Tag: Rohana Wijeweera

  • අද ටිල්වින්ලා අනුරලා බටලන්දේ වදකයන්ගේ නවලිබරල් වැඩපිළිවෙල කරේ තියන් යනවා – චමීර කොස්වත්ත

    අද ටිල්වින්ලා අනුරලා බටලන්දේ වදකයන්ගේ නවලිබරල් වැඩපිළිවෙල කරේ තියන් යනවා – චමීර කොස්වත්ත

    අද බටලන්දෙ ඝාතකයිගේ නවලිබරල් වැඩපිළිවෙළ කරේ තියාගෙන යන ගමන් අනුර දිසානායකලා, ටිල්වින් සිල්වලා ඉල් විරුවන් සමරන බවත් එය සමරිමක් නොව “ස” මකා දමා එම අරමුණු මරා දැමීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත පැවසීය.

    ඔහු මෙලෙස විමසුවේ ”ඔබ මියගොස් නැත ! සමාජවාදය ජීවමාන අපේක්ෂාවක්!” යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ, නුගේගොඩ දෙල්කඳ පොළ භූමියේ ඊයේ (13) පැවැති 36වන ඉල් මහා විරු සමරුවේ දී අදහස් දක්වමිනි.

    එම සමරුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ චමීර කොස්වත්ත…

    “අද අපි සමරමින් ඉන්නේ 36 වැනි ඉල් විරු සමරුව. පෙර පැවති සැමරුම්වලට වඩා අද ඉල් සමරුව විශේෂයි. එදා රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු හැටදහසක් සහෝදර සහෝදරියෝ එදා ජීවමාන කරන්න උත්සහ කළේ සමාජවාදය, ඒ ඓතිහාසික උරුමයට නෑ කම් කියන පක්ෂය තමයි අද රටේ පාලන බලය හොබවන්නේ.

    නමුත් එදා ඔවුන් අපේක්ෂා කළ සමාජවාදය සම්බන්ධ සිහිනයට මොකද වුණේ? ඒ සිහිනය දකින්න බලාගෙන හිටපු මිනිස්සුන්ට අද මොකද වෙලා වෙලා තියෙන්නේ කියන සාකාච්ඡාව අද අපිට බරපතළව ගන්න වෙලා තියනවා.

    හැට දහසක් සිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ අරමුණ

    එදා කොමියුනිස්ට් ප්‍රකාශනය කියන ඓතිහාසික ලියවිල්ල අවසන් කරමින් මාක්ස් සහ එංගල්ස් සහෝදරවරු මෙහම ලිව්වා.

    “ස්වකීය අදහස් හා අරමුණු සැඟවීම කොමියුනිස්ට් වාදීහූ පිළිකුල් කරති. දැනට පවතින සමාජ තත්ත්වයන් ප්‍රචණ්ඩකාරී ලෙස බිඳ හෙලීමෙන් පමණක් සිය අරමුණු සපුරාලිය හැකි බව ඔවූහු ප්‍රසිද්ධියේම පවසති.”

    එදා අපේ සහෝදරවරු බය නැතුව පෙනී හිටියේ එක අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ තමයි සමාජවාදය. එදා තිබුණේ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස වගේ ධනපති පංතියේ නායකයින්ගේ අතිශයින් ම්ලෙච්ඡ මර්ධනකාරී නවලිබරල් ආණ්ඩු සමස්ත වැඩකරන පංතිය ම අර්බුදයකට ගමන් කරවමින් පැවති වෙලාවක්. නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය කප්පාදු කර, ඒවා වෙළඳපොළට විවෘත කරන්න දැවැන්ත උත්සහයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. කම්කරු අයිතීන් කප්පාදු කරමින් වැඩ කරන ජනතාවගේ හිසමත දැවැන්ත බදු බරක් පටවමින් තිබුණා.

    එහෙම තත්ත්වයක් ඇතුළෙ තමයි එදා ජනතාව තීරණය කළේ සටන් කිරීම හැර විකල්පයක් නැහැ කියලා. ඒ සටනේ ඇතැම් ක්‍රියාමාර්ග ගැන, ඇතැම් ආකෘති ගැන යම් යම් ස්වයං විවේචන අපට තියනවා. හැබැයි එදා ඒ හැට දහසක් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු අරමුණ ගැන අදටත් අපිට කිසිඳු දෙගිඩියාවක් නැහැ. අදටත් ඒ අරමුණ එක්ක හිටගන්න අපි සූදානම් වෙලා ඉන්නවා.

    වෘත්තීය සමිති සාකාච්ඡාවලට එන්නත් වත්මන් ආණ්ඩුව බයයි

    දැන් බලයේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක්. සමහරු උත්සහ කරනවා මේක වාමාංශික ආණ්ඩුවක් කියලා කියන්න. නමුත් ඇත්තටම මේ ආණ්ඩුව ආර්ථික දේශපාලන කාරණාවල දි හිටගන්නේ පීඩිත ජනතාවගේ පැත්තේ ද? මේ රටේ ජනතාව සූරාකමින් ප්‍රාග්ධනය ගොඩගහ ගන්න ධනපති ව්‍යාපාරිකයෝ ටික වාණිජ මණ්ඩලය විදිහට මේ පාර ආණ්ඩුවට අයවැය සඳහා ලබා දුන් සියලු යෝජනා ආණ්ඩුව පිළි අරගෙන. හැබැයි ඒ ආණ්ඩුවම අර හේලීස් පෞද්ගලික ආයතනයේ වැඩකරන සේවකයන්ව බලහත්කාරයෙන් එළියට දාපු ප්‍රශ්නයට කටක් අරින්නේ නෑ. ඒ සේවකයන්ගේ වෘත්තීය සමිතියට සාකච්ඡාවක් දෙන්න පවා ආණ්ඩුවට කොන්දක් නැහැ.

    අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු මුරකරුවන්ගේ වෘත්තීය සමිතියක් හැදුවේ මේ ආණ්ඩුවම තමයි. හැබැයි ඒ වෘත්තීය සමිතිය සාකච්ඡාවක් ඉල්ලුවම අද ආණ්ඩුව පස්ස ගහනවා. අද වෘත්තීය සමිති සාකාච්ඡා වලට එන්නටවත් ආණ්ඩුව බය වෙලා. හැබැයි වාණිජ මණ්ඩලය කියන කියන දේවල් වැඳගෙන කරමින් ඉන්නවා.
    අපි අහනවා එදා රෝහණ සහෝදරයා සටන් වැදුණේ මෙවැනි සමාජ ක්‍රමයක් වෙනුවෙන් ද කියලා?

    මේ පාර අයවැයෙන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිඳු මැදිහත් වීමක් නැහැ. ලබන අවුරුද්දේ ඉඳලා එක පවුලක් මාසිකව රුපියල් 40,000ක් රජයට බදු ගෙවන්න ඕන. තමන් ගන්න හාල් ටිකේ, පරිප්පු ටිකේ ඉඳලා ගෙවන්න තියෙන්නේ බදු. හැබැයි ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ අපි ආවම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, අත්‍යාවශ්‍ය ආහාරවලට බදු අයකරන්නේ නෑ කියලා. හැබැයි අඩුතරමින් එක රුපියලකින් බදු බර අඩු කරන්නවත් ආණ්ඩුව කටයුතු කරලා නැහෑ. හැබැයි ධනපති ව්‍යාපාරිකයන්ගේ බැඳුම්කරවලට 33%ක අති දැවැන්ත පොලියක් ගෙවනවා. මේ පොලී ගෙවන්නෙත් සාමාන්‍ය ජනතාව දුක්මහන්සියෙන් හම්බකරලා රජයට ගෙවන බදු සල්ලිවලින්.

    ජවිපෙ, ඉල් විරුවන් සමරනවා කියමින් “ස” මකලා

    මේ නිසා තමයි අපි කියන්නේ අද ජනතා විමුක්ති පෙරමුණ දකින රෝහණ විජේවීර සහ අපි දකින රෝහණ විජේවීර කියන්නෙ දෙන්නෙක්. ඒක නිසා තමයි අපි අර විහාරමහදේවී පාර්ක් එකෙන් ඈතට ඇවිත් මේ නුගේගොඩ දෙල්කඳ මංසන්ධියේ සැබෑ සමාජවාදී උරුමය රැගත් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ඉල් විරුවන් සමරන්න තීරණය කළේ. සමරනවා කියලා “ස” මකලා මරන්නත් පුළුවන්. අද ජවිපෙ කරන්නේ ඒක.

    මොකද ඇත්තට ම ඉල් විරුවන් සමරන්න ඕන නම් ආණ්ඩුවට පුළුවන් ඒ විරුවන්ගේ ඝාතකයින්ට දඬුවම් දෙන්න. ඒ ඝාතන අනාවරණය කරන්න. අඩුමතරමින් ඔවුන්ගේ මරණවලට සාධාරණයක් කරන්න ඔවුන් එදා දැකපු සිහිනය යථාර්ථයක් කරන්න. ඒ එකක්වත් නැතුව අද බටලන්දෙ ඝාතකයිගේ නවලිබරල් වැඩපිළිවෙළ කරේ තියාගෙන යන ගමන් අනුර දිසානායකලා, ටිල්වින් සිල්වලා ඉල් විරුවන් සමරනවලු. මේකට කියන්නේ සමරනවා නෙමෙයි. මේ කරන්නේ ඒ සමාජවාදී අරමුණ මරන්න උත්සහ කරන එක.

    පීඩිත ජනතාව අකුණු වගේ නැගී සිටින මොහොතක් එනවා

    හැබැයි අපි අද ඔවුන්ට කියන්න ඕන කොච්චර වළදාන්න උත්සහ කළත් සමාජවාදය කියන්නේ ජීවමාන අපේක්ෂාවක්. ඒ අපේක්ෂා මරාදාන්න උඹලට හැකියාවක් නැහැ. බර්ට්‍රෝල් බෙච්ට්ගේ කවියක මෙහෙම තියනවා.

    “අකුණු ගැසීම ඉතාම හොඳයි. ඒ අකුණු ගසන මොහොතේ දී අකුණු සැරවල ආලෝකයෙන් ගැඹුරු සහ දරුණු සත්‍ය‍යන් නිරාවරණය වෙන බැවිනි.”

    ඒ නිසා අඳුරෙන් වහගෙන ඒ අපේක්ෂාව යට ගහන්න මේ පාලකයෝ හැම උත්සහයක්ම ගනී. හැබැයි පීඩිත ජනතාව අකුණු වගේ නැගී සිටින මොහොතක් එනවා. ඒ මොහොතේදී ගැඹුරු සත්‍යයන් නිරාවරණය වෙන එක වළක්වන්න කිසිවෙකුටත් පුළුවන් කමක් නැහැ. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඒ සැබෑ සමාජවාදී අරමුණ වෙනුවෙන් සටන් කරන්න සූදානම්. ඒ සඳහා එකතුවෙමු කියලා සමස්ත වැඩකරන ජනතාවට ආරාධනා කරනවා.”

  • 36වන ඉල්මහ විරු සමරුව අදයි

    36වන ඉල්මහ විරු සමරුව අදයි

    36වන ඉල්මහ විරු සමරුව අදට යෙදී තිබේ.

    1989 නොවැම්බර් 13 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මරණයට පත් වූ අතර සෑම වසරකම එම දිනය අරගලයෙන් මිය ගිය සියලු දෙනා අනුස්මරණය කර ‘ඉල් මහ විරු සමරුව’ ලෙස සැමරේ.

    ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදි පක්ෂය යන පක්ෂ දෙකම අද විරු සමරු උත්සව දෙකක් සංවිධානය කර තිබේ.

    පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ විරු සමරුව අද (13) පස්වරු 3ට දෙල්කඳ පොළ භූමියේදී පැවැත්වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ අද (13) පස්වරු 3.30ට කොළඹ, විහා­ර­ම­හා­දේවි එළි­ම­හන් රංග පීඨ­යේදී පැවැත්වීමට කටයුතු කර තිබේ.

    පහත කවිය උපුටා ගනු ලැබුවේ Facebook පිටුවකිනි.

    කඩදොර පෙනෙන මානේ කන්දක මුදුනේ
    රහසිනි අප සෙනෙහෙබර සඳ වැඩ සිටියේ
    උලපනෙ යන ගැලක මිනි ගෙඩි හඬපානේ
    පහන් තරුව තිබුණේ අළුයම සිහිනේ….

    වෘක්ෂයෙන් ගලන සල් මල් සුවඳ ලෙස
    සත්‍ය සාසනය බිහි කොට දොරින් දොර
    මඟ කිව් දෙවුන්දර බෝසත් ප්‍රදීපය
    මරිය මවුන් හට රැකගත නොහැකි විය…

    නිල්වලා ඉවුරෙ කඳවුරු බැඳි අඳුර
    රන් සඳේ රුවට එදිරිව නැගෙන විට
    දේහ ලකුණු කී ජුදාස් පිහිට කොට
    දෑත දෙපය බැඳ නිව්වේ අපේ සඳ…

  • තෝරදෙනියගේ පැමිණිල්ල ගැන ඉන්ද්‍රානන්දගෙන් ප්‍රතිචාරයක්!

    තෝරදෙනියගේ පැමිණිල්ල ගැන ඉන්ද්‍රානන්දගෙන් ප්‍රතිචාරයක්!

    ජාතික ජන බලවේගය ආණ්ඩුව තමන් බලයට පත්වූ පසු අහෝසි කරන බවට පොරොන්දු වූ තවමත් අහෝසි කර නැති , මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යොදාගනිමින් රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා එම ඝතනය පිළිබඳ අදහස් දැක්වීම සීමා කරන නියෝගයක් ලබාගෙන ඇත. මේ ඒ පිළිබඳ ඉන්ද්‍රානන්ද ද සිල්වා ලියූ සටහනක් පහත දැක්වේ.

    රෝහණ සහෝදරයාගේ ඝාතකයන් ගැන මම පළමු වරට මැගසින් සිරගෙදර සිට නීතිපති වරයාට නීතිඥයන් මාර්ගයෙන් දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළේ 1996 නොවැම්බර් මස 26 වන දිනය..එම දිව්රුම් පෙත්සම එකළ ඉරිදා ලංකාදීප පත්‍රයේ කොටස් වශයෙන් පළවිය..ජවිපෙ සීනුව පුවත්පතේ අකුරක් හෝ අඩු නැතුව සම්පුර්ණයෙන් පළවිය.. දිවයින පුවත්පත, සහ එකළ පළවු ඉංග්‍රීසි තම්ල් සියලු පුවතිපත්වල ද එය පළවිය.කැලෑ උසාවියක් බඳු යුද්ධාධිකරණය මා ලබා දුන් වසර 15 ක සිර දඬුවමින් මා නිදොස් කොට නිදහස් කරනු ලැබූ් 1997 දෙසැම්බර් 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුවක් නිසාය..යුද්ධාධිකරණය මා හට දඩුවම් ලබා දී ඇත්තේ කැලෑ උසාවියක් ලෙස කටයුතු කරමින් බව එම නඩු තීන්දුවේම සඳහන් විය..
    ලේ වැකි ම්ලේච්ඡ ඉතිහාසයක ඇසින් දුටු සාක්ෂි මා මුළු මහත් සමාජය නැමැති ජනතා අධිකරණය හමුවේ තැබුවේ එදා සිටය..ඒ අතීතය යනු දශක තුනක ඉතිහාසයයි..

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ , මෛත්‍රිපාල සිරිසේන , ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන පාලන යුග පහක් පුරා විද්‍යුත් මාධ්‍යයන් හරහාත්, සමාජ මාධ්‍යයන් හරහාත් , පුවත්පත් හරහාත් අළුගෝසු ඝාතකයන්ගේ කෙලි මඩල ගිනි තැබීමට පියවර ගත්තෙමි….නීතියට පිටින් යමින් අත්අඩංගුවට ගත්තවුන් කිසිදු වග විභාගයකින් තොරව මරා දැමීමට හවුල් වූවන් කොන්දේසි විරහිතව හෙළිදරව් කළෙමි..පුරවැසියෙකු ලෙස සමාජ යුතුකමක බර දෙවුර මතට ගැනීමට දෙවරක් නොසිතා කටයුතු කළෙමි..

    හිටපු මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා විසින් මා හට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව ඊයේ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයකදී මා හට දැනගත හැකිිවිය..අදාළ නියෝගය මා හට මෙතෙක් ලැබී නැතත් අධිකරණ නියෝගයට අනුව මා හට අශෝක තෝරදෙනිය පිළිබඳව අප්‍රේල් 30 වන දින වනතුරු කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව දැන ගතිමි..
    එබැවින් රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතකයන් පිළිබඳව අප්‍රේල් 30 වන දින වනතුරු මා කිසිවක් නොලියන බවත්, රූපවාහිනී හෝ සමාජ මාධ්‍යයන්ට ප්‍රකාශ නොකරන බවත් මෙයින් විවෘතව දැනුම් දී සිටින අතර, එකී ඝාතනයන් ගැන අප්‍රේල් 30 වන දින වනතුරු මගෙන් කිසිවක් නොවිමසන ලෙසත් සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටිමි…

    දශක තුනක් තිස්සේ ජනතාධිකරණය හමුවේ තැබූ සියල්ල …… පිළිගත් අධිකරණයක් හමුවේ තැබීමට හැකි වීම පිළිබඳව මා අතිශයින් සතුටට පත්වන බවත්, මගේ මුවට සහ මගේ දෑතට අගුල් දැමීමට මාලිමා පාලනයක් එනතුරු බලා සිටි ගහලයන් දැන් අමන්දා නන්දයට පත්ව සිටින අයුරු දැක හදෙහි උපන් කම්පනයෙන් යුතුව මෙම සටහන ලියා තබන බවත් සටහන් කර තබමි…

    ප.ලි ( මා දන්නා තරමට මෙම දිනවල උසාවි කටයුතු අත් හිටුවා ඇති අතර වැකේෂන් සමයෙන් පසු නැවත උසාවි කටයුතු ඇර⁣ඹෙන්නේ අප්‍රේල් 22 වැනිදාය…)

  • මර්දන පනත් අහෝසි නොකිරීමේ වාසිය  තෝරදෙණියලාට

    මර්දන පනත් අහෝසි නොකිරීමේ වාසිය තෝරදෙණියලාට

    විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය සම්බන්ධ ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් නිකුත් කර තිබේ.

    ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ඊයේ (16) මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

    විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ආඥාව ලබන 30 දින දක්වා බල පැවැත්වෙන පරිදි නියෝග කර ඇත.

    පැමිණිල්ල වෙනුවෙන් හිටපු නීතිපති ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම්, නීතීඥ සුදත් ජයසුන්දර අධිකරණය ඉදිරියේ කරුණු දක්වා ඇත.

    හිටපු නීතිපති ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් කරුණු දක්වමින් පවසා ඇත්තේ විත්තිකරු විසින් පැමිණිලිකාර අශෝක තෝරදෙණිය සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු මාධ්‍යයට ඉදිරිපත් කරමින් සිටින බවයි.

    එම අසත්‍යය සහ ද්වේශ සහගත කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ද උඩුගත කරමින් සිටින බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

    අශෝක තෝරදෙණිය යනු ජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීර ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකි. ඒ සම්බන්ධ එකම ඇසින් දුටු සාක්ෂිකරුවා වන්නේ ඉන්ද්‍රානන්ද සිල්වායි. ඔහු ඒ සම්බන්ධව හෙළි කරමින් විවිධ මාධ්‍යන් හරහා පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කළ අතර ඊට අමතරව මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි. එම සාක්ෂි වසන් කිරීම සඳහා දැන් චෝදනාවලට ලක්වූවන් මර්දනකාරී මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත යොදාගෙන තිබේ. එය එක්තරා ආකාරයක සරදමකි. ජාතික ජන බලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයෙකුගේ ඝාතනය කිරීමේ චෝදනා එල්ල වූ පුද්ගලයන් බලයට පැමිණි පසු අහෝසි කරන බවට පොරොන්දු වූ නමුත් අහෝසි නොකරන ලද පනතක් යොදාගනිමින් සිටියි.