27
Fri, Apr

ජාතිවාදී ස්වරූපයෙන් ඇතිවන කෝලාහලවලදී සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීම සඳහා ජර්මනිය, පිලිපීනය අනුගමනය කරන තාක්ෂණ උපක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්හට පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර ඇත.


ඊට අමතරව චීනය විසින් සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීමට ගන්නා ලද සැලසුම් පිළිබඳව රජය එරටින් උපදෙස් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට චීන රජය එකඟතාවය පළකර තිබේ. ඒ අනුව දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස චීනය විසින් සමාජ ජාල පාලනය සඳහා ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමටද රජය සැලසුම් කර ඇත.
මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක හටගත් කලබලකාරී තත්ත්වයන් සමනය වූ විගස ෆේස් බුක්, වට්ස්ඇප් සහ වයිබර් යන සමාජ මාධ්‍ය ජාලවලට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

සමාජ ජාලා හරහා ජාතිවාදය වපුරුවමින් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 10 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේ විදානපතිරණගේ අජිත් ජීවන් වීරසිංහ නමැත්තා සහ සුරේන්ද්‍ර සුරවීර ඇතුළු සැකකරුවන් 10 දෙනෙකි.

අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියා සිටියේ මැර ක්‍රියාවල යෙදුනු බවට චෝදනා කරමින් සැකකරුවන් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පසුගියදා දහවල් අත්අඩංගුවට ගත් 24 දෙනාද ඇඳිරි නීතිය කඩ කළ 4 ක්ද වෙති. ජාතිවාදය ව්‍යාප්තවීම‍ෙන් මේ වන විටනිවාස ව්‍යාපාර ස්ථාන සහ දේපල හානිවීම් 45 ක් වාර්තා වී ඇති බවත් සහ පූජනීය ස්ථාන 4 කට හානි සිදුව ඇතැයිද රුවන් ගුණසේකර පැවසීය.

මේ අතර ඊයේ කටුගස්තොට පූජාපිටියේදී සිදුවූ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් එක් අයකු මිය‍ගොස්, 11 දෙනෙකු තුවාල ලබා ඇතැයිද, වාර්තා විය. මේ අතර තෙල්දෙනිය ප්‍රදේශයේදී පහරදී මරාදැමීමේ සිදුවීමෙන් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා වලින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයිද ඒ දෙදෙනා කෙංගල්ලේ සහ පූජාපිටියේ අය බවද පොලිසිය පවසයි.

ශ්‍රී ලංකාව තුල ඇති වී ඇති තත්වය පාලනය කිරීම සඳහා ෆේස් බුක්, වට්ස් අප්, ව්යිබර් නැවත දැනුම් දෙන තුරු අවහිර කිරීමට රජය තීරණය කර ඇත. එසේම සියළුම පොලිස් නිලධාරීන් ගේ නිවාඩු අවලංගු කිරීමටද තීරණය කර ඇත.

මහනුවර හටගත් ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මහනුවර ප්‍රදේශයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන දැඩි මතධාරී බෞද්ධ සංවිධානයක් වන මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ද ඒ අතර සිටින බව ශ්‍රී ලංකා පොලිසිය බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විරෝධී සංවිධාන සඳහා දැඩි මතධාරී ඇතැම් බෞද්ධ භික්ෂුන්ගේ ද සහාය ලැබෙන අතර ඒ සඳහා නායකත්වය දෙනු ලබන තරුණයන් අතර අමිත් වීරසිංහ ද වෙයි.

ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට පෙර මහනුවර දිගන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණ සඳහා අමිත් වීරසිංහ නායකත්වය ලබා දෙන ආකාරය රූප දර්ශන ඔස්සේ දැකගත හැක.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර කියා සිටියේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් නව දෙනෙකු බ්‍රහස්පතින්දා (මාර්තු 08) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ බවය.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගී වූ බවට සැක කෙරෙන සෙසු පුද්ගලයන් 71 දෙනා මහනුවර දිස්ත්‍රික්කයට අයත් විවිධ පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් සහ බෞද්ධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.

ගිනිබත් කෙරුණු නිවසක් තුළ තිබී 24 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ මළසිරුරක් සොයා ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය, බෞද්ධ තරුණයෙක් ඔහු ළඟ තබා ගත් අත්බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගොස් ඇති බව සඳහන් කළේය.

තවත් එකොළොස් දෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්ඩකාරී ක්‍රියා හට ගැනුණේ දෙදරු පියෙකු වූ එම්.ජී කුමාරසිංහ නැමැත්තෙකුට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වීමත් සමගය.

 

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය දහඅටක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නැති බව ආරක්ෂක අංශ පවසයි.

ඒ අනුව බ්‍රහස්පතින්දා (මාර්තු 08) උදෑසන දහයේ පටන් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් ආරක්ෂක කරුණු මත බ්‍රහස්පතින්දා සවස 06.00 සිට සිකුරාදා උදෑසන 06.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

තමන් හැදී වැඩුණේ වසර 25ක කාලයක් පුරා පැවති සිවිල් යුද්ධයක් සමග බවත් ඉදිරි පරම්පරාවට එවන් තත්වයක් උදාවන බව දැකීමට තමන් අකමැති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන නිළ ට්විටර් ගිණුමට සටහනක් යොදමින් පවසා තිබෙනවා.

ජාති ආගම්භේද නොසලකා මෙවැනි ප්‍රචණ්ඩකාර ලෙස හැසිරෙන අය නීතිය හමුවට පැමිණවිය යුතු බවත් ඒ සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ද ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ අප සියලු දෙනා එකම රටක එකම මිනිසුන් බවයි. ජාතිවාදයට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් සියලු දෙනා එකාවන්ව එක්විය යුතු බවත් එහි දැක්වෙනවා.

හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව පොලිස්පති නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද(07) පස්වරු 4 සිට හෙට(08) පස්වරු 4 දක්වා කාලය තුළ රජය විසින් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට ඇති බව රජයද නිවේදනය කරයි.

සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස සියලු දෙනාගෙන්ම රජය ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කොට ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

මේ වන විට පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කැරලි මර්ධන කණ්ඩායම් මහනුවර සහ අවට ප්‍රදේශවලට යොදවා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කළේය.

අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් විශේෂ කාර්ය බලකාය භාර අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සඳහන් කළේ ප්‍රදේශයට අවශ්‍ය උපරිම ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක්ද අදාළ ප්‍රදේශයට පිටත් කර හැරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.

ඒ අනුව එම නිලධාරීන් අද උදෑසන සිට සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඇති වූ කලහකාරී සිද්ධිය පිලිබඳව මේ වන විට ඔවුන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ මහනුවර සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර අද බ්‍රහස්පතින්දා (මාර්තු 08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉහත කී සැකකරුවන් අතර 'මහසෝන් බලකාය' ලෙස හඳුන්වනු ලබන සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අමිත් ජීවන් වීරසිංහ නම් තැනැත්තකුද සිටින බවය.

දින කිහිපයක් පුරා මහනුවර ආශ්‍රිතව සිදුවන වර්ගවාදී ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි මෙන්ම දේපළ හානි රැසක් වාර්තා වී ඇත .

නිවාස, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන හා ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කෙරුණ අතර එමගින් සිදු වූ අලාභය තවමත් ගණන් බලා නොමැති අතර ඒ සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි.

සිදු කළ අලාබ හානි පියවා ගැනීමට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ඇතුළු සෙසු ජනයාගේ බදු මුදල් යොදවමින් පෙරටත් වඩා හොඳින් එම ගොඩනැගිලි ඉදි කර දීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඔහුගේ සමාජ ජාල අඩවියේ පළකර ඇත.

 

දේපල විනාශ කිරීම තමන් විසින් තමන්ම විනාශ කර, රට තවදුරටත් ණය උගුල්වල සිර කරන ක්‍රියාවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙන්වා දෙයි.

මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට සිදු කළ හානිය ගැන දැඩි අවධානයක් යොමු වෙමින් පවතිද්දී පෞද්ගලික දේපල,දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වළක්වමින් ඒවා ආරක්ෂා කළ සිංහල සහ මුස්ලිම් ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

"හිතවත! හිතවතිය! ඔබේ 'ගෙලිඔය' නගරය ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ වගකීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය කැටි කර ගෙන අපි ඉදිරියට යා යුතුයි. අපේ නගරය වගේම එහි ජීවත් වන සියලු දෙනා ආරක්ෂා කිරීම අපගේ වගකීමයි", සිංහල මුස්ලිම් ජනතාව එක්ව ජිවත්වන ගෙළිඔය නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයේ ප්‍රචාරක රථය මෙවැනි නිවේදන නිකුත් කරමින් වීදී සංචාරයේ යෙදුණි.

"අපේ වටිනා නිවාස, ජිවිත ආරක්ෂා කර ගැනීම සහ ගැටුම් වලට නොයෑම අපේ යුතුකමයි. අපේ මනසට විෂබීජ දාලා. අපේ නගරය, රට විනාශ කරන වැඩපිළිවෙල අපි නැවැත්විය යුතුයි" යනුවෙන් නිවේදනය කළ එම ප්‍රචාරක රථය පැය කීපයක් ගෙලිඔය ප්‍රදේශයේ සංචාරය කරමින් සාමය ආරක්ෂා කිරීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.

 

මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාවට යොදා ඇති පොලිස් කොමාන්ඩෝ බටයින්
තවදුරටත් ගැටුම් ඇති නොකර නිවාසවල රැඳෙමින් සිංහල හා මුස්ලිම් සමගිය ආරක්ෂා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස අකුරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ශබ්දවාහිනිය මගින් දිගින් දිගටම නිකුත් කළ නිවේදන එහි සිටි මාධ්‍යවේදීන්ට අසන්නට ලැබුණි.

මුරුතලාව ප්‍රදේශයේ තම පල්ලිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු සිංහල තරුණයන් පිරිසක් එහි රාත්‍රිය ගත කළ බව මුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයෙක් පවසයි.

නිවාස විනාශ වීම නිසා ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නවාතැන් පහසුකම් ලබා දීමට ද ඇතැම් අසල්වැසි සිංහල නිවැසියන් ඉදිරිපත් වී ඇති බව දිගන ප්‍රදේශයෙන් වාර්තා විය.

මුල් සිද්ධියේදී ජීවිතය අහිමි වූ සිංහල සහ මුස්ලිම් තරුණයන්ගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම මරණ හේතුකොටගෙන තවත් ගැටුම් නිර්මාණය කර නොගන්නා ලෙසයි.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලයක් තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැත
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැති නිසා, අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.

මෙම සාමකාමී තත්වය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි සංචාරයේ යෙදිය හැකි අතර, දැනට එහි සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී එහි සිටින සංචාරකයන්ට අවශ්‍ය නම් ප්‍රදේශයෙන් පිටවී යෑම සදහා විශේෂ බලපත්‍රයක් නිකුත් කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණි.

2018 පෙබරවාරි මාසයේ අන්තිම දින කීපය සහ මාර්තු මාසයේ ආරම්භය සටහන් වන්නේ ශ්‍රී ලාංකික සමාජයේ තවත් වාර්ගික ගැටුමක් සහිත කාල පරිච්ඡේදයක් හැටියටය.

මෙම පෙබරවාරි මාසයේ අන්තිම දිනවල අම්පාරේ සහ මාර්තු මාසයේ ආරම්භයේදීම මහනුවර දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ දිගන වැනි ප්‍රදේශයන්හි වාර්ගික මුහුණුවරක් ගත් ගැටුම් වාර්තා වීමට පෙරත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින්වර මෙවැනි මහජන කැළඹිලි වාර්තා වී ඇත.

ශ්‍රී ලාංකික සමාජය බහු වාර්ගික සහ බහු ආගමික සමාජයක් වන බවට සහ එසේ නොවන බවට විවිධ තර්ක ඉදිරිපත් වෙමින් පවතින අතර 1948 දේශපාලන නිදහස දිනාගනු ලැබීමෙන් අනතුරුව සම්පාදනය කෙරෙන තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අතගසා ඇතත් එම කාරණය සම්බන්ධයෙන් ජාතියක් මට්ටමින් තවමත් එකඟතාවක් ඇති වී නැත.

එහෙත් ඒ අතරම සමාජය තුළ විවිධ ජන වර්ගවලට අයත් ප්‍රජා සමූහ ඉලක්ක කරගත් ගැටුම් රැළි වරින්වර ඇතිවෙමින් නැතිවී යමින් යළි මතු වෙමින් සමාජය මුසපත් කෙරෙමින් පවතී.

වාර්ගික ගැටුම් ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ගැටුම් ඉතිහාසයේ මහා චිත්‍රය නිර්මාණය කෙරෙන්නේ 1970 දශකයේ අගභාගයේ පටන් ආරම්භ වී 1983 ජූලි මාසයෙන් අනතුරුව සිවිල් යුද්ධයක් බවට පත් තරුණ දමිළ දේශපාලන අරගලය තුලිනි.

එම සිවිල් ගැටුම යුද්ධයෙන් පරාජය කොට ඇතත් තමන් ජනවර්ගයක් ලෙස මුහුණ දෙන ගැටළු සඳහා ස්ථිරසාර දේශපාලන විසඳුමක් නොලද බවට දෙමළ ඩයස්පෝරාව පමණක් නොව ජාතික දේශපාලනය තුළ ක්‍රියාත්මක වෙන බෙදුම්වාදය බැහැර කරන මධ්‍යස්ථ දමිළ දේශපාලන පක්ෂ පවා කියා සිටිති.

 

තෙල්දෙණිය ගැටුමේ දේපොළ විනාශය
දමිළ දේශපාලන අභියෝගයට නිත්‍ය පිළිතුරක් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකා බලධාරීන් දිගින් දිගටම සිය අශක්නුතාව ප්‍රදර්ශනය කරද්දී සිංහල සහ මුස්ලිම් වශයෙන් වාර්ගික මුහුණුවරක් ගනු ලබන තවත් බරපතළ බෙදීමක අද්දරට සමාජය පිය නගමින් පවතී.

සිංහල - මුස්ලිම් හොඳහිත අතරේ ගැටුම්

සියවස් ගණනාවක් දිවයින සිය නිවහන කරගත් ශ්‍රී ලාංකේය මුසල්මාන් ප්‍රජාව දමිළ ජනයා මෙන් විශේෂ ප්‍රදේශ සිය ජනාවාශ කරගත් ජන සමූහයක් නොව රටපුරා විසුරුණ ප්‍රජාවක් වීම පළමු විශේෂත්වයයි.

ඔවුන්ගෙන් සැලකිය යුතු කොටස නැගෙනහිර පළාතේ ජීවත් වුවත් ඔවුන් බහුතර ප්‍රජාව සමඟ මිශ්‍රව ජීවත්වන අතර, 1981 වසරේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආරම්භ කරන තෙක් ඔවුන්ගේ දේශපාලනය ප්‍රධාන වශයෙන් බැඳී තිබුණේ මහා දේශපාලන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟය.

ශ්‍රී ලංකාවේ සිංහල-මුස්ලිම් මහා ගැටුමක් පළමු වරට වාර්තා වන්නේ 1915 වසරේදීය.

1915 සිංහල -මුස්ලිම් කෝලාහලය යනුවෙන් සමාජ දේශපාලන ඉතිහාසයට එක්ව ඇති යටත් විජිත පාලන සමයේ ඇති වූ එම ගැටුම අධිරාජ්‍ය පාලනයේ මර්දනකාරී යන්ත්‍රය හඳුනා ගැනීමට ඊට සම්බන්ධ දේශීය ජන කොටස් දෙකටම අවස්ථාවක් සලසන ලද අතර ඉන් අනතුරුව පෙරට ගිය ජාතික ව්‍යාපාරය තුළ සිංහල සහ මුස්ලිම් ප්‍රජා නායකයෝ එකමුතුව ක්‍රියාත්මක වූහ.

 

අලුත්ගම -විනාශ කරන ලද ගොඩනැගිල්ලක්
සිවිල් යුද්ධය සහ මුස්ලිම් ප්‍රජාව
වසර හතළිහකට ආසන්න කාලයක් බල පැවැත්වුන ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුමේ දී උතුරු සහ නැගෙනහිර පළාත්වල මුස්‌ලිම් ප්‍රජාවත් යුද්ධයේ ගොදුරක් බවට පත්වනු දක්නට ලැබෙයි.

ඉන් තීරණාත්මක අවස්ථාවක් වන්නේ කොටි සංවිධානය විසින් උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් ප්‍රජාව හිටිහැටියේම නෙරපා හරිනු ලැබීමය.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් 1990 ඔක්තෝබර් මාසයේ කරන ලද නියෝගයක් අනුව උතුරේ මුස්ලිම් ජනයා වහාම එම පළාතෙන් ඉවත්ව යා යුතු වූ අතර හැත්තෑ දහසකට අධික මුස්ලිම් ජනයාට සිය දේපොළ අත්හැර රට මැදට සංක්‍රමණය වීමට සිදුවිය.

එදා උතුරුමැද සහ වයඹ පලාතට සංක්‍රමණය වූ එම මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න අදටත් නොවිසඳුන මට්ටමක පවතී.

ඒ අතරම කොටි සංවිධානය විසින් නැගෙනහිර පළාතේ එල්ල කරන ලද ප්‍රහාරවලදී සිය ගණනක් මුස්ලිම් ජන ජීවිත විනාශ කරනු ලැබුණ අතර දහස් ගණනක් ජනතාව අවතැන් භාවයට පත්වූහ.

කොටි සංවිධානය 1990 අගෝස්තු මාසයේ කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියකට එල්ල කරන ලද ප්‍රහාරයක දී එහි සිටි මුස්ලිම් බැතිමතුන් 150 කට ආසන්න පිරිසක් මරා දමනු ලැබුණි.

 

අම්පාරට පොලිස් ආරක්ෂාව
සිංහල -මුස්ලිම් මෑත කාලීන ගැටුම්
2018 පෙබරවාරි සහ මාර්තු අලුත්ම ගැටුම් හැරුන විට පසුගිය කාලය තුළ එම ප්‍රජා කණ්ඩායම් දෙකට අයත් පුද්ගල සමූහ මැදිහත් ගැටුම් කීපයක් ම වාර්තා වී ඇත.

2012 වසරෙන් අනතුරුව නැගෙනහිර පළාතේ වාර්තා වී ඇති එවැනි ගැටුම්වලට මුල් වූ ප්‍රධාන හේතු හැටියට සිංහල බෞද්ධ කණ්ඩායම් කෙරෙන් එල්ල කෙරුණ චෝදනා දෙකක් වුණේ බෞද්ධයන් ඉස්ලාම් දහමට හැරවීමට සහ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ඓතිහාසික බෞද්ධ පුදබිම් විනාශ කරනු ලැබීමය.

එහෙත් මුස්ලිම් සංවිධාන විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

2014 වසරේ අලුත්ගමින් පටන් ගෙන බේරුවල සහ දර්ගා ටවුන් වැනි ස්ථාන කීපයක දින කීපයක් පැතිර ගිය සිංහල-මුස්ලිම් ගැටුම්වලින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් විස්සකට ආසන්න පිරිසක් තුවාල ලද බව වාර්තා කරනු ලැබුණි.

උන්හිටිතැන් අහිමි ජන සංඛ්‍යාව දහසකට අධික වූ අලුත්ගම ගැටුම දේශපාලන වශයෙන් තීරණාත්මක කඩයිමක් වන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව බලයේ සිටි ආණ්ඩුවෙන් ඈත්ව විපක්ෂය කරා ඇදී යමින් ආණ්ඩු විපර්යාසයකට පවා හේතු වීමෙනි.

'අබ සරණින්' මිදුණ අලුත්ගම සහජීවනය
අලුත්ගම ගැටුම: හානි වූ ගෘහ උපකරණ වෙනුවෙන් වන්දි
2015 ජනවාරි මස අට වෙනිදා වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට පත් කිරීමට සුළු ජාතික ඡන්ද තීරණාත්මක බලපෑමක් වූ බව දේශපාලන විචාරකයන්ගේ විග්‍රහය වෙයි.

 

වාර්ගික ගැටුමේ තවත් විනාශයක්
එම ජනාධිපතිවරණයේ දී පරාජයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පරාජය 'සුළු ජාතික ඡන්ද නිසා' යයි ප්‍රසිද්ධියේම සඳහන් කර ඇත.

එවැනි පසුබිමක් යටතේ 2015 දී බලයට පත් නව පාලන තන්ත්‍රයේ එක් සහ වැදගත්ම ප්‍රතිඥාවක් වුණේ රට තුළ වාර්ගික ප්‍රභේදය මත මතුවෙන සියලු වෙනස්කම් අවසන් කරමින් සංහිඳියාව ගොඩ නැගීමය.

එහෙත් එවැනි ප්‍රාදේශීය ගැටුම් 2015න් පසුවත් වාර්තා වූ අතර එහි පසුබිමෙහි සිටි පුද්ගලයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විවිධ නිර්වචන සැපයෙන ගිංතොට සිංහල-මුස්ලිම් ගැටුම වඩාත් සමාජ මාධ්‍ය අතර සංවාදයට පාත්‍ර වූ වියවුලක් විය.

2018 පෙබරවාරි 26 වෙනිදා අම්පාරෙන් වාර්තා වෙන ගැටුම ආරම්භ වුණේ මුස්ලිම් ජාතිකයකුට අයත් ආපන ශාලාවක ආහාරවලට 'වඳ පෙති' දමන බවට පැතිර ගිය කටකතාවකි.

අම්පාර ප්‍රහාර ගැන 'විශේෂ විමර්ශනයක්'
මුස්ලිම් වෙළෙඳසල්වලට ප්‍රහාර: අම්පාරේ ආරක්ෂාව තර කෙරේ
ආහාරවලට එවැනි පෙති එකතු කරනු ලැබීම මගින් මිනිසුන් වඳ වීමක් සිදු කළ හැකි බවට කෙරෙන ප්‍රකාශනයන්හි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

බෞද්ධ විහාරයක රාමදාන් සංග්‍රහයක්
අම්පාර ගැටුමෙන් හරියටම දවස් හතකට පසුව මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ ගැටුම් වලින් ජීවිත දෙකක් විනාශ වී ඇති අතර අතිවිශාල මහජන දේපොළ විනාශයක් ද වාර්තා වෙයි.

පළමුවැන්නා සිංහලයෙකි.
ඔහු මුසල්මානුවන්ට අතිශය සමීපව සිටි අයෙක්ය.පල්ලියට ගොස් එන මුස්ලිම් බැතිමතුන්ව ඇතැම් විට මිලක් නොගෙන නිවෙස් වලට ඇරලුවෙකි.

මිලේච්ඡයෝ ඔහුව ඝාතනය කළහ.
අවස්ථාවාදි ජාතිවාදියෝ ඒ ඝාතනය 'ජාතිවාදී බිල්ලක් බවට පෙරළා ගත් හ.

දෙවැන්නා මුසල්මානුවෙකි.
ඔහුට පසුබිමේ තිබෙන්නේ දළදා මාලිගාව ය.අඩු තරමේ පාකිස්ථානය සමඟ ක්‍රිකට් ගසන විටත් ඔහු ලංකාවට 'චියර්'කළ තරුනයෙක්ය.ඔහු ශ්‍රවනාබාදයකින් යුක්තය.
ඊයේ අවස්ථාවාදියෝ කඩයක් ගිනි තැබූහ.අද උදේ අලු වෙච්ච කඩේට ගිහින් මිනිස්සු බලනකොට මල සිරුරක් හමුවිය.ඒ සිරුර මේ තරුණයාගේය.
ඔහු උන්නේ නින්දේය.
'යකෝ මොකද ගින්න වෙලාවේ පැන්නේ නැත්තේ?'ඔබ අහයි.!
ඔහුට උපතින්ම කන් ඇහෙන්නේ නැත.

අවස්ථාවාදියෝ ඒ ඝාතනයද 'ජාතිවාදී'බිල්ලක් බවට පෙරලාගෙනය.

මේ දෙදෙනාම ජාතිවාදියෝ නොවූහ.

එහෙත් උන්ගේ මරණය අවස්ථාවාදීන්ට 'නියම ගොදුරුය..!

සමහරවිට ජාතිවාදය තුට්ටුවකට මායිම් නොකරන ඔබත්,මමත් මේවායේ ගොදුරු ලෙස ඝාතනය වන්නට හෝ ඝාතනය කරන්නට ඉඩ ඇත.
ඉක්බිති,ඒ සිරුරුද අවස්ථාවාදියෝ 'උන්ගේ අරමුණෙහි' 'ධජ'බවට පත්කරගනු ඇත..!

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.