Tag: දයාපාල තිරානගම

  • අද රෝසා ලක්සේම්බර්ග් ගේ 107 වැනි මරණ අනුස්මරණය යි.

    අද රෝසා ලක්සේම්බර්ග් ගේ 107 වැනි මරණ අනුස්මරණය යි.

    දයාපාල තිරානගම
    රෝසා ලක්සේම්බර්ග් දක්ෂිණාංශික පරා මිලිටරි කල්ලියක් විසින් සහාසික ලෙස ඝාතනය කරනු ලැබුවේ මෙයට වසර 107 කට පෙර අද වැනි දිනකය. මෙය රෝසා විසින් විප්ලවීය මාක්ස්වාදයේ න්‍යාය සහ භාවිතයට ඇය විසින් එක් කල දායාදය ඇගයීම් වස් කරන කෙටි සටහනක් මෙන්ම ලෝක සමාජවාදී ව්‍යාපාරයේ නොමැකෙන පිය සටහන් තැබූ ඒ නිර්භීත අයෝමය ස්ත්‍රියට උපහාරයකි .

    රෝසා ලක්සෙම්බර්ග් ‘පෝලන්තයේ කාර්මික සංවර්ධනය’නම් නිබන්ධනයට 1897 දී ස්විස්ටේර්ලන්තයේ සුරිච් විශ්වවිද්‍යාලයෙන් අචාර්ය උපාධිය ලබා ගත්තාය.

    ඝාතනයේ දේශපාලන පසු බිම
    පලමු ලෝක සංග්‍රාමය තුල දෙවැනි ජාත්‍යන්තරයේ පක්ෂ දෙකට බෙදුණි.එහි ප්‍රධාන පක්ෂයක් වූ කෞට්සිකි ලා විසින් නායකත්වය දුන් ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාක්ස්වාදය ප්‍රතිසන්කරණය කරමින් තම රටේ ධනපති පංතිය පෙරලා දැමීම වෙනුවට පිතෘ භුමිය යුධයේදී ආරක්ෂා කරමින් දේශප්‍රේමය සමග ඇඳෙමින් සමාජවාදී විප්ලවය පාවා දුන්හ.ලෙනින් ඇතුළු බෝල්ෂෙවික් පක්ෂය මෙයට ප්‍රති විරුද්ධ ස්ථාවරයක් ගනිමින් රුසියාව තුල තම රටේ ධනපති පංතිය පෙරලා දැමීමේ විප්ලවීය මාවතට අවතීරණය විය.රෝසා ලක්සේම්බර්ග් එකල ජර්මනිය තුල පෙනී සිටියේ මේ විප්ලවාදී ස්ථාවරය සමගිනි.කලින් විප්ලවාදී ලෙස පෙනී සිටි ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විප්ලවය අත හැරීමෙන් පසුව කලින් පක්ෂයේ ප්‍රධාන න්‍යාය ධාරිනියක් ව සිටි රෝසා විසින් ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ‘දුගඳ හමන මල මිනියක්’ ලෙස හඳුන් වා දෙන ලදී. විප්ලවය සහ ප්‍රතිසන්ස්කරනවාදය අතර ඇති වූ මේ ඛණ්ඩනය රෝසා සහ කාල් ලිබ්නෙක් පසුව ජර්මානු කොමියුනිස්ට් පක්ෂය බවට පත් වූ ‘ස්පාටකස් ලීගය’ පිහිටුවීමට මුල් විය.ස්පාටකස් ලීගය දියත් කල සන්නද්ධ නැගිටීම පරාජය වීමත් සමග ප්‍රතිගාමී සන්නද්ධ කල්ලි රෝසා ලක්සේම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් ලුහුබැන්දේය.රෝසා සහ කාල් ලිබ්නෙක්ට් අල්ලා ගෙන එදිනම (1919 ජනවාරි 16 දින) නඩු විභාගයක් නොමැතිව ඝාතනය කරනු ලැබිණ.මේ ඝාතනයට කරනු ලැබුවේ මේ දක්ෂිණාංශික සන්නද්ධ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ Freikops නමිනි.ඔවුහු ඇයට ශාරීරිකව පහර දී වෙඩි තබා මර දමන ලදී.ඇයගේ දේහය බර්ලිනයේ Landerwher ඇලට විසි කර දමන ලදී.රෝසාගේ මෘත ශරීරය සොයා ගනු ලැබුවේ ඇය ඝාතනය කොට මාස 4 කට පසුව වයි. රෝසා ගේ දේහය 1919 ජුනි 13 දින ලක්ෂයකට අධික මහා ජනකායක් සහභාගී වූ අවමගුල් උත්සවයක් පවත්වමින්Friedrichsfelde සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබිණ.

    සෝවියට් සංගමය කම්පනයට පත් වීම
    රෝසා ගේ ඝාතනය පිලිබඳ පුවත මොස්කව් වලට ලඟා වුයේ ජනවාරි 18 වැනි දිනයි.
    රෝසා ගේ සහ කාල් ගේ ඝාතනයන් ගෙන් කෝපයට සහ කම්පාවට පත් ලෙනින් ජනවාරි 19 දින මොස්කව්හි සොවෙට්ස්කයා චතුර්ශයයයේදී විශාල රැළියක් පවත්වමින් සඳහන් කලේ රෝසා ලක්සේම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් ‘විප්ලවීය නිර්ධන පංතියේ විශිෂ්ට නියෝජිතයන් ‘ සහ ‘ලෝක නිර්ධන පංති ජාත්‍යන්තරයේ මාහැඟි නියෝජිතයන්’ ලෙසය.ලෙනින් තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ඔවුන් දැක් වූ වීරත්වය කොමියුනිස්ට් වාදයේ පුර්ණ ජයග්‍රහණය උදෙසා ධෛර්ය සහ විශ්වාසාහය ව්‍යාපාරයට දුන් බවය.මේ ඝාතනයන්ට උදව් කල ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය(SPD)ට ලෙනින් ඔහුගේ දැඩි කෝපය ප්‍රකාශ කළේය.ඔවුන්ගේ මේ ක්‍රියාව ‘ඊනියා සමාජවාදීන් විසින් කල ඝාතනයක්’ ලෙස විස්තර කරමින් මෙයට වග කිව යුත්තන් ‘අලුගෝසුවන් ‘ සහ ‘ධනේශ්වර පංතියේ කම්කරු ලුතිනන් ලා ‘ ලෙස විස්තර කළේය.එමෙන්ම ලෙනින් සහ රෝසා අතර දේශපාලන න්‍යාය සහ භාවිතාව පිලිබ්ද වෙනස් කම් තිබුණි.’මධ්‍යගත පක්ෂය’ සහ පෝලන්ත නිදහස සහ ස්වයං තීරණය පිලිබදව රෝසා වෙනස් මතයන් දැරුවද ලෙනින් පෙන්වා දුන්නේ ‘කිකිලියකට වඩා පහලින් සමහර විට රාජලියෙකුට පියාසර කල හැකි වුවද කිකිලියකට කිසිදා රාජලියෙකුට වඩා ඉහලින් පියාසර කල නොහැකිය.රෝසා ගේ ‘වැරදි’ තිබියදීත් ඇය අපට රාජලියෙකි’. රෝසාගේ කෘතීන් අනාගත ‘කොමියුනිස්ට් පරම්පරාවන් සඳහා අත් පොත් විය යුතු බව ලෙනින් කියා සිටියේය.

    ප්‍රතිසන්ස්කරනවාදයද නැත්නම් විප්ලවයද?

    අපේ සංවාදය සහ අවබෝධය පිණිස රෝසා ලක්සේම්බර්ග් විසින් රචිත ‘ප්‍රතිසංස්කරණද නැත්නම් විප්ලවයද'(Social Reform or Revolution)යන කෘතියේ ප්‍රධාන කරුණු කිහිපයක් ගෙන හැර පෑම උචිත බව මම විශ්වාස කරමි.මෙය වර්තමාන දේශපාලන සන්දර්භයට ද ඍජු ලෙස අදාලය.
    (1) අනුක්රමිකවාදය(ප්‍රතිසන්ස්කරනවාදය) ප්‍රතික්ෂේප කිරීම:ධනපතික්‍රමය තුල ක්‍රමානුකුලව ප්‍රතිසංස්කරණ මගින් සමාජවාදයට යා හැකිය යන එඩ්වර්ඩ් බර්නස්ටී න්ගේ මතයට එරෙහිව රෝසා ලක්සේම්බර්ග් තර්ක කරයි.රෝසා ප්‍රකාශ කරන ආකාරයට ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය සහ විප්ලවය සඳහා වූ ව්‍යාපාරය එකිනෙකට වෙනස් වූ ඉලක්කයන් තෝරා ගනියි.’ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩසටහන සමාජවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා නොව ධනපති ක්‍රමය ප්‍රතිසංස්කරණය අරමුණු කර ගනී.වැටුප් ශ්‍රමික ක්‍රමය නැති කර දැමීම නොව සුරාකෑම අඩු කිරීම ඉලක්ක කර ගනී.’
    (2) ධනපති ක්‍රමය අසීමිතව වෙනස්කම් වලට අනුගත වෙමින් නය ක්‍රමයන් කාටලයන් වැනි යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රජාත්නත්‍රවාදය පුළුල් කිරීම මගින් එහි කඩා වැටීම වලකා ගත හැකි බවට බර්න්ස්ටින්ගේ කියා පෑම රෝසා ලක්සේම්බර්ග් ප්‍රතික්ෂේප කරයි.මේ සාධකයන් ධනපති ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් නැති නොකරනවා පමණක් නොව ඒවා තව දුරටත් උත්සන්න කරන බව රෝසා කියා සිටි.එම හේතුන් නිසා මහා අරාජිකත්වයකට මග පාදමින් අනිවාරණිය ලෙස ඇතිවන අර්බුදය ධනපති ක්‍රමයේ අවසානය ලං කරනු ලබයි.
    (3) රෝසා පෙන්වාදෙන අයුරු නුතන රාජ්‍ය මුලික වශයෙන් පාලක පංතියේ (ධනපති පංතියේ) සංවිධානය බව පෙන්වා දෙයි.මේ රාජ්‍ය මගින් ඇති කරන ප්‍රතිසංස්කරණ අවසානවශයෙන් ධනපති පංතියේ පාලන වුවමනාවන් සහ සුරාකෑම පවත්වා ගැනීම පිණිස සේවය කරන අතර කම්කරු පංතියේ අව්‍යාජ වුවමනාවන් මුදුන් පමුණුවා ගැනීමට හේතු නොවේ.
    (4) රෝසා ප්‍රතිසංස්කරණ සඳහා කරන අරගලයේ නියුක්ත වීම ප්‍රතික්ෂේප නොකරයි.ඉහල වැටුප්,වඩා හොඳ වැඩ කිරීමේ තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන සටනින් ඇති වාසි සහගත තත්වයන් පිලි ගනියි.නමුත් දෛනික අරගලය තුලින් නිර්ධන පංතියේ පංති විඥානය සංවිධානය සහ විප්ලවය සඳහා වන සුදානම ඇති කල හැකි බව පෙන්වා දෙයි.
    (5) ඉලක්කය වන්නේ සමාජ විප්ලවයයි.කම්කරු පංතිය දේශපලන බලය අල්වාගෙන නිෂ්පාදන මාධ්‍යන්ගේ පෞද්ගලික හිමිකාරත්වය අහෝසි කොට සාමූහික හිමිකාරත්වය ඇති කිරීම මගින් පවත්නා දේපල සම්බන්ධකම් පරිවර්තනය කිරීම සඳහා අත්‍යවාශයක දේශපලන නිර්මාණයක් අවශ්‍ය වෙයි.
    (6) සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ දියකර හැරිය නොහැකි සම්බන්ධය වන්නේ සමාජයීය ප්‍රතිසංස්කරණ සහ විප්ලවය අතර ඇති සම්බන්ධයයි.ප්‍රතිසංස්කරණ සඳහා වූ අරගලය කම්කරු පංතිය දේශපාලන බලය ජයග්‍රහණය කිරීම පිනිස සුදානම් කරන නමුත් ධනපති සමාජයේ සිට සමාජවාදී සමාජයට ගුණාත්මක වශයෙන් මාරුවන විප්ලවීය ක්‍රියාව ට එය හුවමාරු කල නොහැකිය.
    (7) කම්කරු පංතිය මාක්ස්වාදී න්‍යායයෙන් සන්නද්ධ වීමේ අවශ්‍යතාවය ගැන රෝසා අවධාරණය කරයි.ප්‍රතිසන්ස්කරනවාදී ප්‍රායෝගික දේශපාලනයට පක්ෂපාතිව විද්‍යාත්මක සමාජවාදයේ න්‍යායික පදනම අතහැර දැමීම කම්කරු පංතියට එහි විප්ලවාදී නිර්ධන පංතික ස්වභාවය අහෝසික කර සුළු ධනේශ්වර වුවමනා එපාකම්වලට එය යටපත් කිරීමට එරෙහිව රෝසා කරුණු දක්වයි.
    (8) කුඩා පෙරටු බල ඇණි මධ්‍ය ගත පක්ෂයක් කරනු ලබන පැටවිමකට වඩා පංතිවීඥානය විප්ලවාදී අරගලය ඓන්ද්‍රිය ලෙස පන නගින්නේ බහු ජන ක්‍රියාවන්ගේ (වැඩ වර්ජන,විරෝධය පෑම් වැනි) ඍජු බහු ජන ක්‍රියාවන් බවට රෝසා තර්ක කරයි.
    ලෝක සමාජවාදී ව්‍යාපාරය තුල විප්ලවය සහ අවස්ථාවාදය අතර අරගලය නිරතුරුවම පවතියි.එමනිසා රෝසා පෙන්වාදෙන කරුණුවල අදාලත්වය අවස්ථාවාදය දේශපාලන ක්‍රියාමාර්ගයක් වශයෙන් හඳුනා ගැනීමේදී ඉමහත් වැදගත් කමක් දරයි.පළමු ලෝක සංග්‍රාමය තුල මෙන්ම 1962 සෝවියට් සංගමය සහ චීනය අතර ඇති වූ මහා විවාදය මෙහිදී කැපී පෙනෙන සන්ධිස්ථානයන් වෙයි.

    සමාජවාදයද නැත්නම් ම්ලේචත්වයද ?

    රෝසා ලක්සේම්බර්ග් විසින් 1915 දී රචිත Junius Pamphlet හි ධනේශ්වර සමාජය තීරණාත්මක මන් සන්ධියකට පැමිණ ඇති බවත් එක්කෝ එය සමාජවාදය දෙසට ගමන් කල යුතු බවත් නැත්නම් ම්ලේචත්වයට අපගත විය යුතු බවත් පෙන්වාදුන්නේය.රෝසා විසින් මේ රාමුව පාවිච්චි කරනු ලැබුවේ පළමු ලෝක සංග්‍රාමයෙන් සිදුව ඇති විනාශය විවේචනය කිරීම, ම්ලේච්චත්වයේ සැබෑ ස්වරුපය පෙන්වීම පිණිසය.1918 ජර්මානු කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමට පවතී රැස්වීම අමතමින් ඇය අවධාරණය කලේ ලෝකය මුහුණ දෙමින් සිටින මහා අනතුර වන්නේ එක්කෝ සමාජවාදය නැත්නම් ම්ලේච්ච්තාවය දක්වා පහලට වැටීමයි.රෝසා මෙහිදී ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් එයට පරම්පරාවකට පමණ පෙර මෙය දැක තිබුණු බව කියා සිටියාය.1878 Anti -During හි එංගල්ස් ප්‍රකාශ කලේ ‘එක්කෝ විනාශය නැත්නම් විප්ලවය’යි.
    රෝසා ලක්සේම්බර්ග්ට මේ ම්ලේචත්වය වියුක්ත සංකල්පයක් නොව ඇය ජිවත් වූ කාලයේ සංයුක්ත යථාර්තය විය.එම යථාර්තය සම්න්විත් වුයේ එක්කෝ අධ්රජ්‍යවාදයේ ජයග්‍රහණය සහ ශිෂ්ටාචාරයේ බිඳ වැටීමයි. එනම් මහා විශාල ජනහරනයක්,ජන ශුන්‍යතාව සහ ලෝක ගැටුමින් ඇති වූ මහා සුසාන භූමියක් නිර්මාණය වෙයි. මෙය සංස්කෘතික විනාශය සහ ධනපති අරාජිකත්වයේ නිරුවත් බව පෙන්වීමකි.

    අද ඇමරිකානු අධිරාජ්‍යවාදය රටවල් ආක්‍රමණය කිරීම සහ එයට දක්වන නිරන්තර සුදානම ද පෙන්වන්නේ රෝසා පෙන්වාදුන් මේ ම්ලේච්චත්වයයි.

    රෝසාගේ උරුමය
    රෝසා ලක්සේම්බර්ගේ දේශපාලන උරුමය ඇයගේ මරණයෙන් පසුව ලෙනින් ඉල්ලා සිටි පරිදිදෙන්ම අනාගත කොමියුනිස්ට්වරු පුහුණු කිරීම උදෙසා සිදු වුයේ නැත.රෝසා විසින් පිහිටවූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය මෙන්ම සෝවියට් රුසියාවේ බෝල්ෂෙවික් පක්ෂය ද ලෙනින්ගේ ඉල්ලීම සහ අපේක්ෂාව ඉටු කලේ නැත.එනමුදු පෝලන්ත ජාතිකයන් රෝසාගේ දායාදය කිසිම වෙනසක් නොකොට ලෙනින්ගේ මරණයෙන් පසුව එය බහාලා තිබු මංජුසාවෙන් එලියට ගත් බවසුප්‍රසිද්ධ යුරෝපිය දේශපාලන විචාරිකාවක් සහ දාර්ශනිකාවක් වන හැනා අරන්ට් Men in Dark Times නම් කෘතියේ පෙන්වා දෙයි.හැනා තවදුරටත් පෙන්වා දෙන්නේ රෝසා යනු කව්ද සහ ඇය කල දේ කුමක්ද යන්න ප්‍රමාද වී හෝ පිළිගැනිම රෝසා අවසාන වශයෙන් බටහිර රටවල දේශපාලන විද්‍යාඥයන්ගේ අධ්‍යාපනයෙහි අවසානයේ ඇයට හිමි හිමිවන ස්ථානය ලැබෙන බවට විශ්වාස කල හැකි බවය.

    හනා ගේ පැහැදිලි කිරීම අගය කරමින් ප්‍රකාශ කල හැක්කේ රෝසා ලක්සේම්බර්ග් ගේ දේශපාලන ලියකියවලි සහ ඇයගේ භාවිතාව යුරෝපිය දේශපාලනයට පමණක් නොව ලොව පුරා නිර්ධන පාංතික දේශපාලන සම්ප්‍රදායන් ට අයත් වන බව මෙන්ම ලෙනින් අපේක්ෂා කල පරිදිම කොමියුනිස්ට් වරු ගේ පංතිවිඥානය ඉහල එසවීමට අයගේ දායාදයන් ඉවහල් වන බවයි.

    රෝසා එදා රාත්‍රියේ දී දක්ෂිණාංශික පරා මිලිටරි කරුවන්ගේ පහර දීම් වලින් ලැබූ පීඩාව සහ දැඩි වේදනාව අපේ රටේ දහස් ගණන් තරුණ තරුණියන් සිය අවසාන මොහොත එළඹීමට කලින් අත් විඳ ඇති නිසා ඒ ගැන මෙනෙහි කිරීම අතිශයින්ම දුෂ්කරය.නමුත් අපි එය හොඳින් අත් දැක ඇත්තෙමු.ඔබ පැතු ලොවට මිනිස් සංහතිය ඔබගේ ධෛර්ය,නිර්භීතකම සහ කැපවීම නොඅඩුව ගෙනයන දවසක් එළඹෙනු ඇත.
    රෝසා ඔබට සුභ ගමන්!!!

  • ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පංතික ස්ත්‍රියකගේ  හඬ

    ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පංතික ස්ත්‍රියකගේ හඬ

    ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ වංශවත් පවුලකය. වයස 28 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකාවක් වූ ඇය මුළුමනින්ම සිය කාලය කැපකරන ලද්දේ කම්කරු ප්‍රාන්තික ස්ත්‍රීන්ගේ සංවිධානය කිරීම පිණිසය. කොලොන්තායි රුසියානු අධිරාජ්‍යයේ එවකට පැවති රටවල පමණක් නොව යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සමාජවාදය ප්‍රචාරය කල නිර්ධන පාන්තික ස්ත්‍රිවාදිනියකි. බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ නිර්ධන පන්තික ස්ත්‍රී සහභාගිත්වය පිණිස එවකට අවශ්‍ය වූ න්‍යාය සහ භාවිතාව ප්‍රවර්ධනය කල කොලොන්තායි බෝල්ෂෙවික් විප්ලවයේ අතිශයින්ම මුලික වූ ස්ත්‍රියක් ලෙස ඉතිහාසයට එක් වෙයි. මෙහිදී මතු කිරීමට බලා පොරෝතුවන ප්‍රධාන කරුණක් වන්නේ කොලොන්තායි නිර්ධන පාන්තික ස්ත්‍රීවාදය සහ අවශේෂ ස්ත්‍රිවාදයන් අතර පැහැදිලි න්‍යායික සහ දේශපාලනික බෙදුම් රේඛාවක් ඇඳීමයි.කොටින්ම කියතොත් ‘ධනේශ්වර ස්ත්‍රිවාදය’ ඇය ප්‍රතික්ෂේප කලාය. ස්ත්‍රි ප්‍රශ්නය පිළිබඳව සම්භාව්‍ය මාක්ස්වාදී මතයක් දැරිය. බෝල්ශේවික් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව සමාජ සුභ සාධනය පිළිබද මහජන කොමිසාර් තනතුර හෙබ වූ අතර කොලොන්තායි ස්ත්‍රි දෙපාර්තමේන්තුවක් (Zhenotdel) පිහිටුවීමට මුල්විය. එපමණක් නොව කොලොන්තායි අලුත් ශුභ සාධක ප්‍රාරම්භයන් කිහිපයක් ස්ථාපිත කරනු ලැබිය. ළමා සහ තරුණ ශුභ සාධනය ට අවශ්‍ය නීති පදමන සකස් කල අතර මාතෘ සහ ළමා ශුභ සාධනය රජයේ වගකීමක් බවට පත් කලාය. එනමුදු බෝල්ෂෙවික් පක්ෂය තුල ලෙනින් විසින් කල්ලි කණඩායම් තහනම් කිරීමත් සමග කොලොන්තායිගේ දේශපාලන බලපෑම හීන වීමට පටන් ගති. බෝල්ෂෙවික් පක්ෂය තුල ඇයට සුමට ගමනක් කල නොහැකිවිය. එය ගිරි දුර්ගයන් ගෙන් සමන්විත අනතුරු සහිත මාවතකි. පක්ෂයේ සෑම ක්‍රියාමාර්ගයක් සමගම අනුගත වීමට කොලොන්තායි සුදානම් නොවිය. ඒ ඇරත් කොලොන්තායි ට ක්‍රියාත්මක වීමට සිදුවුයේ පසුගිය සියවසේ අවසාන කාර්තුවේ දේශපාලනය ට ඉමහත් බල පෑමක් කල යුග නිර්මානාත්මක පිරිමින් සමගය. සෝවියට් ආණ්ඩුවේ පලමු ස්ත්‍රිය වුයේ කොලොන්තායිය. නැවතත් කොලොන්තායි රුසියාවට පැමිණෙන විට ඇය සමග ඔක්තෝබර් විප්ලවයට සහභාගිවූ ස්ටාලින් සහ තවත් අයකු හැර සියලුම නායකයන් ඝාතනය කොට තිබුණි. පැරණි නායකයන් ගෙන් ඒ දෙදෙනා හැර දිවි ගලවාගත් එකම නායිකාව කොලොන්තායි පමණි. එම ඝාතනයන් ගැන මුනිවත රකිම ගැන කොලොන්තායිට එරෙහි යම්කිසි චෝදනාවක් පැවතියද ඇය මුනිවත රැකිමම ‘විරෝධයක්’ ලෙස සැලකිය යුතුය.

    දේශපාලන ඉතිහාසය

    බෝල්ෂෙවික් විප්ලවයේ ස්ත්‍රි නායිකාවක් බවට පත් වීම උදෙසා ඇය තරුණ අවධියේ සිටම ආරම්භ කල ජිවිත සැකැස්ම කුමන වූ මාවතක් ඔස්සේ කෙසේ සිදු වුයේද යන්න පිලිබදව යම් අදහසක් ලබා ගැනීමට ඇය ගේ දේශපාලන ඉතිහාසය ඉතාමත් කෙටියෙන් සටහන් කිරීම වැදගත්ය. දේශපාලනයට පිවිසීමට පෙර සාන්ත පීටර්ස්බර්ග් නගරයේ අතිශය දිළිඳු පවුල් සොයා යමින් ඔවුන්ට අධ්‍යාපනිකව උදව් කරන සමාජසේවා සංවිධාන සමග කොලොන්තායි මානවවාදී ක්‍රියාකාරිත්වයන්ට සම්බන්ධ වුවාය. කොලොන්තායි මාක්ස්වාදය පිලිබදව අධ්‍යනය කිරීම ආරම්භ කරන ලද්දේ මේ කාලපරිචේදය තුලය. මුලින්ම 1896 දී සාන්ත පිටර්ස්බර්ග් නුවර රෙදිපිළි නිෂ්පාදනයකරන කර්මාන්තශාලා කම්කරුවන් ගේ වැඩවර්ජනයක් සාර්ථක කිරීම පිණිස කොලොන්තායි මහත් පරිශ්‍ර‍රමයකින් කටයුතු කළාය. 1886 දී රුසියාවෙන් බැහැරව ගොස් කොලොන්තායි ස්විස්තරලන්තයේ සුරිච් විශ්වවිද්‍යාලයේ කම්කරු ඉතිහාසය පිළිබඳව අධ්‍යයන කට යුතු කල කොලොන්තායි සැබෑලෙසම මාක්ස්වාදය අධ්‍යයනයට කාලය වැය කළාය. මේ කාලයේදී ප්ලේඛෝනොව්, කාල් කවුට්ස්කි සහ රෝසා ලක්සේම්බර්ග් ගේ මාක්ස්වාදී රචනාවන් කියවීමෙන් ඇය මහත් ආස්වාදයක් ලැබිය. පසුව නැවතත් රුසියාවට පැමිණි කොලොන්තායි පින්ලන්ත කම්කරුවන් ගේ වෘර්තිය සමිති සංවිධාන ගොඩ නැගීමට ආධාර කළාය.1903 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍ර‍වාදී පක්ෂයේ ලංඩන් සම්මේලනයේදී සමාජ ප්‍රජාතන්ත්‍රරවාදී පක්ෂයමෙන්ශේවික් සහ බෝල්ෂෙවික් කණ්ඩායම් ලෙස වෙන්වීමෙන් ඇතිවූ බෙදීමේදී කොලොන්තායි කිසිම කණ්ඩායමකට සිය පක්ෂපාතිත්වය පල නොකළේ දෙපාර්ශ්වයේම තමන්ගේ මිතුරන් සිටි නිසා බව පසුව ප්‍රකාශ කර තිබුණි. එනමුදු 1906 දී කොලොන්තායි මෙන්ශේවික් කණ්ඩායමට නිල වශයෙන් සම්බන්ධ වුයේ ලෙනින්ගේ අධිකාරිවාදී ප්‍රවනතාවයන් පිළිබඳව චෝදානාවක් කරමිනි. එනමුදු 191416කාලය තුල කොලොන්තායි කල දේශනයකදී ඇය සඳහන් කලේ ‘සමස්ත යුගයක් මත ඔවුන් ගේ සලකුණ තබන, විපත්තිකර වෙනසක අභියස නිර්මිතවන මිනිස් සංහතියේ ඉතිහාසයේ හුදු අතේ ඇඟිලි ගණනට බිහිවන මිනිසුන් අතලොස්සක් වන පුද්ගලයන් ඇත. ලෙනින්ට ඇත්තේ එවැනි සුවිසල් මනසකි. එවැනි සුවිසල් අධිෂ්ඨානයකි. 1908 දී කොලොන්තයිට රුසියාවෙන් පිටමන්විමට සිදු වුයේ පින්ලන්ත කම්කරුවන්ට සන්නද්ධ නැගිටීමක් කරන ලෙස ඉල්ලා නිකුත් කල පත්‍රි‍රිකාවක් සාර් පාලනයේ දැඩි උදහසට ලක් වූ බැවිනි. පළමු වැනි ලෝක සංග්‍රා‍රාමය ආරම්භ වීමත් සමග කොලොන්තායි ජර්මනියේදී අත් අඩංගුවට ගනු ලැබිණ. 1916 දී කොලොන්තායි බෝල්ෂෙවික් පක්ෂයේ සාමාජිකත්වය ගෙන එවකට මෝරමින් පැවති රුසියානු විප්ලවයට සහභාගී වීම පිණිස නැවතත් රුසියාවට පැමිණියාය.ඇය බෝල්ෂෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකාවක් වූ අතර 1917 පෙබරවාරි ධනේශ්වර විප්ලවයෙන් පසුව සන්නද්ධ නැගිටීමක් මගින් බලය ලබා ගැනීමේ හැකියාව සහ අවශ්‍යතාවය සූත්‍ර‍ ගත කල ලෙනින්ගේ ‘අප්‍රේල් නිබන්ධයන්ට’ පක්ෂපාතිත්වය පල කළාය. එසේම පෙට්‍රොගාර්ඩ් සෝවියට් හි විධායක කමිටුවේ සාමාජිකාවක් ද වුවාය. ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණයයෙන් පසුව කොලොන්තායි සමාජ ශුභසාධනය පිලිබඳ කොමසාරිස්වරිය ලෙස පත් විය. 1920 දී කම්කරු විපක්ෂය සමග සම්බන්ධ වීමත් සමග කොලොන්තායි ගේ දේශපාලන බලහීන වන්න ට පටන් ගති. 1921 දී ලෙනින් විසින් 10 වැනි බෝල්ෂෙවික් පක්ෂය තුල කණ්ඩායමක්‍ ක්‍රියාත්මක වීම තහනම් කිරීමේ යෝජනාව පක්ෂය විසින් අනුමත කිරීමත් සමග ඇය ඇය එවකට සම්බන්ධව සිටි කම්කරු විපක්ෂය අහෝසි කරනු ලැබිය. එයට පසුව පක්ෂය සමග පැවති ගැටුම්කාරී ස්ථාවරයෙන් ගොඩ ඒමට ඇයට දුෂ්කර විය. එයට පසුව කොලොන්තායි පිටරටවල අවුරුදු 20 ක් පමණ රාජතාන්ත්‍රික පදවි දරා නැවත සෝවියට් සංගමයට පැමිණියාය.

    නිර්ධන පන්තික ස්ත්‍රී වාදය

    නිර්ධන පන්තික ස්ත්‍රීවාදය සහ ධනපති ස්ත්‍රීවාදය අතර බෙදුම් රේඛාව ඇය අඳින්නේ නිර්ධන පන්තික ස්ත්‍රීවාදය සෘජු ලෙසම දක්වන ආර්ථික උවමනා වන්ගේ පදනම මතයි. 1913 ස්ත්‍රී දිනය අරභයා පත්‍රිරිකාවක් නිකුත් කරන කොලොන්තායි මෙසේ ප්‍රශ්න කරයි. ‘ස්ත්‍රි වාදීන්ගේ ඉලක්කය කුමක්ද? ඔවුන්ගේ ඉලක්කය වන්නේ ධනපති සමාජය තුල ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට පියවරුන්ට සහ සහෝදරයන්ට ධනපති ක්‍රමය තුල හිමිවන සමාන ඉඩ ප්‍රස්තාවන්, සමාන බලය, සමාන අයිතිවාසිකම් මුදුන් පමුණුවා ගැනීමය. කම්කරු පාන්තික ස්ත්‍රීන්ගේ ඉලක්කයන් මොනවාද? එම ඉලක්කයන් වන්නේ උපතින් සහ ධනයෙන් හිමිවන සියලුම අයිතිවාසිකම් අහෝසි කිරීමය යයි පෙන්වා දෙයි. The Social Bases of the Women Question හි කොලොන්තායි ධනපති ස්ත්‍රීවාදයේ බලාපොරොත්තු රහිත බව ගැන මෙසේ මෙසේ තර්ක කරයි. අපේ ස්ත්‍රී වාදීහු පිටරටවල්වල අපේ සහෝදරියන් මෙන් දේශපාලන සමානත්වයට සඳහා ඉල්ලීම්වලට වඩා එපිටට නොයති. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙ න්‍යාය ධර්මයන් මගින් විවෘත කරන ලද ක්ෂිතිජයන් ඔවුන්ට නොහුරු සහ අවබෝධ කර ගැනීමට නොහැකි දෙයකි. දැනට පවතින පන්ති සහිත සමාජයේ ආකෘතිය තුල ස්ත්‍රිවාදීහු සමානත්වය සඳහා පරිශ්‍රමය‍ දරමින් සිටින අතර මේ සමාජයේ පදනම බිඳ දැමීමට කුමන හෝ අයුරකින් බලහත්කාරි ලෙස සහභාගී නොවී තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට උත්සාහ කරයි. නමුත් කොලොන්තායි තවදුරටත් පෙන්වා දෙන්නේ මේ ධනේශ්වර රාමුව තුල ස්ත්‍රින්ට තම විමුක්තියේ අරමුණු ඉටු කර ගත නොහැකි බවය.මේ රාමුව තුල පවා නිර්ධන පංතියේ ස්ත්‍රීන්ට‍ විමුක්තිය ලබා ගැනීමේ අවසාන අරමුණ බැහැර කල නොහැකි වුවද එවැනි ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීමට ගන්නා උත්සාහයන් නිරතුරුවම ධනපති ක්‍රමය මගින් අටවා ඇති බාධකයන් මගින් අවහිර කරයි. ස්ත්‍රින්ට සැබවින්ම නිදහස සහ සමානත්වය උද කර ගත හැක්කේ සමාජවාදී ක්‍රමය සහ යුක්තිය පිළිගන්නා ලෝකයක පමණක් බව කොලොන්තායි පෙන්වාදෙයි.


    නිර්ධන පන්තික ස්ත්‍රියගේ අවසාන ඉලක්කය වන්නේ පන්ති මත පදනම් වූ පැරණි ප්‍රථිවිරොධී ලෝකය විනාශ කිරීම, මිනිසා විසින් තවත් මිනිසෙක් සූරාකන ලෝකයක් අවසාන කරන අලුත් සහ වඩා යහපත්වූ ලෝකයක් නිර්මාණය කිරීමයි.


    ධනපති ස්ත්‍රින්ට වැඩකරන ජනතාව සුරා කෑම මත පදනම් වූ ලෝකයක වඩාත් පහසු සහ ආරක්‍ෂිත මාවතක් නිර්මාණය කර ගැනීම සඳහා දේශපාලන අයිතිවාසිකම් ලෙහෙසියෙන්ම ඉඩ දෙනු ලබයි. නමුත් නිර්ධන පන්තියේ ස්ත්‍රින්ට මෙය එසේ නොවේ. ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් යනු ශ්‍රමයේ අභිලාෂමය රාජධානිය කරා මග පෙන්වන කඳු බෑවුම් සහිත දුෂ්කර මාර්ගයේ පියවරක් බව කොලොන්තායි ප්‍රකාශ කරයි. මුලික වශයෙන් කොලොන්තායි විසින් ඉදිරිපත් කරන න්‍යායික‍ සංග්‍රහය බෝල්ෂෙවික් විප්ලවයේ මුලෝපාය සමග සමහන් වූ කතිකාවේ කොටසක් පමණි. වර්තමාන ස්ත්‍රිවාදය කොලොනතායිගේ දෘඩ පන්ති බෙදීම නිසා ඇතිවන ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුව මෙන්ම සීමිත බව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු සහ පුළුල් කිරීම තුලින් ස්ත්‍රී විමුක්තියේ අවසාන ඉලක්කය සපුරා ගැනීමේ මාවත ලෙස දකිනු ඇත. එවිට කොලොන්තායි අදහස් කල අන්දමේ දෘඩ පන්ති බෙදීමක් නොපැවතී මුළු මහත් ස්ත්‍රි ව්‍යාපාරයම ප්‍රජිතන්ත්‍රවාදී ‍ විප්ලවය දෙසට තල්ලු වෙනු ඇත. එමෙන්ම පශ්චාත් මාක්ස්වාදය අලුත් සමාජ ව්‍යාපාරයන් පිලිබඳ ගොඩනගා ඇති න්‍යායික ප්‍රස්තුතයන් මෙහිදී ස්ත්‍රි ව්‍යාපාරයේ ඉදිරිගාමිත්වයට වලංගු කර ගත හැකිය. දේශපාලන අවකාශයන් විවිධකරණය කිරීම සහ එක ලක්ෂයක බලය සංකේන්ද්‍රණය වීම වලකාලීම සමාජයේ සෑම සැබෑ වූ දේශපාලන පරිවර්තනයකට අවශ්‍ය පුර්ව කොන්දේසියක් වනු ඇත. සමාජවාදය පිලිබඳ සම්භාවනීය සංකල්පය අදහස් කලේ නිෂ්පාදන මාධ්‍යන්ගේ පුද්ගලික හිමිකාරත්වය නැති වී යාමත් සමග සමස්ථ ඓතිහාසික කාල පරිච්චේදයක් පුරා සියලුම ආකාරයේ යටහත් පහත්කම් නැතිවී යාමට මග පාදන්නාවූ ප්‍රථිපලයන්ගේ ‍දාමයක් ස්ථාපිත කරනු ඇති බවයි. මෙය එසේ නොවන බව අපි අද දනිමු. උදාහරණයකට පුරුශෝත්තම වාදයට විරෝධය සහ ධනපති විරෝධය අතර අත්‍යාවශ්‍යය සම්බන්ධකම් නැති අතර මේ දෙක අතර ඒකත්වයක් පවතින්නේ හෙජමොකික උච්චාරනයක ප්‍රථිපලයක් වශයෙනි.මේ උච්චාරණය ගොඩ නැගීමට පුළුවන් වන්නේ එකිනෙකට වෙනස් වූ අරගලයන් පමනකින්යයි යයි මෙයින් අදහස් කරන බව’ Ernesto Laclau and Chantal Mouffe Hegemony and Socialist Strategy( p.178) පෙන්වා දෙයි . කොලොන්තායි ස්ත්‍රීවාදය ඔක්තෝබර් විප්ලවයේ මුලෝපාය අනුව න්‍යායගත කිරීමෙන් පසුව අප අද මේ සාකච්ඡාව කරන්නේ රුසියානු විප්ලවය 1991 දී පරාජයට පත් වීමෙන් පසුවය. එවැනි පරාජයක් ලැබීමට විප්ලවයේ ප්‍රජාතන්ත්‍රිය අඩුව මෙන්ම සීමිත බව විශාල බලපෑමක් කල බව පැහැදිලිය.

    මාතෘත්වය පිළිබද ගැටලුව නිර්ධන පන්ති විප්ලවය මගින් විසඳිය යුතු මුලික් ගැටළුවක් ලෙස කොලොන්තායි හඳුනා ගත්තාය. ඇයගේ Soceity and Motherhood (1916) ග්‍රන්ථයට‍ පෙරවදනක් ලියු කොලොන්තයි එම ගැටලුව මෙසේ හඳුනා ගත්තාය. විශාල පරිමාණයේ ධනපති ආර්ථික ක්‍රමය මගින් නිර්මාණය කොට ඇති මාතෘත්වය පිලිබඳ ගැටලුව වර්තමාන යථාර්තය මගින් මතු කොට ඇති සියලුම ගැටළු අතරින් මිනිස් සංහතියට බාදා වෙන කිසිම ගැටලුවකට වඩා වැදගත්ය, වෙන කිසිම ගැටලුවකට වඩා ප්‍රබල සහ හදිසි එකකි. මේ ප්‍රශ්න වල යථාර්තය හඳුනා ගැනීම විප්ලවයට පෙරාතුව අවශ්‍ය වූ අතර විප්ලවයෙන් පසුව කොලොන්තායි සමාජ ශුභ සාධනය පිළිබද කොමසාරිස්වරිය ඒවාට පිළියම් ඉදිරි පත් කළාය.


    අවසානය

    අලෙක්සන්ද්‍රා කොලොන්තායි වැනි ස්ත්‍රිවාදිනියන් නොමැතිව ඔක්තෝබර විප්ලවයේ බුද්ධිමය ජවය හීන විය හැකිව තිබුණි. ඇය විසින් ඉදිරිපත් කල න්‍යාය සහ භාවිතාව අද මිනුම් දඬු වලින් මනිත හොත් අඩුපාඩුවලින් යුක්ත වූ බවට අපට තර්ක කල හැකි වුවද එවකට පැවති අවබෝධය සහ සත්‍රී‍ ව්‍යාපාරයේ අවධිය ගැන බලන විට ඔවුන් ගේ කර්තවිය මා හැඟීය. ස්ත්‍රි ව්‍යාපාරයට කොලොන්තායිගෙන් ඉගෙන ගැනීමට ඇති දේ බොහෝය. කොලොන්තායි සිය ජීවිතය මුළු මනින්ම කැප කරනු ලැබුවේ ඇය විසින් විප්ලවයට පෙර රුසියානු සමාජය තුල ජිවත් වෙමින් කරන ලද ඉමහත් කාර්යභාරය එහි පරිසමාප්තිය