Breaking News

ආණ්ඩුව හැම බඩුවකටම බදු ගහද්දි සිගරට් සමාගම්වලට බදු සහනයක් දීලා

ශ්‍රී ලංකාව මුහුණ දුන් 2022 දරුණු ආර්ථික අර්බුදයෙන් අනතුරුව, මෙරට සියලුම පොදු භාණ්ඩ හා සේවාවන්වල බදු ප්‍රතිශතයන් ඉහළ නැංවීමට රජය පියවර ගත්ත ද, සිගරට් සමාගම් සඳහා පමණක් ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ නවතම ආර්ථික විශ්ලේෂණයකින් අනාවරණය වේ.

මෙම අමුතු ප්‍රතිපත්ති හේතුවෙන් සිගරට් සිල්ලර මිලෙහි අඩංගු සැබෑ බදු ප්‍රතිශතය සාමාන්‍යයෙන් 7.2%ක කැපී පෙනෙන අගයකින් කඩා වැටී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල බදු නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ වන විට ශ්‍රී ලංකා රජයට වසරකට අහිමි වන ආදායම රුපියල් බිලියන 17.3ක් (රුපියල් කෝටි 1,730ක්) ලෙස ඇස්තමේන්තු කර ඇත.

2021 සහ 2026 වසරවල් අතර කාලය තුළ සාමාන්‍ය පොදු ජනතාව මත පැටවුණු වැට් බද්ද (VAT) 8% සිට 18% දක්වා ඉහළ දැමූ අතර, ඊට උඩින් තවත් 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් (SSCL) පනවනු ලැබීය. එමෙන්ම 2024 ජනවාරි මාසයේ සිට මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා 97ක් ද බදු දැලට හසු කර ගැනීමට පියවර ගැනුණි.

කෙසේ වුවද, රටේ සෑම තැනකම බදු වැඩි වෙද්දී සිගරට් මිලෙහි අඩංගු බදු ප්‍රතිශතය 7.2%කින් සෙමෙන් පහත වැටී ඇත්තේ සිතාමතා සිදුකළ නොසලකා හැරීම හේතුවෙනි. සිගරට් සඳහා අය කෙරෙන බදු බොහොමයක් ස්ථාවර රුපියල් අගයක් මත පදනම් වූ විශේෂ සුරාබදු (Specific Excise Tax) වන බැවින්, වැට් බද්ද මෙන් මිල වැඩි වෙද්දී ඒවා ස්වයංක්‍රීයව වැඩි නොවේ. මේ නිසා දුම්කොළ සමාගම විසින් සිගරට් මිල දිගින් දිගටම වැඩි කරද්දී, රජය සුරාබදු සමානුපාතිකව වැඩි නොකිරීම හේතුවෙන් රජයට විශාල බදු අදායමක්ද අහිමිවී ඇති බව පෙනී යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිගරට් සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක් බදු වශයෙන් පැවතිය යුතු අතර, ශ්‍රී ලංකාව 2018 වසරේදී 74%ක බදු ප්‍රතිශතයක් පවත්වා ගනිමින් එම ජාත්‍යන්තර මට්ටමට ඉතා ආසන්නව සිට ඇත. එහෙත් 2026 වසර වන විට එය 66.8% දක්වා පහත හෙළා ඇත. සරලවම පවසන්නේ නම්, සිගරට් සඳහා වියදම් කරන සෑම රුපියල් 12කින්ම රුපියල් 9ක් බදු ලෙස රජයට ලැබිය යුතු වුවත්, වත්මන් ක්‍රමවේදය යටතේ රජයට ලැබෙන්නේ රුපියල් 8ක් පමණි. ඒ අනුව සිගරට් කර්මාන්තයෙන් රජය උපයාගත යුතු සෑම රුපියල් 12කින්ම රුපියල් එකක් සෘජුවම සිගරට් සමාගමේ පෞද්ගලික ලාභය (Private Profit) සඳහා අතහැර දමා තිබේ.

සිගරට් පරිභෝජනය 2025 මට්ටමේම පැවතිය ද, සිගරට් මිල වැඩි නොකර එහි බදු ප්‍රතිශතය නැවතත් 75% ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබුවහොත් පමණක් රජයට වසරකට අමතරව රුපියල් කෝටි 1,730ක දැවැන්ත ආදායමක් උපයා ගත හැකිය. මෙම මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ (Disaster Management) වාර්ෂික අයවැය මෙන් 1.2 ගුණයක් වන අතර, මෙරට දරුවන්ගේ පෝෂණ වැඩසටහන් සඳහා වෙන් කරන ප්‍රතිපාදන මෙන් 1.3 ගුණයකට සමාන වේ. 2003 නොවැම්බර් මාසයේදී දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (WHO FCTC) අනුමත කරමින්, උද්ධමනයට සහ ජනතාවගේ ආදායම් වර්ධනයට සාපේක්ෂව බදු වැඩි කිරීමට ලංකාව ජාත්‍යන්තරව එකඟ වී තිබියදීත්, දුම්කොළ සමාගමට වාසි සැලසෙන පරිදි සිදුකර ඇති මෙම බදු කප්පාදුව වහාම නිවැරදි කර, අහිමි කළ කෝටි 1,730ක ජාතික ධනය වහාම භාණ්ඩාගාරයට පවරා ගන්නා ලෙස ආර්ථික විද්‍යාඥයෝ රජයට බලකර සිටියි.

leave a reply