Tag: rishad bathiudeen

  • හිශාලිනී දැරිය මියයාම ගැන නඩුවෙන් බදුර්දීන් නිදහස්

    හිශාලිනී දැරිය මියයාම ගැන නඩුවෙන් බදුර්දීන් නිදහස්

    හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා දැරිය මෙහෙකාර සේවයට යෙදවූ පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළා.

    මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන දැරිය මෙහෙකාර සේවය සඳහා ලබා දුන් බව කියන පොන්නයියා පණ්ඩාරම්, දෙවන විත්තිකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය බව කියන අලි ඉබ්‍රාහිම් කිදර් මොහොමඩ්, හා තෙවැනි සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන කිදර් මොහොමඩ් ශිහාබ්දීන් අයීෂා යන තිදෙනාට එරෙහිව එසේ නඩු පවරන ලෙස අධිකරණයෙන් නියම වුණා.

    කෲරත්වයට පත් කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළෙඳාම ඇතුළු චෝදනා කීපයක් යටතේ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

    මෙම සිද්ධියේ සිව්වන සැකකරු වන රිෂාඩ් බදියුදීන් හා පස්වන සැකකරු වන බදියුදීන් අබ්දුල් රිෂාඩ් යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

    ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි හිෂාලිනී ජූඩ් කුමාර් නමැති බාල වයස්කාර දැරියක සිරුරට ගිනි ඇවිළීමෙන් එසේ මියගොස් ඇති බවද අධිකරණයෙන් හෙළිව තිබුණා.

    ඉහත සඳහන් පළමු වන සැකකරු වන පොන්නයියා පණ්ඩාරම් නමැත්තා එම දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවසට භාරදී ඇති බවත් ඒ වන විට එම දැරිය 15 හැවිරිදි වියේ පසුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකළ බොරැල්ල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණා.

    වසර කීපයක් එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයගේ සිරුරට 2021 ජූලි මස 3 වැනිදා ගිනි ඇවිළී ඇති බවත් පසුව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 15 දා මියගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට දැක්වූ වාර්තාවේ සඳහන්.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මූලික විමර්ශන සිදු කළ අතර පසුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය එම විමර්ශන ඔවුන් භාරයට ගෙන තිබුණා.

    ඒ අනුව විමර්ශන අංශ මෙම සිද්ධියට අදාළව 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර එම විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් විත්තිකරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර තිබෙනවා.

  • විල්පත්තුව නැවත වවන්න දුන් නියෝගය බල රහිත කරන ඉල්ලා රිෂාඩ් බද්යුදින්ගෙන් අභියාචනයක්

    විල්පත්තුව නැවත වවන්න දුන් නියෝගය බල රහිත කරන ඉල්ලා රිෂාඩ් බද්යුදින්ගෙන් අභියාචනයක්

    විල්පත්තු වනය විනාශ කරමින් සිදුකළ නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය තමාට එරෙහිව ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

    ආබ්දීන් නීතීඥ සමාගම මගින් ගොනු රිෂාඩ් බදියුදීන් ගොනු කළ මෙම විශේෂ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් , පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් , පරිසර ඇමැති , මන්නාරම දිස්ත්‍රික් ලේකම් , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

    අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සදහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ , වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවද පෙත්සම මගින් පෙන්වා දේ.

    කැලෑ එළිපෙහෙළි නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත් , එලෙස තමා විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල එළිපෙහෙළි කොට නැවැත පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද බදියුදීන් සිය විශේෂ අභියාචනයෙන් සදහන් කර ඇත.

    එබැවින් ඉකුත් නොවැම්බර් 16 වැනිදා එකී අභියාචනාධිකරණය තීන්දුව බලරහිත කරන්නැයි ද විශේෂ අභියාචක පෙත්සම්කාර රිෂාද් බදුද්දීන් කියා සිටී.

    මෙම වන විනාශයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය කරන ලදී.

    පෙත්සම්කරුවන් වෙත නියමිත නඩු ගාස්තු ගෙවන ලෙස ද හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් , මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.

  • බ්‍රැන්ඩික්ස් සේවකයන්ගෙ දේපළ රාජසන්තක කරන්නවා කිව්වට බදියුදීන් ගැන එහෙම කියන්නේ නෑ – දුමින්ද නාගමුව

    බ්‍රැන්ඩික්ස් සේවකයන්ගෙ දේපළ රාජසන්තක කරන්නවා කිව්වට බදියුදීන් ගැන එහෙම කියන්නේ නෑ – දුමින්ද නාගමුව

    බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවන මොහොතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම සේවක සේවිකාවන්ගේ දේපළ රාජසන්තක කරන බව පැවසුවත් රිෂාඩ් බදියුදීන් සැඟවී සිටින විට ඉදිරිපත් නොවුණොත් දේපළ රාජසන්තක කරන බව පවසා නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ. මේ මොහොතේ 20වන සංශෝධනය සම්බන්ධ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබීම සහ රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දුමින්ද නාගමුව පැවසූ අදහස් පහත දැක්වේ.

    “මේ තරම් විශාල ප්‍රශ්නයක් රට තුළ තිබියදී ආණ්ඩුවේ වුවමනාව තවත් බලය වැඩිකර ගැනීම. ආණ්ඩුවට ජනාධිපතිකම ඕනා කිව්වා. ජනතාව ජනාධිපතිකම දුන්නා. තුනෙන් දෙක ඕනා කිව්වා. තුනෙන් දෙක දුන්නා. 1978 ව්‍යවස්ථාවේ තිබුණු බලයටත් එහා බලයක් ගොඩනගාගන්න හදනවා. ඒකතමයි ආණ්ඩුවේ දැවෙන ප්‍රශ්නය. පසුගිය ආණ්ඩුවට දේශපාලන විවේචනයක් එල්ල වුණා ඉස්ලාම් අන්තවාදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබියදී ඔවුන් සම්බන්ධ තොරතුරු වාර්තා වෙලා තිබියදී අහවල් තැන්වලට පහර දෙන බව වාර්තා වෙලා තියෙද්දී, ආරක්ෂක මණ්ඩලේ සාකච්ඡා වෙලා තියෙද්දී නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා. එදා පාලකයන්ට ප්‍රශ්නෙ වුනේ රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේනයි අතර තිබුණු බල පොරය. බලයට තිබුණු කෑදරකම. අද තියෙන්නෙත් ගෝඨාබයයි මහින්දයි ආණ්ඩුවේ ඉන්න පිරිසක් තමන්ගේ බලය වැඩිකර ගැනීමේ කෑදරකමක ඉන්නවා. ඒක ගෙනල්ලා තියෙන්නෙ මේ තියෙන ආර්ථික මොඩල් එක ශක්තිමත් කිරීම සඳහා. බලය ලබා ගැනීම වෙනුවෙන් තියෙන කෑදරකම නිසා ජනතාවගේ ප්‍රශ්නය අතෑරලා තියෙනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මැරෙන්න දීලා බලන් හිටියා වගේම සමාන ප්‍රශ්නයක් තමයි දැන් තියෙන්නෙ. ඒක එක දවසින් එක පැයෙන් නෙමෙයි සිද්ධ වෙන්නෙ. මැරෙන්නෙ නැති නිසා වෙන්න ඇති මේක ව්‍යප්ත වෙන්න ඉඩ දීලා තියෙන්නෙ. නමුත් මේ රෝගයෙන් ඇතිවෙන අතුරු ආබාධවලට වගකියන්නෙ කවුද? මේ හැසිරීම් දෙකම එක වගේ.

    රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගන්න බෑ කියන එක තමයි හාස්‍ය ජනකම දෙය. බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවෝ ආණ්ඩුව ඇතිකරපු භීතිය නිසා මොනවා හරි තැන්වලට වෙලා හිටියනම් ඒක සාධාරණ තත්ත්වයක්. එතකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ අහවල් දවසට කලින් ඉදිරිපත් වුණේ නැත්තම් ඒ සේවක සේවිකාවන්ගේ දේපළ රාජසන්තක කරනවා කියලා. ඇත්තටම රාජ සන්තක කරන්න දෙයකුත් නැහැ ඒ මිනිස්සුන්ට. ඇඳන් ඉන්න ඇඳුමයි, රෙදි බෑග් එකයි ඇරෙන්න. ඒත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කට පන නැත්තේ යි රිෂාඩ් බදියුදීන් ඉදිරියට ආවේ නැත්තම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියන්න. යි එයාගෙ දේපළ රාජ සන්තක කරනවා කියලා කියන්නෙ නැත්තෙ.”