17
Sun, Dec

අවධානම  ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අධ්‍යයන අංශය විසින් නිකුත් කළ නායයාම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ පස්වරු 02.00 සිට ක්‍රියාත්මක වන පරිදි නායයාම් අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත කරනු ලැබිණි.

රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රීක්ක සඳහා නායයාමේ නිවේදනය නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වර්ෂාපතනය වැඩි වුවහොත් අදාළ ප්‍රදේශවල සිදු විය හැකි පස් කදු කඩාවැටිම් ගල් පෙරළීම් සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ජයලලිතා ජෙයරාම් මෙනෙවිය තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති පදවියට යළිත් පත්වීම සම්බන්ධයෙන් ඇයට ශුභ පැතීම සඳහා උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී.විග්නේශ්වරන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මන්‍ත්‍රීවරුන් කණ්ඩායමක් විරෝධය පළ කිරීම නිසා පළාත් සභාව තුළ උණුසුම් තත්වයක් ඇති විය.

ජෙයලලිතාට ශුභ පතන මහ ඇමතිවරයා මේ වන විට රට තුළ පවතින ආපදා තත්වය කෙරෙහි අවධානය යොමු නොකළ බවයි ඉහත කී යෝජනාවට විරෝධය දක්වන මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ.

උතුරු පළාත් සභාවේ නව සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් කියා සිටියේ ,ජෙයලලිතාගේ ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවත් සතුටට පත් වන බවයි.

'ජයලලිතා ජෙයරාම් තමිල්නාඩුවේ මහඇමතිනිය විදිහට හය වන වරටත් දිවුරුම් දුන්නා. ඒක අපට විශාල සතුටක්. ඇයට අපේ ශුභ පැතුම් එක් කරනවා. තමිල්නාඩුවට හා දෙමළ ජනතාවට ඇය කළ සේවය තමයි මේ ජයග්‍රහණයට හේතු වුනේ' මහ ඇමතිවරයා සඳහන් කළේය.

එම ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක කියා සිටියේ 'නව පළාත් සභා සැසි වාරය ආරම්භයේ දී කළ යුත්තේ ජෙයලලිතාගේ ජයග්‍රහණය සැමරීම නොව පසුගිය දා ගංවතුර සහ නායයාම් මගින් විපතට පත් රටේ ජනතාව වෙනුවෙන් උතුරු පලාත් සභාව හැටියට කනගාටුව සහ ශෝකය ප්‍රකාශ කිරීම' වන බවයි.
'පසුගිය දා මේ රටට බලපාපු ව්‍යසනයෙන් සිය ගණනක් මැරිලා සිය ගණනක් අතුරුදහන් වූ බව අද මේ සභාවට අමතක වෙලා ද? ලක්ෂ ගණකත් ජනතාව අනාථ වෙලා ඉන්නවා. එහෙම තියෙද්දී අල්ලපු ගෙදර ඉන්න ජෙයලලිතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු කඳුළු හෙලන මේ සභාවත් ශ්‍රී ලාංකිකයන් හැටියට රටේ පවතින තත්වය ගැන දුක් විය යුතු අවස්ථාවක් මේක. විශේෂයෙන්ම උතුරු පළාතේ කිලිනොච්චියේ විශාල ජනතාවකට ගංවතුර බලපෑවා. නව සභා වාරය ආරම්භයේ දී අපි කරන්න ඕන ජෙයලලිතාගේ ජයග්‍රහණය සමරන එක නොවෙයි - රට තුළ සිදු වූ ව්‍යසනය සම්බන්ධයෙන් අපි සියලු දෙනා එක්ව උතුරු පළාත් සභාව වෙනුවෙන් කනගාටුව ශෝකය ප්‍රකාශ කිරීමයි කළ යුතුව තිබෙන්නේ

ආපදා තත්වය පිළිබඳව ශෝකය හා කණගාටුව ප්‍රකාශ කිරීම සඳහා තමා බලා පොරොත්තුවෙන් සිටි බවයි එම අවස්ථාවේ පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් කියා සිටියේ .

වී.ජයතිලක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට තමාත් සහයෝගය පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් ප්‍රකාශ කළේය.

'ජයතිලක මන්ත්‍රීවරයාගේ කතාවට මාත් එකඟයි. පීඩාවට පත් ජනතාවට දේශීය හා විදේශීය මට්ටමින් ආධාර ලැබෙමින් පවතිනවා. නමුත් උතුරු පළාත් සභාවේ අපි ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් අර ගෙන නැහැ' දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් පෙන්වා දුන්නේය.

බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,නාරාහේන්පිට පොලීසියේ හිටපු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන මහත්වරුන් ජූනි 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ආන්දෝලනයට තුඩු දුන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කළ බවට එල්ලවන චෝදනාවන්ට අදාළව සැක පිට මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ඇත.

කෙසේ වෙතත් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අද(26)අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

තාජුඩීන්ගේ ඝාතනයට විවිධ පුද්ගලයින් සම්බන්ධ යයි නම් ප්‍රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම සේවාදායකයින්ට බලපෑම් කරන බවත්,එසේම ඔහුට මිනී මැරුම් චෝදනා එල්ල කිරීමට නීතිමය පදනමක් නොමැති නිසා ඇප ලබාදීමට ක්‍රියා කරන මෙන්ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම අවස්ථාවේදී එකී ඉල්ලීමට විරෝධය පෑ රජයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ මේ මොහොතේ මෙම සිද්ධියට අදාළව මහජන කැළඹීමක් පවත්නා හෙයින් ඇප ලබාදීම නොකළ යුතු බවයි.

එසේම මොවුන්ට ඇප ලබාදුනහොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බැවින් ඇප ලබාදීමට තමන් විරුද්ධ බව රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා චූදිතයින්ට ඇපලබාදීම ප්‍රතික්ෂේප කරමින් තමාට කිසිවෙකු හෝ සතුටු කිරීමට තීන්දු තීරණ ලබාදිය නොහැකි බවත්,තම තීන්දු තීරණ කෙරෙහි සතුටු නොමැතිනම් ඉහළ අධිකරණයකින් සහන ලබාගත හැකි බවත් දන්වා ඇත.

 

පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබූ වෛද්‍යවරුන්ගේ මාරුවීම් ප්‍රතිපත්තියට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  විසින් සිදුකරනු ලබන අත්තනෝමතික ඇඟිලිගැසීම්වලට එරෙහිව හෙට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක,වෛද්‍ය නවීන් සොයිසා කියා සිටියේ ආපදාවට ලක්වූ කොළඹ,ගම්පහ,කෑගල්ල යන දිස්ත්‍රීක්ක සහ මාතෘ,ළමා,පිළිකා,වකුගඩු සායන සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව හෙතෙම කියා සිටියේ අද(30)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් දිවයින පුරා සෙසු රෝහල්වල හෙට පෙ.ව 8.00 සිට දහවල් 12.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දුන්නේය.

එසේම හෙට දිනයේ මෙම ගැටළුවට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් මින් ඉදිරියට ක්‍රියාවට නංවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රධාන කාර්මික රටවල් හතේ රාජ්‍ය නායක සමුළුව හෙවත් ජී7 සමුළුවට සහභාගී වීමට අද ජපානයේ ඉසේශිමා නගරයට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයකු සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා මෙයට සහභාගී වූයේ ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ ආරාධනයෙනි.

එහි දී ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා, ජර්මන් චන්සලර් ඇන්ජෙලා මර්කල්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හොලන්ඩ්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ ජපන් අගමැති ෂින්සෝ අබේ මහත්ම මහත්මීහු මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සුහද කතා බහේ ද නිරතවූහ.
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන නිදහස් හා සාමකාමි තත්ත්වයත් නව දේශපාලන ප්‍රවණතාවත් දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් තමන්ට හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ද එම රාජ්‍යනායකයෝ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කීහ.

වෙන්නප්පුව බණ්ඩිරිප්පුව වැලී බැම්ම පාර ප්‍රදේශයේ ගිං ඔයේ පාවෙමින් තිබු නාඳුනන මළ සිරුරුක් අද උදැසන ගිංඔයේ මාලු ඇල්ලිමට දැල් එළමින් සිටි ප්‍රදේශවාසින්ගේ දැනුම් දීමක් මත උදැසන සොය ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

කීර්ති තෙන්නකෝන් , විධායක අධ්‍යක්ෂ - කැෆේ සංවිධානය

අධි චෝදනා වලට ලක්වු නිලධාරීන් තනතුරු වල පිහිටුවීමෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වගකීම් පැහැර හරිමින් කටයුතු කර ඇතැයි කැෆේ සංවිධානය කියයි.

ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වීම සිදුවේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.

ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන් නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.

වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු යටිකුරු වීමක් ලෙස සැලකිය හැකි බවත්, ඔහු කීවේය.

මේ යටතේ එංජින් ධාරිතාව 1000ට වැඩි සියලු වාහන මිල ඉහළ යනු ඇත.

එංජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා වාහන සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 30ක් පමණ වේ.

එංජින් ධාරිතාව 1500ත් 1600ත් අතර වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 3500ක බද්දක් ද ධාරිතාව 1600ට වැඩි වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 4000ක් ද බදු වශයෙන් අය කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

විද්‍යුත් මෝටර් රථ වාහන මිල ඒකක බදු ක්‍රමය යටතේ අඩු වන අතර මුලින් පැවැති ලක්ෂ 29ක පමණ බද්ද නව ක්‍රමය යටතේ ලක්ෂ 17 හමාරක් පමණ වනු ඇත.

නමුත් පවතින මිලට වඩා එම වාහන වැඩි අගයක් විය හැකි බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4 දක්වාද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට 72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.

කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද ඒ මහතා කීවේය.

තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද ඔහු පැවසීය.

රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද කියා සිටි ඒ මහතා ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.

නිරිත දිග මෝසම් තත්ත්වය මේ වන විට දිවයින හරහා ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා සඳහන් කළේය.

ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්ය.

පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකළපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර 70-80ත් අතර අගයක් ගත හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු වියහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය