21
Sat, Apr

අවසාන මොහොතෙදිත් 
ඔබේ තනියට තබා ගිය 
හෙරඩෝටස්ගෙ පොත පවා 
ඔබෙ සුමුදු දෑඟිලි 
එහි නොගැටෙන්න හේතුව 
මගෙන් නිතරෝම ඇහුවා.

ඔබ දුහුල් පොරෝණා මිලට ගත් 
කයිරෝවෙ උමංවල කඩ වීදි 
දැන් එහි නොඑන රහසක් 
තිබේදැයි හෙමින් ඇසුවා.

නිරුදක කතර කලතගෙන 
මවාගෙන නොයෙක් භූ රූප 
අපේ කූඩාරම් ලඟින් 
හමටාන් හුළං හමද්දී 
පෙර මෙන් ඔබේ සුසුවඳ 
මුසු නොවන්නේ ඇයිදැයි 
සාංකාවෙන් හෙව්වා.

ගිනි ගහන මහා අව්වේ 
ගුවන් යානය වැටුණාම 
පණ නැති යකඩ තහඩුත් 
ඔබට රිදුනැයි 
දොස් නඟාගෙන බියව 
රත් වෙච්ච වැල්ලේම ගිලුණා .

මම නැවත එනකොට 
හිස් අතින්, බෙහෙතුත් නැතුව,
ඔබම පිටපත් කළ 
සිතුවමැති ගුහා බිත්තිය,
ඔබේ අවසාන සුසුමත් 
දරා ගෙන හිටපු හැටි කිව්වා.

කාන්තාර අහසේ ඉහළ 
නිවෙන දැල්වෙන ඒ තරුව
දුර වුණත් නොනැවතී දිලුන 
ඔබම විය නොහැකිදැයි සොඳුර 
මට පවා නොයෙක් වර හිතුණා .

ඉසුරි කරුණාතිලක 

ආදරය විවිධ අයුරින් විග‍්‍රහ කළ හැකි ය. එය පියා සහ දුව, මව සහ පුතා, අයියා සහ නංගී, අක්කා සහ මල්ලී වශයෙන් විවිධාකාර වේ. එහෙත් අප වඩවාත් ආදරය යනුවෙන් හඳුන්වන්නේ ඇවැස්ස ඥාතීත්වයක් හැර එකිනෙකා හඳුනා ගන්නා ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂය අතර ඇති වන්නා වූ ආදරය යි. ඒ ආදරයේ අග‍්‍ර ඵලය ලිංගික සංතර්පනය යි. මේ අදහසට යමෙකු එකඟ නොවීමට පිලිවන. එහෙත් තිත්ත ඇත්ත එය යි.

ලිංගික ආශ්වාදය ඇති සෑම තැනකම ආදරය නොමැත. එහෙත් මා ඉහත සඳහන් කළ ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂය අතර ඇති වන්නා වූ ආදර සබඳතා සියල්ල තුළ ලිංගිකත්වය ඇත. යම් හෙයකින් කුහක සදාචාරවාදීන් මෙය ප‍්‍රතික්ෂේප කළ ද ඔවුන් ද ආදරයේ අවසාන ප‍්‍රතිඵලය විඳින්නේ ලිංගිකත්වය තුළිනි.

මා මේ වාක්‍ය කීපය ලිවීමට සිතුවේ මංජුල වෙඩිවර්ධන (වෙඩ්ඩා) ගේ ‘‘බත්තලංගුන්ඩුව’’ කෘතිය කියවීමෙනි. මෙම කෘතිය පුරාම දිග හැරී ඇත්තේ මිනිස් සංතානයන් තුළ තැන්පත් වී උතුරා යන විවිධ වූ ආශාවන්ගේ ප‍්‍රතිඵල වේ. කුඩා දූපතක් තුළ වෙසෙන මිනිසුන් කීප දෙනෙකුගෙන් වුව ද සමස්ත සමාජයම මුහුණ දෙන ගැටළුව ඉතා මැනවින් විග‍්‍රහ කිරීමට මංජුල සමත් වී ඇත.

මෙහි ආරම්භයේදී ම, මැර කමින් එසේත් නැත්නම් චන්ඩි කමින් තම ජීවිතය ජය ගන්නට උත්සාහ කරන්නාගේ ජීවිත පැවැත්ම ඉතා කෙටි කාලීන බව කියා පායි. කොටි හෝබාගේ මරණය තවත් එවැනි ම පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් කරන ලද්දකි. එකෙකු පරදා තවකෙකු නැගී සිටීමට උත්සාහ දරන මේ සමාජයේ එක් පැතිකඩක් ඉන් මැනවින් පැහැදිලි වේ.

නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගයන ‘‘කිරි දුන්නේ දරුවන්ටයි’’ ගීතයෙන් කියවෙන තමා මස් කඩයට විකුනූ ගවයාගේ මස් තමා ම අනුභව කරන බව ඔවුන් නොදන්නවා සේ ම තමන්ගේ අසූචි තමන් විසින් ම අනුභව කරන මිනිසුන් පිළිබඳව කදිම නිදර්ශනයක් මංජුල පෙන්වා දෙයි.

‘‘මුන්නක්කරේ, මීගමු කලපු ඉවුරේ හිමිදිරි පාන්දර ශරීර කෘත්‍ය කරනා ක‍්‍රිස්තු භක්තිකයින්ගේ (වෙරළේ මළ පහ කරන බෞද්ධයින් ද අප රටේ සිටින බව අමතක නොකරන්න.) නේක හැඩතල ගත් මළ, අධෝ මුඛයෙන් ගිලිහෙන සැනෙන් තලූ මර මර, භුක්ති විඳි ඌරු වර්ගයේ පරිසර හිතකාමී කසළ ශෝධන පැතලි කටවල් ද කඹවලින් වෙළුනි. පොල් පරාලයක් හෝ එබඳු දැඩි හරස් දණ්ඩක එකට බඳින ලද සිව්පයින් මුනින් අත එල්ලූ මුනීන්ද්‍රයා සැමරීමේ දිව බොජුන ඔංචිල්ලාවක් සේ පැද්දින. දිගු මන්නා අතැතිව පෙරට එන මංගල්ල වීරයෝ එක මන්නා පහරින් ඌරු තඩියන් මෝක්ෂ ගත කරති.’’

පිටුව 12

තම පල්ලියේ මංගල්‍ය සමරන දින අසරණ ඌරන් මරණයට කැප කිරීමෙන් මිනිසුන් බලාපොරොත්තු වන්නේ මෝක්ෂ ගත වීමද? මංජුල මෙම ප‍්‍රශ්නය නගන්නේ මේ සමස්ත සමාජයෙන් ම නොවේද?

මංජුලගේ සැබෑ ජීවිතයේ ම ඇති රැඩිකල් බව කියා පාන්නට ද ඔහු තම කෘතිය උපයෝගී කොට ගෙන ඇති ආකාරය ද ඉතාමත් ලගන්නා සුලු ය.

‘‘ප‍්‍රධාන ජැටි ද්වාරය අසළ රැකවල්ලා සිටින නාඹර සොල්දාදුවන් දෙදෙනාගෙන් අයෙකු සුරතින් අවියකට වාරුවී සිටිනා අතර අනෙකා තේජාන්විත දෑසින් හැඳුනුම්පත් පිරික්සයි.’’

මගේ වාරය එළඹෙයි.

‘‘කොහාටද?’’ ඔහු අසයි.

‘‘බත්තලංගුණ්ඩුවට’’

‘‘මොකටද?’’

‘‘චේන්ජ් එකකට’’

පිට 17

ධීවරයින්ගෙන් කප්පම් ගැනීමට පැමිණි පොලිස් කොස්තාපල්ට මුහුණ දෙන අන්දම ද මෙයට කදිම නිදර්ශනයකි. කතාවේ වෙනත් තැනෙක මෙම පොලිස් ස්ථානයේ උසස් නිළධාරියා ඇන්ටනීගෙන් උදව්වක් නොයිල්ලා ඉල්ලන්නේ ඇන්ටනී එදා එලෙස හැසිරීම සාධාරණීකරණය කරමින් ය.

තම මව මිය ගියේ පිළිකාවකින් බව කියා පෑමට ඇන්ටනී දරන උත්සාහය කෙතරම් සංවේදී ද?

‘‘මා කුඩා කළ කිරි උරා බිව් ළැම මඩලෙහි පිළිකා කාරක තිබූ බව දැන සිටියේ නම් නිසැකව ම මම ඒ සියල්ලම කුස තුළට ඇද ගනිමි. මට එසේ කළ හැකි වී නම් අම්මාට තවමත් දෛනික නුවානයට සහභාගී වීමට ඉඩ තිබිණ.’’

පිටුව 21

මව ජීවත් වී සිටියානම් කෙතරම් හොඳදැයි නොකියා මෙසේ පාඨකයා සංවේදී කිරීම සඳහා මංජුල තම කෘතියෙහි කීප තැනක ම උත්සාහ දරා ඇත. මව් සෙනෙහස පිළිබඳ හුදු බොළඳ වදන් භාවිතා නොකොට හදවතට ආමන්ත‍්‍රණය කරන්නේ කෙතරම් ශූර ලෙසද?

මංජුල තම කෘතියට ධනවාදී දේශපාලන ප‍්‍රවාහයද හසු කරගන්නේ ඉතා සූක්ෂම ආකාරයෙනි. අප රටේ ස්වාභාවික සම්පත් ඇමරිකන් ජාතිකයින් හට විකිනීමට මෙරට දේශපාලකයින් පිඹුරුපත් සැකසූ අන්දම අපට අමතක නොවේ. එහෙත් ඇන්ටනීට අනුව විල්පත්තු වනය මෙතෙක් කල් හෝ ආරක්ෂා වී ඇත්තේ උතුරේ සටන් වදිනා ගරිල්ලා සටන් ව්‍යාපාරය නිසාවෙනි. (ඔවුන්ට ද වනය අවැසි බව ද මෙහි දි සිහි තබාගත යුතු ය.) නැතිනම් සිංහරාජය මෙන් ම විල්පත්තු වනය ද ඇමරිකන් ජාතිකයින්ට විකුණා දමා හමාරය. (වර්තමානයේ සිංහරාජය හරහා මාර්ගයක් ඉදිකිරිම හේතුකොට ගෙන එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කොට ඇති බව ද සිහිපත් කළ යුතු ය.)

‘‘විල්පත්තු අභය භූමියට මෙතරම් සක‍්‍රීයව නිදහසේ වැවෙන්නට අභය දානය ලැබී ඇත්තේ විමුක්ති කොටි හමුදාව ලැගුම් ගෙන සිටින නිසා වෙන්නට පිළිවන. ඔවුන් සටන්කාමී වනවා මෙන්ම පරිසර හිතකාමී ද වන බවට විල්පත්තු වනය ම නිදසුනකි. මේ, සිංහරාජය පවා ඇමරිකාවට පුද දෙන සිංහයන්ගේ සමය යි.’’

පිටුව 32

මෙය නැවතත් අවධාරණය කළ යුතු වදනකි.

‘‘මේ සිංහරාජය පවා ඇමරිකාවට පුද දෙන සිංහයන්ගේ සමය යි.’’

තමන් කතා කරනා භාෂාව හෝ තමන් ගේ සංස්කෘතිය හේතු කොට ගෙන මිනිසුන් වර්ගවාදී වී ඇන කොටා ගන්නා සමාජයක භාෂාවකින් ජාතියක අනන්‍යතාවය තීරණය කළ නොහැකි බව මංජුල සමාජයට පැහැදිලි කිරීමට දරන උත්සාහය අගනේ ය.

‘‘මෙයා සිංහල වුණාට සිංහල කතා කරන්න බැහැ. දූපතේ හැමෝම කතා කරන්නෙ දෙමළ. මෙයා දූපතේමයි හැදුනෙ පොඩිකාලෙ ඉඳන්. ඒ හින්දා සිංහල දන්නෑ.’’

පිටුව 34

‘‘මා ඉදිරියෙහි බීඩියක් උරමින් ඈත අහසට දෑස යොමා සිටින කෙසඟ සංකීර්ණ සිංහලයා, සිංහලයා පිළිබඳ බොහෝ මිත්‍යාවන්ට සරල පිළිතුරක් වැන්න. භාහාව වූ කළී මනුෂ්‍ය හැඟුම් සමුදායන්ගේ අසම්පූර්ණ ප‍්‍රකාශනයක් බව මගේ හැඟීම යි. භෂාව තුළින් නිශ්චිතාර්ථ දිය නොහැකි බවත් දිය හැක්කේ සංකේතාර්ථ පමණක් බවත් මම අදහමි.’’

පිටුව 34

මෙවැනිම වූ අත්දැකීමක් නිතැතින් ම මතකයට නැගෙන්නේ ගුණසිරි ජයවර්ධන මහතා විසින් රචිත ‘‘සින්නදොරෙයිගේ පුංචි ලෝකය’’ කෘතිය යි. එහි සින්නදොරෙයි යනු කුඩා කළ පටන් දෙමළ යුවළක් ළඟ හැදී වැඩෙන සිංහල දරුවකු පිළිබඳව යි. එම දරුවා ද සිංහල වුවත් සිංහල කතා කිරීම අපහසු වන්නේ කුඩා කළ තමා හුරු වූ භාෂාව තමන්ගේ ම භෂාව වූ හෙයිනි.

මේ අදහස ඇන්ටනීගේ ද? නැත්නම් මංජුලගේ ද? ඇන්ටනී නම් තරුණයා නියෝජනය කරන්නේ මංජුලම නොවේදැයි මට සිතෙන වාර අනන්ත ය.

අප රටේ මේ පොලිස් නිළධාරින් ගෞරවය බලෙන් ලබාගන්නට උත්සාහ කරන පිරිසකි (මෙය පොලිසියට පමණක් සීමා වී නොමැත.) බත්තලංගුණ්ඩුවෙ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරින් ද එවැනි ම පිරිසක් බව මංජුල අපට පසක් කර දෙන්නේ ඇන්ටනී බත්තලංගුණ්ඩුවට ගොඩබට මොහොතේ දී ම ය.

‘‘සාජන් වරයාගේ දත් අතරින් රූරා ගලා හැලෙන ම්ලේච්ඡ සිනාව උඩු රැවුලේ වැදී නතර වී තිබේ. ඇය සැලැයුට් කිරීමට අමතක වූ පහල නිළධාරියකු සේ සාජන් වරයාට කෙටි එහෙත් කුළුපග අත වැනීමක් සිදු කරද්දී ඔහු ද අතවනා ප‍්‍රතිචාර දක්වයි.’’

‘‘ඒ ගොල්ලොත් එක්ක එහෙම ඉන්න ඕන නැත්තං ඇඟට අගුණයි.’’

පිටුව 41

මේ බත්තලං ගුණ්ඩුවේ ජනයා පොලීසියට ඇති භය පක්ෂපාත බව කියාපාන කදිම නිදසුනකි. මේ ක‍්‍රියාදාමය බත්තලංගුන්ඩුවට පමණක් නොව උතුරු නැගෙනහිර ද ඇතුළු අනෙක් ප‍්‍රදේශ සියල්ලට ම පොදු ලක්ෂණයක් නොවන්නේද?

ඇන්ටනිගේ පියා, ඇඩ්ඩිං මුදලාලි ඇන්ටනීමෙන් පොතපතේ දැනුම නොලැබුවද තමන් ජීවිතයෙන් ලබාගත් දැනුම ඉදිරියේ ඇන්ටනිගේ දාර්ශනික මතවාද පවා පරාජයට ලක්වන්නේ ඔහු නොසිතූ ලෙසට ය.

‘‘උඹ ඇත්තටම ආවෙ මොනවටද?’’

‘‘ නිකං බලලා යන්න’’

‘‘නිකං වෙන්න බෑ, මිනිස්සු කතාකරල වචනවලින් ඇත්ත මවන්න හදනවා. ඒත් ඇත්ත තියෙන්නෙ වචන වලට ටිකක් එහායින්. උඹ මොනා කිව්වත් මම දන්නවා උඹ ආවෙ මාව බලලම යන්න නෙමයි කියල.’’

‘‘ සමහරු හිතනවා මුහුද කියන්නෙ වතුර ගොඩකට කියල නමුත් ඒ ගොල්ල දැන ගන්නවා මූද කියන්නෙ ඇස්දෙකට පේන දේට වඩා ගැඹුරු තැනක් කියල. ඒ අය පස්සෙ කියන්න ගන්නවා මූද කියන්නෙ ගැඹුරු තැනක් කියල. ඒත් ඇත්ත මූද ඒ ගොල්ල හිතන ගැඹුරට වඩා ගැඹුරු තැනක්.

පිටුව 51
පොතින් පතින් දැනුමක් නොලත් ඇඩ්ඩිං මුදලාලි නොහොත් ඇන්ටනිගේ පියා කොතරම් ගැඹුරු දාර්ශනිකයෙක් ද යන්න පාථකයා හට ඒත්තු ගැන්වීමට මංජුල දරන උත්සාහය උත්කර්ශනීය නොවන්නේද?

ඇන්ටනී හට බත්තලංගුන්ඩුවේදී මුණ ගැසෙන අපූරු මිනිසා නම් සින්බෑඞ් ය. මේ චරිතයද ශාස්ත‍්‍රාලීය අධ්‍යයනය බිඳකුඳු නොලැබ තිබුණ ද ඔහු වරින් වර මතු කරන්නාවූ අදහස්, තර්ක විතර්ක හමුවේ ඇන්ටනීට වුව ද පසුබැසීමට සිදුවෙන වාර අනන්ත ය.

තමාගේ බිරිඳ ඇගේම නොසැලකිලිමත්කම හේතුවෙන් අකාලයේ මරු වැළඳ ගැනීමෙන් පසු සින්බෑඞ් ගැහැනුන් කෙරේ දක්වන්නේ ඉතාමත් වෛරී සහගත ආකල්පයකි.

‘‘ගෑනි කියන්නෙ මිනිහගෙන් හොරකම් කරපු ඉළ ඇටයක්. හොර වැඩේ කළේ දෙයියන්නාන්සෙ. ඒක ප්‍රස්නයක් නෑ. මොකද උන්නාන්සෙමයි මිනිහව මැව්වෙ. ඒ හින්ද අයිතියක් තියනව කියල හිත හදා ගන්නැති. ඒත් ගෑනි මුළු ජීවිත කාලෙම මිනිහ වටේ කැරකි කැරකි මිනිහගෙ හැම ඇටයක්ම හොරකං කරනවා. ඒකට මං විරුද්ධ යි.’’

පිටුව 58

‘‘මහත්තය, අනුන්ට රිද්දන් නැතුව තමන්ට රිද්ද ගන්න එක කොයිරම් සුන්දරද? ඒක ජේසුවරයගෙනුත් ලක්සනයක්.’’

පිටුව 167
‘‘මිනිස්සු සල්ලි දීල ඉටිපන්දම් අරන් පත්තු කරන්නෙ මොකටද? ඉටිපන්දමේ වියදම වගේ ලක්ස, ලක්ස ගුණයක් බලාපොරොත්තුවෙන්. ඒක ඒ මින්ස්සු දන්නෙ නෑ. දන්නෑ නෙවෙයි, තේරුම් යන්නෑ. ඇන්ටන් මහත්තය හිතනවද මිනිස්සු ඉටිපන්දමක් පත්තුකරන්නෙ සුරුවම එළිය කරන්න කියල. උං ඒක පත්තුකරල හිතන්නෙ තමන්ගෙ ජීවිතේ එළිය වෙන්න කියල.’’

පිටුව 175

අසූ හාර දහසේ පහන් පිංකම් පවත්වමින් මිනිසුන් බලාපොරොත්තු වන්නේ සින්බෑඩ් පෙන්වා දෙන යථාර්ථය නොවන්නේ ද? මිනිසුන් තමන්ගේ අඳුර ආලෝක කිරීම වෙනුවෙන් පහනේ ආලෝකය ප‍්‍රයෝජනට නොගන්නේද?

මෙම නව කතාවේ විශේෂිත ම චරිතය වන අනාමරියා හෙදි යුවතියකි. බත්තලංගුණ්ඩුවට එන ගමනේදි අහම්බෙන් මෙන් ඇන්ටනිට මුණ ගැසෙන ඇය ඇන්ටනීගේ ආරාධනයක් නොමැතිව තම ආදරය, ලිංගිකත්වය ඇන්ටනී වෙත පුදකරන්නේ ඇන්ටනී තමන්ගේ ම කර නොගැනීමේ ශුද්ධ චේතනාවෙනි.

ගැහැණියක් සමග යහන් ගතවීම වෙනුවෙන් තම ජීවිත කාලයම ඇය වෙනුවෙන් පමණක් ම කැපකළ යුතු යයි සිතන ගැහැණුන් සිටින සමාජයක ඇය අපට දෙන පණිවිඩය ස්ත‍්‍රි වර්ගයට කොතරම් දුරට බලපාන්නේ ද යන්න සිතා බැලිය යුතු ය. නූතන සදාචාරවාදීන් ලෝකයට හොරෙන් ගැහැණුන් සමග යහන් ගතවෙද්දී ආනමරියා එවන් අයට අතුල් පහරක් එල්ල කරන ඇයුරු ද මනා ලෙස විග‍්‍රහ කිරීමට මංජුල සමත්වී ඇත.

ඇන්ටනි ආනමරියා සොයා යන පළමු රැයේදි ම ඇය කිසිදු ලෝබකමකින් තොරව තම ශරීරය ඇන්ටනි වෙත පුදකරන්නේ කළින් සඳහන් කළ ආදරයේ උපරිම ඵලය තම පෙම්වතාට ලබා දී තමාත් එම සතුට ලබාගැනීමේ අරමුණින් නොවන්නේද? මේ කුහක සමාජය ඇය වෙත වපර ඇසින් බැලූව ද ඇය තම ප්‍රේමවන්තයාට ආදරයේ අග‍්‍රඵලය ලබාදීමට උත්සුක වන්නේ සමාජ තහංචි තඹ දොයිතුවකට මායිම් නොකරමිනි.

මංජුල ලිංගිකාස්වාදයේ ආරම්භයේ සිට උත්කර්ශය දක්වා සංඛේතාත්මකව කෙරෙන අපූරු උපමා රූපකයන් යොදාගෙන ඇත.

‘‘මම ඇගේ දෙවුර මිරිකා සීරුවෙන් ඇය නැගටුවාලමින් බංකුවෙන් මිදෙමි. මගේ උරහිස මත හිස සඟවා ගන්නී. සීතල දොතොල් ගෙලමත මුද්‍රා තබයි. මම ඈ සවන් අතරින් දෑත් රිංගුවා ගෙල කෙළින් කොට දෑස් අතරේ කිමිදෙමි. ඈ දෙතොල් සීතල මගේ ප‍්‍රශ්වාස වාතයෙන් උණුසුම්ව යයි.

මහා සුළඟක් හැමුවා සේ වල්සූරියා ගස සතර අතේ පැද්දෙයි. මහලූ පත් එකිනෙක සළමින් අලුත් දළු පළඳවා ගති.

තැරකා ඇසිපිය සලා විශ්වයේ සැඟවී යළිත් ඇස්පාදයි.

කළපුවේ වඩ දිය නැගී වෙරළට රළ ගසයි. වඩ දියත් සමග ම වෙරළ ඉම නොගැඹුරු කලපු ජලයේ හඬ නගාගෙන, නම නොදන්නා මසුන් ඉල්පෙයි. මොහොතින් මොහොත වේගය තීව‍්‍ර කරනා කළපු රළ වෙරළ පෙණ කැටිති ඉහිරුවා සන්සුන්ව ආපසු ඇදීයයි.’’

පිටුව 86

සිනමා පටයකදී පෙම්වතුන් පේ‍්‍රමාලිංගනයේ යෙදෙන අවස්ථාවක දී වැඩි දෙනෙක් යොදාගත් සංඛේතාත්මක රූප පෙළ වූයේ මලකින් රොන් උරනා බඹරෙකු හෝ සමනලයෙකි. එහෙත් මංජුල මවනා සංකල්ප රූප පෙළ පාථකයා තුළ ඉමහත් ආශ්වාදයක් නොනගන්නේද?

එතෙකින් නොනවතින මංජුල ,සියලූ සත්වයින් හට පොදු අවශ්‍යතාවයක් වූ ලිංගිකාස්වාදය අවසන් වූ පසු ඔවුනොවුන්ගේ සාමාන්‍ය හැසිරීම උද්දීපනය කරන්නාවූ ආකාරය කදිමට කියාපාන අයුරු කෘතියේ තවත් තැනක සඳහන් වන්නේ බටහිර සිනමා පටයක රූපරාමු පෙළක් මෙනි.

‘‘විවර කළ ජනෙල් කවුළු දොරින් හොස හොස ගා හැල්මේ දිව එන සුළඟ, දාඩිය ඇඟේ එල්ලී, ඇතිල්ලෙයි. නිවන් ගියාවැනි හැඟීමක් රැල් බුරුල් හැරී හිතේ එල්ලී, ඇතිල්ලෙයි.

‘‘මේක ඇරගෙනම ඉන්නයි තිබ්බෙ’’ මම, ඇඳවිට්ටමට කොට්ටය හේත්තුකොට එහිපිට තබා පය ගස්ස ගස්සා එහි හිරි අරිමි.

ආනමරියා තුනට හතරට නැවී නිකරයේ කකුල් විවරයන් තුළට දෙපා තුඩු ඔබා සිටින්නී,

‘‘ හොඳට හිටී’’ යි කියමින් ම එය කකුල්දෙක ඔස්සේ ඉහළට අදී. නිකරය ඉහළට උස්සා නිතඹ ගස්ස ගස්සා නිසි පරිදි හරිගස්සා සායේ රැළි සලයි.’’

පිටුව 148
ආනමරියාගේ චරිතයට අවසාන මොහොතේ, මංජුල විසින් අසාධාරණයක් කර ඇතයි යන්න මගේ විශ්වාසයයි. මා එසේ පවසන්නේ අද සමාජය තුළ කාන්තාවකට රැකියාවක් ලබා ගැනීමට හෝ රැකියාව ස්ථීර කරගැනීමට පුරුෂයන් සමඟ නිදිවදින්නට සිදුවී ඇත. එහෙත් ආන මරියාට එසේ කළයුතුද?

සමහර විට මා වැරදි වන්නට පිළිවන. ඒ මන්ද යත් ආනමරියාට පමණක් නොව මුළු දූපතේම වැසියන්ට, ඇන්ටනී සිදාදියේ හැදී වැඩී, දැන උගත්කම් ඇති මහත්මයෙකි. ඔහුට කළ නොහැකි දෙයක් නැතිවිය හැකිය යන සිතුවිල්ල ආනමරියා තුළ මුල්බැස ගත්තේ ද යන්න පාඨකයා විසින් නිගමනය කළයුතු බව මංජුල කියන්නේ ද? ඇන්ටනී නම් වූ මහත්මයා ද බොරු පොරොන්දු දෙමින් ජනතාව මුලාකරන මජර දේශපාලඥයෙකු ගේ ගනයට ඇද දමන්නේ සිතා මතා ද යන්න මට ප‍්‍රහේලිකාවකි.

මෙහි ඇතැම් චරිත හැඩ ගැස්වීමේ දී මංජුල කෙටිකතා ශෛලියක් උපයෝගි කරගෙන ඇත්දෝයි සමහරවිට සිතේ. ඒ ඒ චරිත නිරූපණ අවස්ථා අවසන් වන විට පාඨකයාට හිතාමතා තීරණ ගැනීමට හිස් අවකාශයක් වෙන්කර ඇති බැවිනි.

ලිලී නෝනාගේ චරිත විවරණය අවසානයේ දී මංජුල පාඨකයාට යමක් සිතන්නට ඉතිරි කොට ඇත. ලිලී නෝනා තම සැමියාට එදා මෙන් ම වෙන්වී සිටිය ද අදත් ආදරය කරන බවත් දැනුදු ඇය ඇප කැප වී සිටින්නේ තම සැමියා වෙනුවෙන් බවත් කියා පෑමට මංජුල තම පරිකල්පනය මෙහෙය වන්නේ ඉතා විශිෂ්ඨ ලෙසිනි.

ලිලී නෝනාගේ ස්වාමියා වෙනත් කාන්තාවක හා ඇති කරගත් සම්බන්ධය හේතුකොට ගෙන කුපිතවූ ඇය සිය සැමියාට කුමන හෝ දඬුවමක් දී ඇතිබව මංජුල කියාපාන්නේ මෙලෙසිනි.

‘‘ දරුවෝ තනියෙන් එළියට බහිද්දී මං තනිකරම වික්ටර් ගැන හිතන්න පටන් ගත්තා. ආයෙ මයෙ පැත්තට නම්ම ගන්න බැරි ගානට මිනිහා දුරක් ගෙහුං. මං ඉරිසියාවෙ පැලූණා. පොළවෙ පස් කෑවා. කකුල් දෙක ගාව වැඳ වැටුණා. වික්ටර් මාව පයින් තල්ලූ කරලා එළියට බැස්ස. මං එදා පොළොවෙ අත ගහල ජේසු ස්වාමි දරුවන්ගෙ නාමෙන් දිවුරුවා.....’’

‘‘ඒක තමයි අන්තිමට සිද්ධ වුණේ ’’

පිටුව 134

ඉන් ඔබ්බට වුයේ කුමක්ද යන්න පාඨකයා විසින් නිගමනය කළ යුතු අතර වර්තමාන තත්ත්වය හා සසඳා පාඨකයාගේ උභතෝකෝටිකය තරමක් ලිහිල් කොට ඇත.

‘‘වික්ටර්ට මොකද වුණේ’’

‘‘වික්ටර් තාම ඉන්නවා’’

‘‘කොහේද?’’ මගේ හදිසිය ප‍්‍රශ්නයක් බවට පෙරළයි.

‘‘ගෙදර, අපේ ගෙදර, හැබැයි ඇඳේ, එදා හිට ඇඳේ.’’

‘‘මොකක්ද එයාට කළේ’’

‘‘වඳින්නම් මහත්තයෝ වෙන ඕන එකක් අහන්න ඒක නැතුව.’’

‘‘දැන් කවුද එයාව බලාගන්නෙ’’

‘අර අම්මන්ඩි, වික්ටර් පැටලිලා හිටපු කටු අත්ත. ජේසු ස්වාමි දරුවන් පා මහත්තයෝ ඒකි හොඳ එකී. ඒකි වික්ටර් බලා ගන්නවා. මං තඹ සතේට වියදම්කරනවා. මං මේ දූපතේ හම්බු කරන සේසතම වියදම් කරන්නේ වික්ටර්ට. මහත්තයා, මං දන්නවා ඌ මැරෙන්නෙ කවද හරි මං මැරිල ඉවර උනාම. මගේ දැතෙ හයිය තියෙනකම් මගේ මිනිහට කරනවා. ඌට විතරක් නෙවෙයි මුළු ගෙදට්ටම, ඒකයි මගේ අදිස්ටානෙ, මම හැමදාම උදේට කරන්නෙ වික්ටර් වෙනුවෙන් යාච්ඥා කරන එක. වික්ටර් කාලයක් මට හුඟක් ආදරය කළා. මං මැරෙනකං ඒ ණය ගෙවනවා.

පිටුව 137

අප සමාජයේ දෙමාපියන්, දරුවන්ගේ කල වයස පිරුණුවිට ඔවුන්ට විවාහ කටයුතූ කර දීමට උනන්දුවක් දක්වන්නේ ඔවුන්ගේ ලිංගික උවමනාවන් සපයා දීමේ අරමුණෙන් බව නොරහසකි. එහෙත් තාවකාලික ලිංගික තෘප්තියකට තම දරුවන්ට උදව් කිරීමට පියා හෝ මව විසින් පෙළඹේද? එවැන්නෙක් සිටී නම් ඔහු/ඇය මහා නොසන්ඩාලයෙකු යයි යමකු පැවසීමට ඉඩ තිබේ. එහෙත් ඇන්ටනිගේ පියා?

‘‘තාත්තා උළුවස්සට බාහුවකින් බර වී බීඩියක් උරයි. වාඩියේ ඇතුළු ගැබ නිශ්ශබ්ද ය. මම සිල්පර කොටයට බර දී මාළු පෙට්ටි මත පිට දී සිගරට්ටුවක් දල්වා ගතිමි. සින්බෑඩ්, ‘‘චොක් චොක්’’ හඬින් මාළු කට්ටක් සූප්පු කරයි.

‘‘අර නර්ස් නෝනගෙ වාඩියට යන හැටි මට මතක නෑ’’ මම සින්බෑඩ් ගෙන් විමසයි.

පිළිතුරු දෙන්නේ තාත්තා ය. ඔහු මෝසස්ට මෙන් මට මඟ සළකුණු පෙන්වයි. වාඩිය තුළට යන තාත්තා කෑලි හතරේ විදුලි පන්දමක් අතින් ගෙන යළි පිටතට පිවිසේ. ඔහු එය මා අසල සිල්පර කොටය මත සිටුවා තබයි.’’

පිටුව 80

මේ සිදුවන්නේ කුමක්ද? පුතාගේ අවශ්‍යතාවය හඳුනාගත් පියා එය සඳහා තමාගේ අණුමැතිය, අනුග‍්‍රහය ලබාදීම නොවේද? මෙවැනි පියවරුන් ඇත්තනම් කොතරම් අගනේද? තමන් තරුණ අවදියේ අත්විඳි රසය තම දරුවා වෙත ලැබෙන විට අකුල් නොහෙලීම හොඳ පියෙකුගේ උදාර ගතිගුණයක් නොවන්නේද?

අප සමාජයේ සිටින අවංක පොලිස් නිළධාරීන් අතර, අල්ලස් ගන්නා, දූෂණ වංචා කරන පොලිස් නිළධාරීන් කොතෙකුත් සිටී ද? එහෙව් රටේ, නූගත්කමින් පිරුණු අසරණ මිනිසුන් ඉදිරියේ චණඩි වන පොලිස් නිළධාරින් වුවද යමක් කළහැකි අය ඉදිරියේ පරාද වන බව මංජුල අර්ථ ගන්වන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයෙන් ද ලබාගත් අත්දැකීම් අනුව දැයි සිතේ.

පොලිස් කොස්තාපල්වරයෙකු ධීවරයින්ගෙන් මාළු ඉල්ලා සිටින්නේ පොලීසියේ ලොකු මහත්තයාගේ අණ කිරීමකට අනුව බව එම කොස්තාපල්වරයා අඟවයි. ඕ.අයි.සී මහතාට අවනත නොවූ පුද්ගලයෙකු හට කුමක් හෝ පළිගැනීමක් කර ඇති බව ද ඉඟි කරයි.

‘‘තොපි ඕ.අයි.සී මහත්තය ඔරොප්පු කරගන්න එපා. දන්නවනෙ මහත්තයගෙ සයිස් එක. සොබා දැඟලූවා මොකද වුණේ .......?’’

පිටුව 94

මේ අවස්ථාවේ එයට මැදිහත්වන ඇන්ටනී ද තමන්ගේ රැඩිකල් ස්වරූපය ඉස්මතු කරයි.

‘‘කප්පං ඉල්ලනවද ?’’ මගේ මැදිහත් වීමෙන් පොලිස් භටයා තරමක් තිගැස්සෙයි. මා දූපතට ආගන්තුකයෙකු බව වැටහී ගිය ද මා කාගේ කවුද , කුමක් කරන්නෙක්ද, කුමක් සඳහා පැමිණියෙක් ද යන්න නොදන්නා බැවින් ඔහු සසලව යයි.

‘‘කප්පංවලට නීතිය කෙරෙන හැටි දන්නවනෙ. පොලිසියෙනෙ. උගන්වල ඇතිනේ.’’

‘‘චන්ඩියෙක් බැහැල ද?’’ ඔහු ගාම්භීර වේශයක් මවා ගැනීමට වෙර දරයි. ඇතිවූ ලැජ්ජාව යටපත් කරගැනකීමේ අසීරු ප‍්‍රයත්නයක යෙදෙයි .’’

‘‘චන්ඩියෙක් තමයි’’ මම නොපැකිළ පවසමි. හැබැයි අහිංසකයින්ගෙන් කප්පන් ගන්නෑ.’’
‘‘රාළහාමි ගිහින් ඕ.අයි.සී මහත්තයට කියනව මීට පස්සෙ දූපතේ කිසිකෙනෙක් එයාට මාළු එවන්නෑ කියලා.’’

නන්නාදුනන ධීවරයෝ හිසනවා ගෞරව පූර්වකව මදහස නගති. පොලිස් කප්පං කරුවා අඩිපාරක් දිගේ ගොස් නොපෙනී යයි.’’

පිටුව 94

පෙර සඳහන් කළ පරිදි මංජුල ඇතැම් අවස්ථාවල දී අනුගමනය කර ඇති කෙටිකතා ශෛලිය පරිච්ඡේද කීපයකට යොදාගෙන ඇත. මේ පිළිබඳ පාඨකයා දැනුවත්වීම ඉතා අගනේ යයි සිතමි.

බීමත්කම හේතුවෙන් තම පියා මිය ගිය, එවැනිම වූ තවත් බේබද්දකු සමඟ දීග කෑ සිංහල කාන්තාවකගේ දියණියක් තම බාප්පාගේ අතවර වලින් මිදීම සඳහා දෙමළ තරුණයෙකු සමඟ පැමිණ දරුවන් එකොලොස් දෙනෙකු බිහිකර අවුරුදු විස්සක් එකට ජීවත්වී තම වැඩිමහල් දියණියන් දෙදෙනා දීග ගිය පසු ද එම කාන්තාව තමා හැරගිය බව විස්තර කරන පුද්ගලයා තමන්ගේ දුක කියාපාන ආකාරයයි.

ඩිඩාකස්ගේ චරිතය කියාපාන දෙවන කොටසේ හත්වන පරිච්ඡෙදය ද කෙටි කතාවක ස්වරූපය මැනවින් චිත‍්‍රනය කරයි.

තම බෝට්ටුවේ තෙල් අවසන්වී ඒ මේ අත පාවෙමින් තිබියදී ත‍්‍රස්තවාදීන්ගේ බෝට්ටුවක් යයි සැක සිතී නාවික හමුදාව විසින් මිලේච්ඡ ප‍්‍රහාරයකට ලක්කිරීමේ හේතුවෙන් තම පාද දෙකේම පහළ කොටස් ඉවත් කිරිමට සිදු වූ අසරණ ධීවරයෙකුගේ දුක් අඳෝනා එම පරිච්ඡේදයෙන් විස්තර කරයි. තමාගේ දුක්බර අඳෝනාව හෙළි කිරීමේ දී ඩිඩාකස්ගේ වචන පාඨකයාගේ ද හදවත සිදුරු කරන්නාක් මෙන් දැනෙයි.

‘‘මේ ඔරුව මගේ ජීවිතය වගේ. ඉතිහාසයක් නෑ. තියෙන්නේ ඇට සැකිල්ලක් වගේ වර්තමානයක් විතරයි. අනාගතය ගැන කවුරුත් දන්නේ නෑ. අඩුගානෙ මංවත්. මේ ඔරුව ගැන ඇත්ත දන්නෙ මහ මුහුද. මහ මුහුදට කතා කරන්න බෑ. ඒ හින්ද ඒ ගැන අහල වැඩක් නෑ.’’

‘‘මිනිසුන්ට විවිධාකාර යුග තියෙනවා. විවිධ වැඩවලට වෙන් වෙච්ච. මේක මගේ කාරලි යුගේ.’’

‘‘කාරල්ලන්ගෙයි මගෙයි වෙනස මං ඇස්පිහාටු ගහන එක විතරයි. ඌත් පැතලියි . මාත් පැතලියි. ඌත් වේලෙනවා. මාත් වේලෙනවා. ඌට සංතෝෂ වෙන්න පුලූවන් තව එක වෙනසක් තියනව. කියන්න පුළුවන්ද මොකක්ද කියලා.’’

‘‘ඌ වේලන්නෙ මැරිල. මං ජීවත් වෙවී වේලෙනවා.’’

පිටුව 161

දෙවන කොටසේ පස්වන පරිච්ඡේදය ද සුන්දර කෙටි කතාවක ස්වරූපය උසුලයි. ලිංගික කුහක කමින් මිරිකී සිටින සමාජයක වයසින් මුහුකුරා ගිය ද එකිනෙකා තේරුම් ගත් ආදරණීය බැඳීමකින් හෝ ලිංගික බැඳීමකින් වෙලී සිටින පබිලිස් සහ වයලට්ගේ කතාන්දරය මේ කුහක සමාජය වෙත තදබල අතුල් පහරක් එල්ල කරයි.

මාටින්ගේ බිරිඳ වන වයලට් දැනට ජීවත් වෙන්නේ පබිලිස් සමඟයි. වයලට්ගේ මුනුබුරා ද සිටින්නේ ඔවුන් සමඟ ය. ඒ මුනුබුරා හට ඇපල් ගෙඩියක් දී පබිලිස් සමඟ ද කතා බස් කර නික්ම යන මාටින් ගැන ඇන්ටනී ද පුදුමයට පත් වේ. එහෙත් එය සත්‍ය ම වේ.

‘‘මාර්ටින් වයලට් අක්කත් එක්ක කතා කරනවද?’’

‘‘දුන්නොත් කයි. උයාගෙන’’

පිට 56

මෙම දෙබස පාඨකයා අතරමං කරන තරමට සංකීර්ණ වේ. මාර්ටින් වයලට් ට වෛර කරනවාද, නැතිනම් ඕනෑම මොහොතක වයලට් හා එකතු වීමට කැමතිද යන්න ප‍්‍රශ්නාර්ථයකි.

‘‘පබිලිස් එක්ක කතා කරන්නේ ?’’
‘‘මම ඌට මොනව කරලද ? ඒක හිත දන්නවා. ඒකයි ඌ උගෙ ගෑනි බලාගන්න මට දීල අත්දෙක පිහද ගෙන. මට යන්නං කියන්නෙත්. නැතුව ඌ යන්නෙ කොහොමද මහත්තයා.’’

පිට 156
තමන් පෙම්කළ යුවතිය වෙනකෙකු හා කතා බස් කිරීම ද පෙම්වතියට පිහියෙන් ඇනීමට තරම් සාහාසික වූ සමාජයක තමාගෙන් නීත්‍යානුකූලව වෙන්වූ බිරිඳ තවත් විවාහයකට එළඹි පසු ඇයගේ නීත්‍යානුකූල සැමියා ඝාතනය කිරීම සඳහා කොන්ත‍්‍රාත් දෙන සමාජයක, මාටින්, වයලට්, පබිලිස්, කොතරම් ආදර්ශමත් ද? විඳවමින් ජීවත් වීමට නොහැකි තැන අත හැර ජීවිතය විඳීම සඳහා වෙනත් තැනකට යාම මහා පාප කර්මයක්ද? මේ පැනයට කදිම පිලිතුරක්, මාටින් ,පබිලිස්, වයලට් ත‍්‍රිකෝණය අපට සපයා නැද්ද?

බත්තලංගුන්ඩුවේ දී ඇන්ටනීට තිබූ ලිංගික නිදහස වෙනත් පුද්ගලයන්ට නොතිබුණි. පිටස්තරයන්ගෙන් ලිංගික නිදහස භුක්ති විඳිමට අවසර ලැබුණේ ඇන්ටනී ට පමණක්ම ය. ඒ බත්තලංගුණ්ඩුවේ වැසියන් ද ලිංගික කුහතත්වයෙන් පිරී සිටිම හා ඇන්ටනී ඇඩ්ඩිං මුදලාලිගේ පුත‍්‍රයා වන හේතු දෙකම බලපාන්නට ඇත.

මෙහි එක් පර්ච්ඡේදයක පොලිස් නිළධාරියෙක් (නෝමන්) කල් යල් බලා සමහර වාඩිවලට රිංගා එම කාන්තාවන් සමඟ ලිංගික සබඳතා පවත්වයි. මේ පොලිස් නිළධාරියා විසින් ගොදුරු කරගනු ලබන්නේ නෝංජල් පුද්ගලයකුගේ හෝ ඔහුට ආන්බාන් කරගත හැකි පුද්ගලයකුගේ බිරිඳකි. එවැනි කාන්තාවන් සමඟ යහන් ගතවෙන මොහොතක් බලා ඔහුව අල්ලා නිර්වස්ත‍්‍ර කොට ඒ අසල ඇති වෙනත් දූපතක් වෙත ගෙන ගොස් දමයි . ඔහු වෙනූවෙන් ඔත්තු බැලූ ගෝලයා ද නිර්වස්ත‍්‍ර කර ගස් බඳියි.

මෙම කාන්තාවට ලිංගික බලහත්කාරයක් සිදු කළ බව පාඨකයාට නොපෙනේ. ඇය පොලිස් නිළධාරියා සමඟ යහන්ගත වී ඇත්තේ ස්ව කැමැත්තෙනි. එහෙත් දූපත් වැසියන් එයට අකුල් හෙළා ඇත. මේ න්‍යාය නම් ‘‘මට නොලැබෙන තෘප්තිය අනෙකාට ද දිය නොහැකිය’’ යන සංකල්පය මත සිදු වූවකි. එහෙත් ඔවුන් කළ එම ක‍්‍රියාව සද්භාවයෙන් කළ බවට ඒත්තු ගැන්වීමට ද මංජුල සමත් වී ඇත.

‘‘සින් බෑඞ් සෘජු බැල්මෙන් ම’දෙස බලයි.‘‘ ඇන්ටනී මහත්තය දන්නවද? ’’ ඔහු අල්ල පොළොවේ ගසා දිව්රන්නාක් මෙන් පවසයි
සෑම ලිංගික තැනකම ආශ්වාදය ආදරය ඇති නොමැත


ජයසිරි  අලවත්ත

 

රතු ධජ හැකිළෙමින් දිග හැරී පුරුද්දට අහැරෙනා

රුදාවේ සාංකා මැයි දින අහස සිප දිරි නොසිඳ නැගෙනා

එදා සිට සිහිනයේ කැක්කුමැති මිනිස් අත් හද පිරී සැළෙනා

ඒ කුඩා අහස දෙන ජව සෙවන විඩා සිහිලැල් දැනෙනා

දැවුනු ටයර් දෙස

සුසුම් හෙලමින්
බලාසිටින ඇය
යශෝදරාවකි
සියලු කෙලෙස් හැර
ගිහිගෙය ඇතහැර
නික්මුණු කුමරුගෙ
ගමන් මගේ සිටි..

කුරුස ගසේ ගැසු
පුතාව හැරදා
නොගිය මවකි ඇය
කරුණා ගුණයෙන්
දහස් කදුලු සැලු

පෙම් කවි ගී නැති
ආදරයක් දෙස
අපිරිමිතව බැලු
පෙම්වතියකි ඇය
අරගල කරුගේ
සටනට පෙම් කෙරු

 

චරිත් ජනප්‍රිය 

More Articles ...