිපත්‍යය උරගාලා පාලකයෙක් පත් කර ගන්න නිසා. ඒ වගේම මේ පරමාධිපත්‍යයෙන්ම ව්‍යවස්ථාදායකයට පත්කරගන්න ඡන්දයක් තියෙන්න නියමිත නිසා. ව්‍යවස්ථාවක් කියන්නේ නීතියක් උනාට ඒ නීතිය හදවතට දැනෙන්න ඕන. එහෙම නැත්තම් ඒක බලහත්කාරයක්. බොරුවක්. ව්‍යවස්ථාව බොරු කරල ද නැතිනම්, ව්‍යවස්ථාවට බොරුකරලද කියන ප්‍රශ්න දෙකෙන් එකක් හෝ දෙකම ඇත්ත නම්, මේ ගැන විශ්වාස කරන කවුරු වුණත් ඉන්නේ විශාල මායාවක.

    උඹ හදන්නේ මේ සේරමල අවුල් කරන්න. රාජ්‍යයට ද්‍රෝහීකම් කරන්න. රට බෙදන්න. උඹ ත්‍රස්තවාදියෙක්. එහෙමත් නැත්නම් මොලේ අමාරුකාරයෙක්.

    ඔව් ඒ විදිහට කියන්න පුලුවන්. ජාතියට රටට කරන අපහාසයක් වෙන්න පුලුවන්. ඒත් දැන් ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන එකි නොකී අපා දෙපා සියලුම දෙනාත්, ඡන්දය ඉල්ලමින් ජනතාව ගැන කතා කරන මහත්තුරුත්, ව්‍යවස්ථාවත් අතර වෙනසක් නෑ. ඒ අර්ථයෙන් ඔවුන් ව්‍යවස්ථාවට අවංකයි. එයාලා එක පරමාධිපත්‍යයක් ගැනයි කතා කරන්නේ. ඒත් මට නම් එකක් ගැන හිතන්න තරම් ඇත්තක් තියෙනවද කියන එක හදවතට දැනෙන්නෙ නෑ. ඒ නිසා මම ද්‍රෝහියෙක්. ඉජන කොළමා ත්‍රස්ථවාදියෙක්. බෙදුම්වාදියෙක්.

    බොහෝ දෙනෙකුට මේ විදිහටත් කියන්න පුළුවන්. ඒත් දෙකක් කියන්න ඕන. පළමු වැන්න සුදු මහත්තුරු දේශ ප්‍රේමීන් වෙති. දෙවැන්න සුදු මහත්තුරු නිසාම මහා වංසය ත්‍රස්තවාදියෙකි.

    eජන කොළමා

  • ඒක තරම් වංචාවක් ව්‍යවස්ථාව තරම්වත් නෑ

    ඒක තරම් වංචාවක් ව්‍යවස්ථාව තරම්වත් නෑ

    විදේශයක ඉඳගෙන ලංකාවේ සිද්ධ වෙමින් යන දේවල් දිහා බලාගෙන ඉන්න එක ශරීරයට ආහාර ගන්නවට වඩා ඇබ්බැහියක් වෙලා කියලා කිව්වොත් වැරදි නෑ. මීට වසර ගණනාවකට ඉහත නම් වෙබ් සයිට්වල ලියැවෙන දේවල් කියෙව්වා. මොනවද සිදුවෙන්නේ කියන කුතුහලය එකතු කරගෙන. ඒත් දැන් තොරතුරු දැන ගන්න කියවනවට වැඩිය තියෙන්නේ අහන්න බලන්න තියෙන තොරතුරු. කෙළවරක් නැති තොරතුරුවලින් යූ ටියුබ් නාලිකා පිරී ඉතිරිලා ගිහින්. ඒක තරඟයක් විතරක් නෙවෙයි, ඔළුව මඥ්ඥංකරන තරමට තොරතුරු තොර තෝංචියක් නැතුව දවසක් ඇතුළත පිටාර ගලන්න අරගෙන. පත්තරවල තියෙන දේවල් කියැවීමත්, ඒවට අර්තකතන සැපයීමත්, කෙලින්මත් වක්‍රවත් තම තමන්ගේ පක්ෂපාතිත්වය ප්‍රකාශ කරන එක තමයි අද ජන මාධ්‍යය කියලා කියන්නේ. එදත් එහෙම නො වුණා තියලා කියන්න බෑ. අද එදාට වඩා විවෘත අවකාශයකට ඇවිත් “චීන වෙළෙඳපලක්” වගේ ඔළුවට ඕන ඒවාත් එපා එ්වාත් ගන්න බල කරනවා. තෝරා ගැනීම කියන එකත් ස්වාධීන නොවන තරමේ බලපෑමක් මේ තොරතුරු සම්ප්‍රේශනය තුලින් සිදු කරමින් තිබීමට “තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදය” කියලා කියන්න පුළුවන් ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.

    ඇත්ත, නැත්ත, ගත්ත යුත්ත මේ සිල්ලේම අවසාන ග්‍රාහකයා වෙන්නේ ජනතාව. ජනතාව දැනුවත් කිරීම කියන මූලික අදහස තමයි ඔය කියන ඕනෑම මාධ්‍යයකින් කරන්නේ. අපි ජනතාව නම්, ඔබ ජනතාව නම්, මේ ජනතාව කියන්නේ කවුද? ඇත්තටම මම යනු ජනතාවට අයිති වන්නේ කොහොමද. අපි ජනතාවට අයිති වන්නේ කොහොමද. ඔබ ජනතාවට අයිති වන්නේ කොහොමද.

    ආර්ථිකය ගැන කතා කරනවා. ආර්ථිකය ජනතාව. දේශපාලනය ගැන කතා කරනවා. දේශපාලන ජනතාව. බලය ගැන කතා කරනවා. බලය ජනතාව. ආගම ගැන, ජාතිය ගැන, සංස්කෘතිය ගැන කතා කරනවා. මේ සියල්ල ජනතාව. එතකොට මහ පුදුම දෙයක් වෙන්නේ. අපි ගැන පුදුම විදිහට වද වෙන්නේ. අපිට පුදුම විදිහට ආදරය කරන්නේ. අපි වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන වෙහෙසීම සුළු පටු නෑ. අපි වෙනුවෙන් පෙනී ඉන්න හැම කෙනෙකුටම ඕන කරලා තියෙන්නේ “කැමැත්ත”, අනුමැතිය, මනාපය, ඡන්දය. මේක මහා පුදුමයක්.

    ජනතාවගේ කැමැත්ත අරගෙන, ඒ කැමැත්තේ බලයෙන් පෙරලා ජනතාවට ආදරය කිරීමයි මෙතන තිබෙන අවසාන අභිලාෂය. ඉතින් මේ බලය ගන්න ජනතාවට දෙන්න වෙනවා කැමැත්ත. කැමැත්ත කියන එක ඇත්තටම ජනතාව තුල තිබෙන දෙයක් ද, ඇති කරන දෙයක් ද, එහෙමත් නැත්තම් ඇති කරවන දෙයක් ද කියන ප්‍රශ්නය ඒ තරම් සංකීර්ණ නෑ. යම් දෙයකට, කෙනෙකුට, කණ්ඩායමකට ජනතාව කැමැති වෙන්නේ ඇයි කියලා ඇහුවොත්, ඒකට ඒකට තිබෙන උත්තරය “ස්වාධීන” එකක් කියලා කියන්න පුළුවන් ද. එහෙමයි කියලා හිතුවොත්, මේ කියන ජනමාධ්‍යවත් තොරතුරුවත් අපට ඕන කරන්නෑ. දැනුවත් කරනවා කියන්නෙම අපිව “නො දැනුවත්” කියන මූලධර්මයයි. ඒ කියන්නේ ජනතාව ස්වාධීන නෑ.. කැමැත්ත ස්වාධීන නෑ. දේශපාලනය, බලය, ආර්ථිකය ආගම සංස්කෘතිය ඔය කියන මොන මඟුලක්වත් ස්වාධීන නෑ. නීතිය. ඒකත් විශාලම රැවටීමක්.

    දැන් මට තිබෙන ප්‍රශ්නය තමයි, ඇත්තටම මේ ජනතාව කියන්නේ කවු ද, එහෙම දෙයක් තියෙනවද කියන පැනය.

    මොකද නැත්තේ, ජනතාව කියන අය බලාගන්න පුලුවන් ඡන්දයක දි. ඒ කියන්නේ ජනතාව කියන අය කාටවත් යටත් නෑ කියන එකද. පරම ආධිපත්‍යය තියෙන්නේ ජනතාවට කියන එක ද. පරම බලය තියෙන්නේ ජනතාව සතුව කියන එක ද.

    ඒක නිකං කැළණි ගඟට පොල් ලෙල්ලක් දමනවා වගේ දෙයක් ද? මාළුන්ට පොරි දානවා වගේ දෙයක් ද? දුන්නා දැම්මා ඉවරයි.

    ජනතා කැමැත්ත තමයි, මට හිතෙන්නේ ලෝකේ තියෙන ලොකුම බොරුව. ලොකුම රැවටීම, ලොකුම විහිළුව.

    කැමැත්ත මනාපය ඡන්දය ඉල්ලනවා. ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදනවා. ජනතාවගෙ පරමාධිපත්‍යයට ඇති අවස්ථාව වෙනුවෙන් ජනතාව මැද ඉඳගෙන ඉන්න මාධ්‍ය, ආයතන පොරවල් හැමෝම තකා කරනවා, කතා කියනවා. ඇයි ඒ. ජනතාවගේ ස්වාධීන මනාපය ගන්න. ආර්ථිකය හදන්න. රට ගොඩ නගන්න. ප්‍රශ්න විසඳන්න. ජනතාවගෙ පරම බලය දෙන්න කියලා කියන ගමන්, ජනතාවට බල කරනවා, හරියට දෙන්න කියලා.

    ඉතින් එතකොට කොහෙද ස්වාධීන ජනතාව. ඒක තියෙන්නේ ලියැවිල්ලක. ඒකට කියනවා ව්‍යවස්ථාව. එහෙම එකක් කොහෙද. එහෙම කවුරුවත් නෑ. ඒක ලොකු රැවටීමක්. රැවැට්ටවීමක්. හැබැයි මේක අලුත් දෙයක් නම් නෙවෙයි. ඉතිහාසයේ ඉඳලම පැවැත ගෙන එන දෙයක්. ඒක නො තේරෙන තරමට අවිඥාණකයි. අවිඥ්ඥාණයක් නැති තරමට අවිඥාඥණකයි.

    ඒක නිසා ජනතා කැමැත්ත කියන්නේ බොරුවක්. ඒක මහා බොරුවක්. ඒ බව දැන ගත්තත් වැඩැක් නෑ මේ යන හැටියට.
    කාටහරි පුලුවන් නම්, මගේ මනාපය නියෝජනය වීම සිද්ධවෙන්නේ කොහොමද කියලා බලා ගන්න. දැන ගන්න. ඇඟට දැනෙන්න. හිතට හදවතට දැනෙන්න. අන්න එතකොට පුලුවන් කියන්න. මට තියෙනවා පරම බලයක් කියලා. ඒ හැර ජනතා බලය මහම මහ විහිළුවක්. බොරුවක්. අන්න ඒක එහෙමයි කියලා දැනගෙන, ජනතාව දෙනවා කියලා දෙන බලය අරගන්න කවුරු වුණත් කරන්නේ ලොකු රැවටීමක්. කවුරු හරි කියනවා නම් නෑ.. අපි එහෙම කරන්නෑ. අපි නියෝජනය කරන්නේ ජනතා බලය කියලා නම්, ඒ තරමි බොරුවක් තවත් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් කියන්න තියෙන්නේ ඒක තවම ඉපදිලා නෑ කියලා විතරයි.

    අද ජනතාව කියන්නේ මිල කළ හැකි භාණ්ඩයක් මිසක, පරම බලයක් සහිත භාණ්ඩයක් නෙවෙයි. ආර්ථිකය මෙන්ම දේශපාලනයක් වෙළෙඳාමක්. ඒකේ මිල වටිනාකම තිර්ණය කරන්න අවශ්‍ය බලය ගැනීමට තමයි ජනතා කැමැත්ත කියන්නේ. ජනතාවට පුලුවන් ඒකට මිලක් තීරණය කරන්න. ඒ කැමැත්තේ තිබෙන අපූර්වත්වය තමයි. උගත් නූගත්, බුද්ධිමත් මෝඩ ධනවත් දුප්පත් සිංහල දෙමල කලු සුදු කියලා බේදයක් නෑ. කැමැත්ත සමානයි. එතැන නෑ අරයගෙ කැමැත්ත මෙයාගෙ කැමැත්තට වඩා ලොකුයි පොඩියි කියලා. එතැනදි විතරයි භේදයක් නැතිව සමාන වෙන්නේ. අන්න එතැන තියෙනවා සමාන බලයක්. ඒක නිසා ජනතා මනාපයට පුලුවන් සංවිධානය වෙලා බලය පෙන්නන්න. දෙන්නං කාසිවලට නම් කොරලා වැඩක් නෑ.

    අඩුම තරමින් කියන්න පුලුවන් නම්, අපිට මෝඩයන්ට අන්දන්න එපා.. ඔය ඕන නැති ප්‍රචාරණ කරලා. ඕවට වියදම් කරන සල්ලිවලින් මේන්න මේ දේ කරනවා කියලා කියන්න වත් පුලුවන් නම්, ඇත්ත වශයෙන්ම දෙයක් බලාගන්න පුලුවන්.

    එහෙම නැතුව ජනතාව ගොනාට ඇන්දවීමත්, ජනතාව ඇඳ ගැනීමත් අතරේ වෙනසක් නෑ..

    හැබැයි ඉතින් මේ අතරේ කාලයක ඉඳන් යම් තාර්කික දේවල් සිද්ධවෙලා තියෙනවා. ඒ කියන්නේ මනාපයට විටිනාකමක්.

    සමහර ජනතාව බලය දෙනවා පොඩි දෙයකට. ගෙයකට, රස්සාවකට. හාල් කිලෝ එකකට. අරක්කු වීදුරවකට. එතන තියෙනවා තර්කයක් සහ විඥ්ඥාණයක්. හැබැයි මේ ජනතාවට පුලුවන් මේක තව විශාල කරගන්න. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න. මිල තීරණය කරන්න. මොකද ඒක පාර්ලීමෙන්තුවේ වෙනකොට ජනතාවටත් පුලුවන් වෙන්න ඕන ඩිමාන්ඩ් කොරන්ඩ.එහෙම උනා නම් අද වෙනකොට ලොකු ගණනකට මානපය දෙන්න පුලුවන්. ඒක හරියට කරන්න පුලුවන් ජනතාව දැනුවත් උනොත්, ඔය පරම බලයට වටිනාකමක් අර ගන්න පුලුවන්. ඒ හැර උන් දන්නවා කියලා හිතාගෙන, උන් කොරයි තියලා හිතාගෙන, දෙන කැමැත්ත ලොකු බොරුවක්. උන් අපිව රවටනවා. අපි රැවටෙනවා. බලය පරම කියනවා. පරම බලය කියනවා. බලය පරණ වෙනවා. ආයෙත් ඉල්ලනවා.

    ජනතාව! මොන ජනතාවද! ඔය ජනතාවට කොරන්න පුළවන් ලබ්බක් නෑ. මනාපය කියන එක ඥාණය කියන එකට සමාන කරලා තියෙන නිසා. ඒක තරම් වංචාවක් ව්‍යවස්ථාව තරම්වත් නෑ.

    eජන කොළමා