23
Tue, Jan

කවිය පිළිබඳව යම්කිසි සංගත අදහසක් ඉදිරිපත් කිරීමට මම මෙතනදි උත්සාහ කරනවා. මෙහිදී රොමැන්තික කවිය කියන්නේ මොකක්ද කියලා අපිට මුලින්ම හඳුනාගන්න වෙනවා. ඒ වගේම ඒකෙ අනිත් පැත්ත ඒ කියන්නේ යථාර්ථවාදී කවිය හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. මේ දෙක සම්බන්ධයෙන් ලංකාවෙ ඇතිවුණු සංවාද බොහෝ දුරට මේවායේ අර්ථ පද්ධතිය පිළිබඳව පැහැදිලි අදහසක් ඇතිව සිදුවෙලා නැහැ. මේ පිළිබඳව ඔහුගේ යුගයට සාපේක්ෂව ඉතාම විධිමත්ව මහාචාර්ය සුචරිත ගම්ලත් සාකච්ඡුා කරලා තියෙනවා. කවිය සම්බන්ධයෙන් සිදුවන සංවාදවල සඳැස් – නිසඳැස් ගැටුම ගැන එපා වෙනකම් කතා කරලා තියෙනවා. කවිය කා වෙනුවෙන්ද? කවිය ජනතාව වෙනුවෙන්ද? වගේ දේවල් චිරාත් කාලයක් තිස්සේ සාකච්ඡුා කරන මාතෘකා වෙලා තිබෙනවා. මෙතැනදී කවිය කියන්නේ මොකක්ද කියන එකට මම උත්තර දෙන්න යන්නේ නැහැ. නමුත් මම පසුව මේ පිළිබඳව මගේ අර්ථකතනය මොකක්ද කියන දේ පිළිබඳව කතා කරනවා.

 

‘අසක්දා කව’ කෘතියේ පෙරවදනේ ගුණදාස අමරසේකර කවියේ යුග තුනක් පිළිබඳව කතා කළා. මුලින්ම ඔහු පැරණි කවිය කියලා යුගයක් හඳුන්වනවා. ඒ කියන්නේ පැරණි කාව්‍ය, සංදේශ කාව්‍ය යුගය. ඊට පස්සෙ කොළඹ කවිය එනවා. පී.බී. අල්විස් පෙරේරාගේ සිට විල්සන් හෑගොඩ වගේ අය හිටපු අපි සාමාන්‍යයෙන් ‘සඳැස’ කියලා හඳුන්වන කාව්‍ය ලක්ෂණ සහිත යුගය. ඉන්පසුව එනවා ‘නිසඳැස්’ කවි යුගය. සාමාන්‍යයෙන් මේ යුග තුන ගැන කතා කරන්නේ සෞන් දර්යාත්මක භාවිතාව හරහා. නමුත් මම අද කතා කරන්නේ කවියෙ දෘෂ්ටි වාදය කොහොමද වැඩ කරන්නේ කියන දේ ගැන. ඉතා සරලව දෘෂ්ටිවාදය කියන්නේ, අපි දේවල් ගැන හිතන විට අපි හැම දෙයක්ම විධිමත්ව හිතනවා කියලා උපකල්පනය කිරීමට. අපි හැමදේම දැනුවත්ව හිතනවා කියලා අපි හිතනවා. අපි දැනුවත්ව කරන දේවල් තියෙනවා. උදාහරණයක් විදියට ලංකාවේ ඉතාම ජනප‍්‍රිය තලයේ කතාවකින් මම කියන්නම්. දැන් මේ දවස්වල ඕස් ටේ‍්‍රලියාවේ යන්න ඕනෑ මෙහෙ ඉඳලා හරියන්නේ නැහැ කියලා මධ්‍යම පන්තියේ වගේම පහළ මධ්‍යම පන්තියේ අදහසක් තියෙනවා. කොහේ හරි ගියාම හරියනවා කියන දේත් සමග ජීවිතේ විශාල දේවල් කැපකරගෙන, කැත වැඩ කරගෙන, ළඟ ඉන්න අයටත් කැත වැඩකරගෙන යන්න උත්සාහ කරනවා. මේ යන අය ලෝක ආර්ථිකය ගැන ගණන් හදලා විශ්වාසයෙන්ද යන්නේ? ඕස්ටේ‍්‍රලියාවට ගියාම ප‍්‍රශ්න හරි. අඩුම තරමේ ආර්ථිකය පිළිබඳව ඉතාම විධිමත් විශ් ලේෂණයක් කරලා එහෙමද යන්නේ? මේ මෙහෙයවන අදහස් පද්ධතිය කුමක්ද? ඉස්සර දෘෂ්ටිවාදය කියන්නේ හිතන පතන දේවල්වලට පමණක් අදාළ කාරණයක් කියලා අදහසක් තිබුණා. නමුත් ඇත්තටම අද වෙනකොට දෘෂ්ටිවාදය කියලා කියන්නේ අපි ක‍්‍රියාත්මක තලයේදී අපේ අදහස් ක‍්‍රියාත්මක වෙන විදිය. උදාහරණයක් විදියට අපි කටින් ජාතිය ගැන කතා කරන එක නෙමෙයි. අපි ඇත්තට ජාතිකවාදියෝද? ඔබ දකිනවා ඇති රට, ජාතියට වැඩිපුරම ආදරේ කරන්නේ රටින් පිට ඉන්න අය. රටට එච්චර ආදරේ නම් මෙහේනේ ඉන්න ඕනෑ. ඉතින් දෘෂ්ටිවාදය කියලා කියන්නෙ හුදෙක් අදහස් පද්ධතියක් නෙමෙයි. භෞතිකව අපිව හසුරවන චින්තන පද්ධතියක්. දැන් කවිය පිළිබඳව කතා කරනකොට, ඕනෑම කලාවක් ගැන කතා කරනකොට එන අදහසක් තමයි, අපි තියෙන දෙයක් ප‍්‍රතිඉදිරිපත් :රුචරුිැබඑ* කරනවා කියන එක. අපි භාෂාව හරහා සමාජය පුළුවන් තරම් විනිවිද යන්න උත්සාහ කරනවා. සමාජය කියන්නේ අපිට ඇහැට කණට අතට පයට අහුවෙන දේ විතරක් නෙමෙයි. උදාහරණයක් විදියට මිනිස් අන්තර් සම්බන්ධතා. දෙන්නෙක් අතර සම්බන්ධතාවක් ඇතිවෙලා විශ්වාසය බිඳෙනවා. ඒක අතට අහුවෙන දෙයක් නෙමෙයිනේ. ඒක මිනිස් සමාජයේ ගතිකයක්. මේක අපි ප‍්‍රතිඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. බූට් එකක් කාලා ඇති තරම් සිංදු ලියනවා. මේ ප‍්‍රතිඉදිරිපත් කිරීමේදී කොහොමද දෘෂ්ටිවාදය කියන එක ක‍්‍රියාත්මක වෙන්නේ? එතකොට කොහොමද අපි රොමෑන්තිකකරණය සහ යථාර්ථය වෙන් කරන්නේ? මට හිතෙන්නේ එහෙම වෙන්කරන බොහෝ අය එම මාතෘකාව ගැඹුරින් අරගෙන නෙමෙයි කරන්නේ. ඇත්තටම රොමෑන්තික ගතිකතා කියන්නේ මොනවාද? යථාර්ථවාදය කියන්නේ මොකක්ද?

 

ලංකාවේ ෆුල්ටයිම් කලාව කරන අය නැහැනේ. හරිම අඩුයි. ලංකාවේ ගොඩක් කලාකරුවෝ පාට්ටයිම් තමයි කලාව කරන්නේ. මේ වාගේ අය සමග ගැඹුරු මාතෘකාවක් කතා කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මේ වාගේ කවි සභාවකට ආවාම සම්භාව්‍ය කවියො ඉන්නවා මම දැකලා තියෙනවා. කවියො කිව්වාම කලාව පිළිබඳව පූජනීයත්ව අදහස තියෙනවනේ. කවියන් ගාව මොකක්ද දෙයක් තියෙනවා. ඒ වාගේ කවියෝ ගොඩක් අය මම ආශ‍්‍රය කරලා තියෙනවා. මම දන්න සිංහල කවි ලියන ගොඩක් කවීන්ගේ ළමයින්ට සිංහල බැහැ. ඒ අයගේ ළමයි අන්තර්ජාතික පාසල්වලට යන්නේ. මම මේ කියන්නේ පෞද්ගලික අවුලක් නෙමෙයි තත්ත්වයක් ගැන. ඒ අයට කවි පොතක් එහෙම දුන්නොත් අර්බුදයක් වෙනවා. ඉතින් කවියෝ වගේ සංකීර්ණ කලාකාරයන්ගේ ළමයින්ට මොකක්ද වුණේ? මේ අය මුළු ජීවිතේම කැපකරලා තියෙන්නේ රෝද හතරක් ගන්න එකටයි, බිත්ති හතරක් බඳින එකට පමණයි. ඉතින් ඇයි ඒ අයව අපි වන්දනාමාන කරන්නේ? අපි වගේම සාමාන්‍ය අයනේ. එහෙම නොවන අයත් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි ආනන්ද අමරසිරි කියලා කියන්නේ. එයා මේ වගේ තැන්වලට එන්නේත් නෑ. පොත් එළිදැක්වීම් නැහැ. කතා කළොත් ලෝකෙ වටේ ගිහිල්ලා තමයි එන්නේ. නමුත් ආනන්ද අමරසිරිව කවුද මෙතන දන්නේ? ආනන්ද අමරසිරි කියලා කියන්නේ ලංකාවේ චරිතයක් නෙමෙයි. ලංකාවේ ජනඝාතක යුද්ධයක් කරද්දී කවීන්ට පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශවල රැුකියා කරන්න. හෘදය සාක්ෂියේ කිසි ප‍්‍රශ්නයක් නැහැ. මම මේ කවියා යකෙක් කියලා කියන්න හදනවා නෙමෙයි. ඒ අයත් සාමාන්‍ය මිනිස්සු. මම කියන්න හදන්නේ කලාව පූජනීයයි කියලා තමයි මිනිස්සු වැඩකරන්නේ. උපුල් ශාන්ත සන්නස්ගල කලාව සම්බන්ධයෙන් තියෙන පාරභෞතික අදහස අවසන් කළා. ඒ නිසා මම උපුල්ට කැමතියි. උපුල්ව අපිටත් වැඩිය සතෙක් වගේ පේන්නේ සමහරවිට උපුල් අපිට වැඩිය හොඳ නිසා වෙන්න ඇති. මෙන්න මේක තමයි දෘෂ්ටිවාදය කියලා කියන්නේ. මම මෙතැනදි අලූත් දෙයක් කිව්වේ නැහැ. කලාකාරයන්ගේ දරුවන්ට සිංහල බැහැ කියලා හැමෝම දන්නවා. කලාකාරයො කියන්නේ තමන්ගේ ළඟ ඉන්න අයව සූරාකන අය කියලා ඔයාලා දන්නවා. ඒවා දැනගෙන වුණත් අපි කලාකාරයාව දැක්කාම නැගිටිනවා. ඒකට තමයි දෘෂ්ටිවාදය කියන්නේ. දෘෂ්ටිවාදය කියන්නේ අපි අවිඥානිකව හෝ සවිඥානිකව ක‍්‍රියාත්මක කරවන අදහස්.

 

රොමෑන්තිකවාදය කියන්නේ මොකක්ද කියන දේ පිළිබඳව දැන් අපි කතා කරන්න වෙනවා. පියසීලි විජේගුණසිංහ කියලා ඉතාම දක්ෂ විචාරිකාවක් හිටියා. එයා රොමෑන්තිකවාදය හඳුන්වන්නේ මෙන්න මෙහෙමයි.

 

‘රොමෑන්තික කලාවත්, යථාර්ථවාදී කලාවත් අතර මූලික වෙනස මෙයයි. රොමෑන්තික් කලාවේ යථාර්ථය නැත්නම් විෂය අබිබවාගෙන කලාකරුවා මතුවෙයි. යථාර්ථවාදී කලාවේ කලාකරුවා අබිබවාගෙන යථාර්ථය මතුවෙයි. රොමෑන්තික කලාවේ වෙසෙසින්ම යථාර්ථය අබිබවා කලාකරුවාගේ හැඟීම් ඔහුගේ ඕනෑ එපාකම් ඉස්මතු වෙයි. සේකර රොමෑන්තික කවියෙකි. තවත් විදියකට කිව්වොත් රොමෑන්තික කලාවකින් අපි යථාර්ථයට පිවිසෙන්නේ කලාකරුවාගේ අධ්‍යාත්මය හරහාය. කලාකරුවාගේ අධ්‍යාත්මය විසින් පැහැගැන්වුණු ලෝකය අපේ දෙනෙතට හසුවෙයි.’

 

මම මේක කිව්වේ මේකට එකඟ වෙන්න හෝ නැතිවෙන්න නෙමෙයි. අපිට දැන් යම් හැඳින්වීමක් තියෙනවා. මොකක්ද රොමෑන්තිකවාදය කියන්නේ කියලා ස්ථීර අදහසක් තියෙනවා. ලංකාවේ කිනම් කවි යුගයක් හරි ගැන කතා කරන්න ගියාම මූලිකම ගැටලූව තමයි ලංකාවේ කලාවේ විශේෂයෙන්ම කවියේ චින්තනය විද්‍යාත්මක නැහැ. චින්තනය විද්‍යාත්මක කරන්න ගියොත් හොඳටම බැනුම් අහන්න වෙනවා. ඒක කලාවට අකැපයි වගේ. පස්පව්වලින් එකක් තමයි කලාත්මක චින්තනය විද්‍යාත්මක කිරීම කියන්නේ. සුචරිත ගම්ලත් මහත්තයා බැනුම් අහපු හැටි මතක ඇති. මෙතන ගැටලූව තියෙන්නේ නිර්මාණ ශීලිභාවය නෙමෙයි. නිර්මාණශීලිත්වය එක්ක කිසි ගැටලූවක් දෘෂ්ටිවාදයට නැහැ. මම දන්න විදියට නිර්මාණශීලීම දේවල් සිදුවෙන්නේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල. ඉතින් නිර්මාණශීලීත්වය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ.

 

ලංකාවේ කවිය පිළිබඳව කතා කරන්න ගියාම කලාවේ තියෙන මූලික ප‍්‍රතිවිරෝධතාව තමයි ගම නගරය පිළිබඳව තිබෙන ප‍්‍රතිවිරෝධතාව. පරාක‍්‍රම කොඩිතුවක්කු, ලාල් හෑගොඩ, ආරියවංශ රණවීර සිට ජනක මහබෙල්ලනගේත් සමහර ඒවා, ලක්ශාන්ත අතුකෝරළත්, ප‍්‍රදීප් සාරංග වගේ අලූත් කවියෙක් ගත්තත් ඒ අයගේ අධිපති දෘෂ්ටිවාදය තියෙන්නේ, කවියෙක් වෙන්න නම් නගරය හරි නැහැ, ගම හොඳයි කියලා කියන්න ඕනෑ කියන එකයි. මේක කියන්න ඉතින් කවියෙක් ඕනෑද? කලාවේ චින්තනය කියන එක විද්‍යාත්මක නැහැ. තවමත් ඉන්නේ මිනිස්සු ඉන්න තැනමයි. ඉතාමත් කලාතුරකින් තමයි අපේ චින්තනය උඩුයටිකුරු කරන කවියක් හම්බවෙන්නේ. අපි ලෝකෙ ගැන හිතාගෙන ඉන්න විදිය හොල්ලන විදියේ කවියක් හම්බවෙන්නේ හරිම අහම්බෙන්.

 

පරාක‍්‍රම කොඩි තුවක්කුගේ ‘රශ්මි’ කවි පොත ගැන සුචරිත ගම්ලත් මෙහෙම කියනවා. ‘රශ්මි රචනා කර තිබෙන්නේ දුක් දොම්නසින් ආශා අභිලාෂයන් යනාදියෙන් සාපේක්ෂ සුවසොම්නසින් පිරි ජීවිත නිසරුය. කෙලෙස් තැවීම ම උතුම්ය යන බෞද්ධ දෘෂ්ටිවාදය නැගීම සඳහාය. එනම් මෙම කෘතිය සැබෑ ජීවිතය නිශේධනය කිරීම යෝජනා කරයි. කවර දුක් දොම්නස් පිරී ඇතද ජීවිතය සරුය. සදාහරිත වර්ණය. දුක් දොම්නස් පරිබාහිර කිරීමේ විභවියද සමාජ ජීවිතය තුළ රැුඳී පවතී. ක්ලේශයැ’යි කියනු ලබන ජීවිතයේ ඇතැම් අභිලාෂ නිසි නිවන මාර්ගයන්ගෙන් සන්තර්පණය කිරීමෙන්ම පරම සංතෘෂ්ටිය ජනනය වන්නේය. හේතු පරිහාර කිරීමෙන් පරිහාර කළයුතු ලෝභ ද්වේෂ මෝහාදී ඇතැම් ක්ලේශ ද පවතී. පන්ති සමාජයේ ජීවිතය මත පටලවන ලද අනේකවිධ හිංසන සහ ප‍්‍රචණ්ඩතා ඇත. ඒවායින් විමුක්ත කරගත් කල්හි ජීවිතය සුන්දර වන්නේය. අනාගත පරම්පරාවන් එසේ කොට එය පරිපූර්ණව ආස්වාදනය කෙරෙත්වා. මේ පැතුම් ප‍්‍රතික්ෂේප කොට ජීවිතය නිරර්ථකොට ඊනියා නිශ්ලේෂී මනෝමය සංතෘෂ්ටියක් දේශීය ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයකි. රශ්මි කෘතිය පිරී තිබෙන්නේ මේ දෘෂ්ටිවාදයේ නානා නයින් පලිප්පුලෑමෙනි. එහෙත් පරාක‍්‍රම කොඩිතුවක්කුහු ප‍්‍රතිභා සම්පන්න කවීන්ද්‍රයෙකි. යටගිය දවස ඔහු කළ ඇතැම් කාව්‍ය නිර්මාණ ඊට නිසැක නිදර්ශන වේ. මේ ප‍්‍රතිභාවේ නිෂ්ටාවශිෂ්ට රශ්මියෙන් පලවා හැරීමට කොඩිතුවක්කුගේ ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයෙන් සමත් වී නැත.’

 

මම හිතන්නේ ගම්ලත් ඉතාමත් සිත්ගන්නාසුලූ තැනක් ස්පර්ශ කරනවා. එක පැත්තකින් අර ගම ගැන කියන එක. අනික් පැත්තෙන් දුක ගැන කියන එක. ආරියවංශ රණවීර, ලාල් හෑගොඩ, රත්න ශ‍්‍රී විජේසිංහ ඒ අයගේ ගැඹුරුම දාර්ශනික පද්ධතිය තමයි බුද්ධාගම. ජනප‍්‍රියවාදී තැන නෙමෙයි. බුද්ධාගමේ තිබෙන දාර්ශනික හරය තමයි ඒ අයට කෙළවරේ කියන්න තිබෙන දේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ලෝකයේ නූතන කවිය කියන එක සැලකුවොත් ඒක බිහිවෙන්නේම ආගමික සත්තාවෙන් ගැලවෙන්න. ඒක ලිව්වාට ප‍්‍රශ්නයක් නැහැ. නමුත් මේ අයගේ දාර්ශනික මතවාදය පිළිබඳව කියද්දි කෙළවරේම තියෙන්නේ අනිත්‍යයයි කියන එක. ඒක ධම්ම පදයෙන් බලාගන්න පුළුවන්. කවියො මොකටද? මම ඒකයි කිව්වේ කවිය ලංකාවේ අලූත් නැහැ.

 

කවිය තවදුරටත් යථාර්ථවාදීද කියන ප‍්‍රශ්නෙට වඩා මේකෙන් කොහොමද මිනිස්සුන්ගේ ඇත්තටම ප‍්‍රතිවිරෝධතා අල්ලගන්නේ කියන එක අපි සෙවිය යුතුයි. කවිය කොහොමටත් නිර්මාණශීලියි. හැමවෙලේම යථාර්ථය කිය කිය ඉන්න බැහැ. ඒක ප‍්‍රශ්නයක් නැහැ. මූලික ගතිකය මොකක්ද කියන එකයි ගැටලූව. මම ඒකයි කිව්වේ මේක දෙකයි දෙකයි හතරයි කියනවා වගේ තත්ත්වයක් නෙමෙයි කියලා. මේකෙම අනිත් පැත්ත තමා ජාතිකවාදය කියන්නේ. මෑතකාලයේ ලංකාවේ වර්ධනය වුණු ජාතිවාදයට හොඳටම උල්පන්දන් දුන්නු පිරිපහදු කළ ජාතිකවාදයක් ලංකාවේ කවීන් අතර තිබෙනවා. මේකට ගුණදාස අමරසේකර තමා මුලින්ම අහුවෙන්නේ. සිරි ගුණසිංහගේ ‘ආලකමන්දාව’ කවි පොතට පරාක‍්‍රම කොඩිතුවක්කු පෙරවදනක් ලියනවා. ඒක දීර්ඝ පෙරවදනක්. ඒක පරෙස්සමෙන් කියවලා බැලූවොත් ඒකෙන් සිරි ගුණසිංහවත් ජාතිකවාදියෙක් කරනවා. භාෂා කේන්ද්‍රීය කරනවා. හදබස හරියට කියවෙනවාද කියලා බලනවා. ඒ ආකාරයෙන්ම නොවුණත් නන්දන වීරසිංහගේ ඉඳලා බොහෝ කවියෝ වෙනයම් ආකාරයකින් ඉතාම දැඩි ජාතිකවාදීන්. මේක විශාල දේශපාලන අගතියක්. ලංකාවේ කවියේ රොමෑන්තිකවාදය කියලා හඳුනාගන්නා කාරණා වෙන්නේ මේවා.

 

ආරියවංශ රණවීරයි, ලාල් හෑගොඩයි අතර ජනතාවාදය ගැන විවාදයක් ඇතිවුණා. ලාල් හෑගොඩ ජනතාවාදය කියන එකේ මූලික සංකල්පය දන්නේ නැතිව තමයි ඒක ලියලා තියෙන්නේ. එයා කියන ජනතාවාදය නෙමෙයි ලංකාවේ මෙතුවක් කල් විවාද අතර තිබුණ ජනතාවාදය. ඒක ලොකු පටලැවිල්ලක්. කවුරුත් මේක නිවැරදි කළේත් නැහැ. එයා ඇත්තටම කියන්න යන්නේ වෙන කාරණයක්. ජනතාවාදය කියන වචනයට ඉතිහාසයක් තියෙනවා. ඒකට නිර්ණායකයක් තියෙනවා, නිර්වචනයක් තියෙනවා. මම හිතන්නේ පිල් වශයෙන් බෙදිලා විශාල සංවාදයක් ඒ සම්බන්ධයෙන් ඇතිවුණා. නමුත් ජනතාවාදය කියන දේ සරලව අර්ථකථනය කර ගත්තේත් නැහැ. මම ඒකයි කිව්වේ ලංකාවේ කලාත්මක චින්තනය විද්‍යාත්මක නැහැ කියලා. විද්‍යාව කියලා කියන්නේ චින්තනය පිළිබඳව විද්‍යාත්මකව හදාරන එකට. එහෙම කවුරුත් හදාරන්නේ නැහැ. ආරියවංශ රණවීර යම් තරමකට හදාරනවා. එයා ඇරෙන්න මම දන්න කවියො කවුරුවත් ගැඹුරින් හදාරන්නේ නැහැ.

 

නූතන සිංහල කවීන්ගේ දෘෂ්ටිවාදී ආකෘතිය මූලික වශයෙන්ම කෘෂිමූලික ජීවන ප‍්‍රතිවිරෝධතා, ඊටත් වඩා පැහැදිලිව කිව්වොත් වාරිමූලික ප‍්‍රතිවිරෝධතා මත රැුඳිලා තියෙනවා. ඇත්තම කාරණය තමයි කොළඹ ඉන්න කිසිම කවියෙකුට අන්තර් සම්බන්ධයක් නැහැ. ලංකාවේ ජාතික ගැටලූව ගැන ලියන කවිවලින් මේ තත්ත්වය පැහැදිලි වෙනවා. ලක්ෂාන් මධුරංගගේ පොතේත් මේ වගේ කවි දෙකක් විතර තිබෙනවා. මට අනුව ඒවා අතිශයින්ම ව්‍යාජයි. ලංකාවේ ජාතික ප‍්‍රශ්නය ගැන අලූත් දෙයක් මේ කවිවල මතුවෙනවාද? දේශපාලනික කවිය කියන්නේ ඒකද? දෙමළ අම්මාගේ දුක මම දන්නවා කියලා අත උස්සලා කියනවා. මංජුල වෙඩිවර්ධන ඇතුළුව ලංකාවේ දෙමළ ජනතාවගේ දුක ගැන ලියන කවි අතිශයින්ම අදේශ පාලනිකයි. කවියො සහ කලාකාරයො අපි මේ ගතකරන පරිභෝජන ජීවිතය ගැනවත් විධිමත්ව ලියන්නේ නැහැ.

 

‘අතු ඉති ගැන සිතිවිලි’ කියලා විභවි සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ආරියවංශ රණවීරගේ ‘අතු ඉති’ කවි කෘතිය ගැන සංවාදයක් මුද්‍රණය කරලා තිබෙනවා. මෙහිදී රණවීරගෙන් කවියක් ගැන අහනවා. ‘චූල කවියාත් කවියෙක්’ කියන කවිය ගැන. එතකොට රණවීර එයාගේ අදහස දෙනවා.

 

‘මෙහි එන ‘චූල කවියාත් කවියෙක්’ කියන කවියට නිමිත්ත වෙන කාරණය ඇහුවොත් ඒක හිනායන කාරණයක් වෙන්න පුළුවන්. නමුත් මේ කවිය ලියන්න හේතුවුණ සිද්ධිය ඒකයි. ඔබ දන්නවා මම රජයේ රාජකාරියක් කරන කෙනෙක්. එක අවස්ථාවක ප‍්‍රධාන දේශපාලනඥයෙක් ඇහුවා ඇයි උඹ රාජ්‍ය නිලධාරියෙක් විදියට ඉන්න ගමන් කවි ලියනවා නම් අප ගැනත්, රජය ගැනත් කවි ලියන්නේ නැත්තේ කියලා. මම ඒකට ඉංග‍්‍රීසියෙන් උත්තර දුන්නා. I am only a minor poet මම චූල කවියෙක්.’

 

මම මේ විශ්ලේෂණය කරන්නේ රණවීර නෙමෙයි තත්ත්වය ගැන. ඇත්තටම රණවීර ඇයි චූල කවියට යන්නේ? මහාකවියට ගියොත් මොකද වෙන්නේ? මහා කවි ලිය ලියා අර අමාත්‍යාංශයේ ඉන්න බැහැනේ. ඉතින් හොඳම වැඬේ තමයි පිනිි බිංදුවක් ගැන හරි මොකක් හරි ගැන ලිය ලියා ඉන්න එක. සමාවෙන්න, රණවීර දේශපාලන කවියෙක් කියලා රණවීර කියන්නේත් නැහැ, වෙන කවුරුවත් කියන්නේත් නැහැ. එයාටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තියෙනවා. ඒ වගේ කවියො ඉන්න ඕනෑ. මම මේ නැවත නැවත මතක් කරන්නේ දෘෂ්ටිවාදය විසින් අපිව හසුරුවන විදිය පිළිබඳව.

 

මෙම සියලූම විවේචන අතරේ පසුගිය පරම්පරාවේ කවි ලියූ අය ගැන යම් සැලකිල්ලක් මට තියෙනවා. ඒ අය හැමෝම ගනුදෙනු කළේ ඔය කියන මහේක්‍ෂ සමාජයත් එක්ක. රණවීරගේ කවිවල අර්ථය පවා ගත්තොත් ඒවා චූල කවිම නෙමෙයි. මහේක්‍ෂ සමාජය ගැන යම් දර්ශනයක් ඉදිරිපත් කරනවා. නමුත් අද යුගයේ කවියො පිළිබඳව සාකච්ඡුා කළොත් වැඩිපුර තිබෙන්නේ ‘සෙල්ෆි’ කවි. තමන් ගැනම ලියනවා. ඉතාම නිර්මාණ ශීලියි. මම ඒ වාගේ අතිශය නිර්මාණශීලි කෙටි කවියක් කියන්නම්. මේක ලියලා තියෙන්නෙ නදී වාසල මුදලිආරච්චි විසින්.

 

‘එකම නදියට බැසිය නොහැකිය දෙවරක් – බුදුන් වහන්සේ, හෙරෙක්ලීටස්’

‘මම නදීමි’ කියලා යටින් ලියලා තියෙනවා.

 

නදීගෙ ‘පේ‍්‍රමය සමග ඩොක්සාවට එරෙහිව’ කියන කවි පොත බැලූවාම නදීට, නදී ගැන ප‍්‍රශ්නයක් තියෙනවා කියලා පෙනෙනවා. මධුරංග වික‍්‍රමරත්න, ප‍්‍රදීප් සාරංග, උදේනි සිරිමාන්න ඒ අය වයසින් තරුණ වුණාට ඒ අයිති වෙන්නේ පරණ යුගයට. මට හිතෙන්නේ අලූත් යුගයේ කවීන් කියන්නේ නදී වාසලමුදලිආරච්චි වගේ අය. මට අනුව ඇය ඉතාම නිර්මාණශීලී කිවිඳියක්. මම කියන්නේ අනාගත දෘෂ්ටිවාදය ගැන. නදී වගේ කිවිඳියක් කවි පොත අරගෙන සෙල්ෆි ගන්න එක තමයි කරන්නේ. ඇයට නිරන්තරවම තමන් ගැන කියැවීමක් තියෙනවා. නදී ආරියවංශ රණවීරට ප‍්‍රතිකවි ලියලා තියෙනවා. රණවීරට අමුතුම ප‍්‍රතිඋත්තර දීලා තියෙනවා. ඇය සම්භාව්‍ය සාහිත්‍යය කියවපු කෙනෙක්. ජනප‍්‍රියත්වය සහ සම්භාව්‍යත්වය අතර ඉර ඇය විසින් මකනවා. මම මේ කියන්න යන්නේ අපි කැමති වුණත් නැති වුණත් නදී තමයි අනාගත කවිය කියලායි. තමන්ව තිරේ දකින එක තමයි අනාගත කවිය කියන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ රොමෑන්තිකවාදය හෝ යථාර්ථවාදය පිළිබඳව කොහොම කතා කරන්නද කියලා මම දන්නේ නැහැ.

 

ලක්ෂාන් මධුරංගගෙ කවි පොතේ බොහෝ කවි සමාජ කවි. පුද්ගලයා සහ එළිය ලෝකය අතර ගැටුමක් මේ මුළු පොත පුරාවටම තියෙනවා. ඉතින් එවැනි කවියෙක්ගේ අනාගත පැවැත්ම සඳහා මීට වඩා හුඟක් මහන්සි වෙන්න වෙනවා. මේ කවි සමාජයට ඇහෙන්නේ නැහැ. මම අහන්නේ කවිය වාරිමූලික වුණේ ඇයි කියලායි. ලංකාවේ බොහෝ කවීන්ගේ තියෙන්නේ වාරිමූලික දෘෂ්ටිවාදයක්. අපේ ජීවිතේ මේකට කිසිම අන්තර් සම්බන්ධයක් නැහැ. අපේ ඇත්ත ජීවිත ඇත්තටම ළං වෙන්නේ සම් පූර්ණයෙන්ම කළු ආර්ථික මූල්‍ය ප‍්‍රාග්ධනයට. ඕවා පුළුවන්ද කවිවලින් ලියන්න කියලා කවුරුහරි අහනවා නම් මම කියන්නේ කවි ලියන්න එපා කියලා. මොකද ලෝකේ සංකීර්ණයි. සංකීර්ණ ලෝකේ ගැන කවි ලියනවා නම් ලෝකය පිළිබඳව සංකීර්ණව හදාරන්න ඕනෑ. කවිය කියන එකේ සැබෑ දේශපාලන භාවිතාව මොකක්ද කියන එක සොයද්දී මගේ සංයුක්ත උත්තරේ වෙන්නේ අද දවසේ අපේ චින්තන ප‍්‍රතිවිරෝධතා කියන එකයි. මේ අදහස බොහෝමයක් කවිවල නැහැ. අද බොහෝ කවි සිද්ධි වාචකයි. ලක්ෂාන්ගේ බොහෝ කවි සිද්ධි වාචකයි. සිද්ධි එක්ක ප‍්‍රතිචාරයක් තියෙන්නේ. මම නම් හිතනවා කවිය ඊට වඩා අතිශයින්ම දේශ පාලනික සහ දාර්ශනික විය යුතුයි කියලා.

 

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගේ 'වැඩියෙන්ම වැරදුණේ කවියන්ට' කවි පොත එළි දැක්වීමේදී බූපති දැක්වූ අදහස් රාවයෙන් උපුටා ගැනීමකි.

 

 

බදාගෙන අඬමු අපි,

අපිට කොහෙහරි වැරදුනා බං ...

 

"ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට

"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට

උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට

මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට ..

 

එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය

අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව

එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග

උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර ..

 

රස්සාව කෙරුවා ­ ඕටීත් කෙරුවා ­තව බ්‍රෝකර් වැඩත්

ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ­ ගත්ත කිරි කිරි මරුතියක්

පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා ­ පංති ඇරියා ­ ශිෂ්‍යත්තෙනං සමත්

පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත් ..

 

කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට

පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට

මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට

ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට ..

 

උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට

මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට ..

 

බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්

නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්

මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්

ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං ..

 

මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්

මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්

ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං

බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං ..

 

රෝහණ පොතුලියද්ද 

 

More Articles ...