26
Mon, Feb

සයිටම් අර්බුදය ඇතුළු විසඳුම් නොදුන් ප්‍රශ්න ගණනාවක් ආණ්ඩුවේ පරාජයට හේතු වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලය වෙනස් කිරීම සම්බන්ධයෙන් හරියාකාරව තවමත් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව කිසිවෙකුක් නොදන්නා බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

එම සියලු තීරණයන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන බව ද පැවසු අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

තමා පක්ෂයේ නායකයා සමඟ සැමදා සිටි බවත් හෙට වෙන නායකයෙකු පත් වුවත් ඔහුට ද තම සහය ලබා දෙන බව පැවසු දයාසිරි මහතා පක්ෂයක් ලෙස මිසක කිසි විටෙකත් තමා තනි තීන්දුවක් නොගන්නා බව ද කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය පවත්වා දින 10 ක් ගතවී තිබුනද මෙතෙක් පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති ආදී තනතුරු වලට පත්වන්නේ කවුද යන්න තීරණය වී නැත්තේ මැතිවරණ ක්‍රමයේ විකෘතියක් නිසා නොව ජාතික දේශපාලනය තුළ පවතින බල අරගලය නිසා බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සුරාබදු ආඥාපනත යටතේ නඩු පැවරීමට පොලිසියට නෛතික බලයක් නොමැති බවට දකුණු පළාත්බද මහාධිකරණය තීන්දු කළේය.

ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම තීන්දුව ප්‍රකාශයට පත්කළේ, බීර බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එරෙහිව විත්තිකරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කළ අවස්ථාවේය.

කොග්ගල පදිංචි අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ වගඋත්තරකරුවන් ලෙස නිතිපතිවරයා සහ අහංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කර තිබිණ.

2017 මාර්තු 28 වන දින අහංගම නගරයේ සිට වැල්හේන්ගොඩට ප්‍රදේශයට ත්‍රීරෝද රථයකින් බීර බෝතල් හතළිස් අටක් ප්‍රවාහනය කරමින් සිටියදී විත්තිකරු අත්අඩංගුවට ගත් අහංගම පොලිසිය, සුරාබදු ආඥාපනතේ 46 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

විත්තිකරුට එම චෝදනා පත්‍රය භාරදීමට පෙර මහේස්ත්‍රාත් අධිකරණයේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා සුරාබදු ආඥා පනතේ 52 වගන්තිය යටතේ නඩු පැවරිමට පොලිසියට බලයක් නොමැති බවට කරුණු දැක්වීය.

එහෙත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සුරාබදු නඩු පැවරිමට පොලිසියට බලයක් තිබෙන බවට 2017 අප්‍රියල් 27 වන දින තීන්දු කළේය.

මෙම නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා දෙන ලද තීරණය නිෂ්ප්‍රභා කරන ලෙසත්, සුරාබදු ආඥා පනතේ 46 වගන්ති යටතේ නඩු පැවරීමට පොලිසියට බලයක් නොමැති බවට තීරණය කරන ලෙසත් ඉල්ලා විත්තිකරු විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කර තිබිණ.

අර්බුදයට තුඩු දුන් සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කිරීමෙන් එම ගැටලුව විසඳිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යා ලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද(22) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.

පසුගිය වසර අග සයිටම් අහෝසි කරන බවට නියෝජ්ය් ඇමති හර්ෂ ද සිල්වා විසින් පෙරොන්දු ඉටුකරමින් ගැසට් පත්‍රයක් නිකුත් නොකළ බව පෙන්වා දෙන අ.වි.ශි.බ.ම. වැඩබලන කැඳවුම්කරු, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමෙන් පීඩාවට පත් වූ සයිටම් ශිෂ්‍යයන්ට සාධාරණය ඉටු නොවන බව පවසයි.

ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් කැදවා තිබිණි. එහිදී සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන 1000ක පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා මෙසේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාෂලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සිදු කිරීමට තීරණයට කර ඇත. එහිදී හර්ෂ ද සිල්වා කමිටුව විසින් ශිෂ්‍යයන්ට හා මව්පියන්ට දුන් පොරොන්දුව හා ප්‍රකාශයට පත්කළ විසදුම අවධානයට නොගැනීම විශේෂත්වයකි. එපමණක් නොව යහපාලනය ගෙන එන්නට ශපථ කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මින් පෙර කිසිවක් නොවූ ආකාරයට මෙවැනි රැස්වීමක් කැදවා අත්තනෝමතික ක්‍රියාමාර්ග ගැනීමද ශිෂ්‍ය නායකයන්ගේ පිළිකුළ ප්‍රකාශ කෙරිණි.

ආණ්ඩුව විසින් මර්දනකාරී පියවර ගනිමින් අ.වි.ශි.බ.ම. කැදවුම්කරු සිරගත කිරීමේ තත්වය නිසා වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ අද(22) පැවති ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සයිටම් ගැටලුව විසදීමට නම් එම ආයතනය සම්පූර්ණයෙන් අහෝසි කර වෛද්‍ය අධ්‍යාපනයට අවම සුදුසුකම් දක්වා ඇති සයිටම් සිසුන් පාඨමාලා සම්පූර්ණ කිරීමට රජයේ විශ්වවිද්‍යලවල වෛද්‍ය පීඨවලට යොමු කළ යුතු බවයි. ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරන්නේ එක් දිනක එක් විසදුමක් ප්‍රකාශයට පත්කර වෙනත් දෙයක් ක්‍රියාත්මක කිරීම බවත් සයිටම් ගැටලුවට විසදුමක් දෙන්නට ආණ්ඩුවේ නායකයන්ට අවංක අරමුණක් නැති බව වරින් වර පොරොන්දු කඩ කරමින් වෙනත් අත්තනෝමතික තීරණ ගැනීමෙන පැහැදිලි වන බව අ.වි.ශි.බ.ම. වැඩබලන කැඳවුම්කරු පෙන්වා දෙයි. වසර ගණනාවක් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලය හමුවේ කිසිවක් නොකර ඉන්නට බැරි තත්වයට ආණ්ඩුව පත්ව ඇති නමුත් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, නිදහස් අධ්‍යාපන අයිතිය සහ නිදහස් සෞඛ්‍ය අයිතිය ආරක්ෂා කරන්නට සමස්ත ජනතා බලවේග සමග ශිෂ්‍ය ව්‍යාපාරය දිගටම සටන් වදින බව ඔවුහු අවධාරණය කළහ.

විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍ය පීඨ ආචාර්යවරු, සමාජ ක්‍රියාකාරින්, දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍යයන් හා මව්පියන් එක්ව නගන හඩ අමතක කරමින් ආණ්ඩුව ලාභ ලබන අරමුණින් ක්‍රියාකරන ධනපතියන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක කටයුතු කරන බව එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරිහු ආණ්ඩුවට චෝදනා කළහ.

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය.

 යාපනය සිට දියතලාව දක්වා ගමන් ආරම්භ කල පෞද්ගලික බස් රථයක් ඊයේ(20) රාත්‍රී බණ්ඩාරවෙල දක්වා පැමිණ එහි සිටි මගීන් 19දෙනා වෙනත් බස් රථයකට මාරු කර තිබුණි.

එලෙස මගීන් රැගත් බස්රථය බණ්ඩාරවෙල සිට හෙබරව දක්වා ධාවනය වන අතරතුර බණ්ඩාරවෙල කහගොල්ල ආරාමය අසලදී අලුයම 5.30 ට පමණ රථය තුළ පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමෙන් රථයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් මේවන විට දියතලාව මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඒ අතර යුද හමුදා සෙබලුන් 7 ක් ගුවන් හමුදා සෙබලුන් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු වෙයි.

 

යුද හමුදා සෙබලෙකුගේ පාදයක කොටසක් ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර අනෙක් සෙබලාගේ උදරයට ශෛල්‍ය කර්මයක් සිදුකල බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
අනතුරින් බස් රථයේ රියදුරුට කිසිදු හානියක් සිදුව තිබුනේ නැහැ.

කෙසේ වෙතත් මෙම පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසයි.

උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි.

2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි.

පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම සතියේ කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අද නැවත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය ද එකඟවී තිබේ.

ලබන කන්නයේ සිට වී ගොවීන්ට සහ බඩ ඉරිඟු, සෝයා, මිරිස් ලොකු ලූනු සහ අර්තාපල් යන අමතර බෝග පහටත් අවශ්‍ය කරන සම්පූර්ණ පොහොර සඳහා වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට ප්‍රථම ගොවීන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

22 දා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ඇමතිවරයාත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයාත් විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම අමාත්‍යවරයාත් ජාතික ආර්ථික සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා සහ අදාළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

එසේම මෙම බෝග සඳහා 2018 අයවැයෙන් යෝජනා කළ අක්කරයකට රුපියල් 40000 ක රක්ෂණාවරනය සඳහා ගොවීන් දැරිය යුතු මුදල ඉවත් කොට එම රක්ෂණාවරනය නොමිලේ ලබාදීමටත් තීරණය වී තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි මහතා අද (21දා) දින පස්වරු 1.00ට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහාල් මහතාට රහස් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

හේමන්ත අධිකාරි මහතා මෙම ඝාතනය සිදු වන වකවානුවේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළේය.
ඉකුත් 16 වැනිදා නීතිඥවරයකු මාර්ගයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම රහස් ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමකට අනුව හේමන්ත අධිකාරි මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග ලබාදී තිබිණි.

මේ වනවිටත් මෙම ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරීම, තොරතුරු වසන් කිරීම, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම ආදී චෝදනා සම්බන්ධයෙන් සැකපිට හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පළාත් පාලන ආයතන 340ක් සඳහා පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති මැතිවරණයෙන් පාලක සන්ධානයට බරපතල පරාජයක් අත්කර දෙමින් ආයතන බහුතරයක් ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් පොදු ජන පෙරමුණ සමත්විය.

එහෙත් මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී සතියකට අධික කාලයක් ගත වී ඇතත්, තවමත් එම ආයතන පිහිටුවා නැත.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ එක් එක් දේශපාලන පක්ෂවලින් පත්කළ යුතු කාන්තාවන් සංඛ්‍යාව තීරණය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් අදාළ ආයතනවල පාලනය පිහිටුවීම මඳක් ප්‍රමාද වූ බවයි.
ඉදිරි සති කිහිපය ඇතුළත එම කටයුතු නිමා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

 

"ඒ ඒ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ජයග්‍රහණය කරලා තියෙනව නම්, නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපති පත්කරන්න කියල අපේ තේරීම් භාර නිලධාරීන් ඒ පක්ෂයට හෝ කණ්ඩායමට දන්වනවා," සභාපතිවරයා පැවසීය.
"ඒ වගේම සභාපති සහ උප සභාපති පත්කිරීම ඒගොල්ලන්ට ඉබේම හම්බවෙනවා. "

එමෙන්ම සභාපතිවරයා පෙන්වාදෙන ආකාරයට, සමානුපාතික නියෝජනය යටතේ අදාළ සභාවල ඒ ඒ පක්ෂයට ලැබෙන සභිකයන් සංඛ්‍යාව, කොට්ඨාස ක්‍රමය මගින් පත් වූ පිරිසට වඩා වැඩි නම් එහිදී සිය නාමයෝජනා පත්‍රවලින් ඒ සඳහා අපේක්ෂකයන් නම් කිරීමට අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට අවස්ථාව හිමිවේ.