22
Sun, Apr

ෆේස්බුක් එකේ එහෙ මෙහෙ යන අතරේ
දවසක් මට මුණගැහුණා අමුතු කෙනෙක්
හොඳට ළංවෙලා බැලුවා කවුද කියා
අම්මට හුඩු ඒ දෙයියන් වහන්සේ

ස්ත්‍රී - පුරුස ප්‍රොෆයිල් පික් දමාගෙන
එයා ඉන්නවා හොර ගෙඩියා වාගේ
මේ ලෝකයේ ඇති නැති හැම දේ ගැන ම
පට්ට ම අයිඩියා එක ඇත්තේ එයා ළඟයි

දේශපාලනෙදි කව්ටිල්යට සමය
එහෙමත් නැත්නම් වාගේ මැකියවෙලි
කට පාඩම් තිබේ කොමිනිස් ප්‍රකාසනේ
ලොගවුට් වුණොත් නවතිනවා ඉතිහාසේ

ආර්ථිකය සහ මේ රට හදන ක්‍රමේ
සෑම පක්ෂයකට ම හොඳ උපදේස
ලෝස් නැතුව වෙන කවුරුන්දෝ දෙන්නේ
ෆේස්බුක් එකේ දෙයියන් මිස අපට

කලාව අතැඹුලකි ෂානරයක් නෑර
දාර්ශනික ද්රුස්ටිවාද ටොයිස් වගේ
විද්යුත් මුද්රිත සිනමා සකල කලා
ඒ හැම එක ම යුනිකෝඩෙන් එකළු කළා

කවදාවත් එයාට නෑ වරදින්නේ
හරියට හැමදේ ම නියමිත වෙලාවට
ලියනව උත්තරීතර ලෙස වෝල් එකේ
කියවන සැවොම ඒවා පිළිපැදිය යුතු

දෙයියන් වහන්සේ පෙළහර පාන හැටි
මාත් බලාගෙන හිටියා පුදුම වෙවී
එහෙම ඉද්දි ඇහැ ඇරුණා එක පාර
මොනවා ? ඒක අඩ නින්දේ හීනයකි

කෝකටත් කියා මං දඩිබිඩි ගාලා
විගසින් ලොග් වුණා කන්ෆර්ම් කරගන්න
මළ කෙළියකි - මාත් ඇතුළුව ඔක්කෝම
දෙයියන් වහන්සේලා වී ඇති සේක !

wimal.ketipearachchi

ඒ යතුර
එවන් යතුරක්
පරණ යකඩ කඩයක් අසල
මලකඩ වතින් වැතිරගෙන
බලා වටපිට
අහුලගෙන එය
රැගෙන යමි
නිවෙස වෙත
බිරිඳ එහෙමෙහෙ
වනතුරා හිඳ
අතට ගෙන එය
හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර

ළහිරු කරුණාරත්න

යට සඳහන් කවිය මාර්තු මස පැවති කවි රසික සංවාද මණ්ඩපයේ දී පළමුවෙන් ම සාකච්ඡාවට ගත් කවිය යි. මෙහි දි මෙම කවිය පිළිබද කිසියම් සංවාදාත්මකභාවයක් සිදු වු අතර ප්‍රවීණයෝ තම තම නැණ පමණින් ද නවීන යෝ තම තම නැණ පමණින් ද විග්‍රහ කළෝ ය. කව් රස විඳින්නකු ලෙස මට ඒ කිසිවක් අදාළ නොවූව ද ඒ මොහොතේ මතු වු සාකච්ඡාව පිළිබඳව ද මගේ අදහස දක්වමින් ම කවියේ මගේ විඳුමට ප්‍රවේශ වන්නට අවසර...,
එහි දී මතු වූ ප්‍රධාන තර්කයක් වූයේ කවියේ පළමු පදය ම ගැටලුකාරි බවයි. එනම් ‘‘එවන් යතුරක්’’ යන්න පාඨකයාට ගැටලුවක් වන බවයි. ඒ ‘‘එවන්’’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද යන්න ය. ඒ කුමක් ද යන්න කවියා පැවසිය යුතු යැයි මම නම් නොසිතමි. මන්ද ඒ කවියාගේ සිතුවිල්ලයි. එය ඉදිරිපත්කරන කථකයා ගේ සිතුවිල්ල ‘‘එවන් යතුරක්’’ යන්න ය. එය කෙබඳු යතුරක් ද යන්න පාඨක ප්‍රජාව විසින් වටහාගනු ලබනු ඇත.

සරල උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, මම මාවතක ඇවිද යනවිට දැකපුරුදු මුහුණක හැඩරුවැති පුද්ගලයකු දුටුවොහොත් ‘‘ආ... හරියට ම එයා වගේ’’ හෝ ‘‘ඒ වගේමයි’’ යනුවෙන් නොසිතෙනු ඇති ද? ඒ නිමේෂය කවියා එසේ ඉදිරිපත් කළා නොවේ ද? මන්ද මට ද එසේ සිතුණු වාර අනන්ත ය; අප්‍රමාණ ය. කථකයාගේ සිතුවිල්ල ද එබඳු යැයි මට හැඟුණි. ඇතැම් විට එය මගේ දැනුමේ මඳභාවය ද විය හැකි ය. නමුත් ඒ මට එය දැනුණු ආකාරයේ යථා ස්වරුපය යි. (මේ පිළිබඳව වැඩි දුරටත් හැදෑරීමට කැමති පාඨකයකු වේ නම් ජනක මහබෙල්ලන කවියාගේ ‘‘උපාසක මුහුද’’ කෘතියේ 62වන පිටුවේ අන්තර්ගත ‘‘පෙරමග’’ නමැති කවිය කියවන්න. එය සංයුක්ත කවියක් බැවින් උපුටා දැක්විය නොහැකි ය.)
එයින් අනතුරුව...

‘‘පරණ යකඩ කඩයක් අසල
මලකඩ වතින් වැතිරගෙන’’


යන දෙපදය ද තරමක් සංවාදයට බඳුන් විය. ඒ අදාළ කවිය එක් එක් පුද්ගලයා විඳිනා’කාරය අනුව යැයි මට හැඟේ. කවියා කුමක් පවසනවාද යන්න පාඨකයාට නිවැරැදිව ම ග්‍රහණය නොවන්නට පිළිවන. එහෙත් පාඨකයාගේ බින්න රුචිකත්වය අනුව එය විඳිය හැකිය. ඒ අනුව මට නම් යට කී දෙපදයෙහි ද කිසිඳු අවුලක් නොවුණි. මම එය මට අනුව විඳගත්තෙමි.

මට නම් එය දැනුනේ ගරා වැටුණු බස් නැවතුමක් අසල කිළිටි ඇඳුමෙන් ගත දවටාගත් කාන්තාවක හෝ පුරුෂයකු දුටු කථකයා ‘‘ආ... ඒ අසවලා නේදැයි’’ තමාට ම කියාගන්නා ආකාරය යි. මේ පරණ යකඩ ඇණය යනු ම කථකයාගේ පැරණි පෙම්වතියක් බව කවියා පිළිබිඹු කරන්නේ ඊළග පියවරේ දී ය.

‘‘බලා වටපිට
අහුලගෙන එය
රැගෙන යමි
නිවෙස වෙත’’


මලකඩ කෑ ඇණයක් ලෙස ඉදිරිපත් කරන රූපකය කථකයාට ඉතා වටිනා වස්තුවක් බව ඒත්තු යන්නේ මෙහි දී ය. එසේ නොවන්නට කථකයාට එම රූපකය හැමට හොරෙන් අහුලාගෙන නිවසට රැගෙන යාමට අවැසිවන්නේ නැත. ඒ ඇතැම් විට මෙම කාන්තාව තමා දකීවි යන සිතුවිල්ල හේතුවෙන් කථකයා හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වන බව හඟවන ව්‍යංගාර්ථයක් ලෙස මට හැගුණි. කවියා ඊළග පියවරේ දී සමස්ත සිදුවීම් මාලාව ම එක මිටකට කැටිකර පාඨකයා වෙත විදාරණය කරන අන්දම පිළිබඳ අවධානය යොමු කරමු.


‘‘බිරිඳ එහෙමෙහෙ
වනතුරා හිඳ
අතට ගෙන එය
හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර’’


මෙ අවසාන කොටසේ පද බෙදීම පිළිබඳව ද තරමක කතාබහක් ඇතිවුණි. එය කෙසේ වෙතත් මට හැඟුණු ආකාරයට නම් කථකයාගේ අතීත සිතුවිලි ලෝකය වෙත ඔහු මනසින් පියඹා යන්නේ සිය බිරිඳ තමා අසල නොගැවසෙන මොහොතක ය. ඒ, කථකයාට සිය අතීතය නිදහසේ විඳීමට ඉඩ-කඩ සලසා ගැනීම සඳහා ය. මෙහි දි කථකයා ‘‘අතට ගෙන එය’’ යනුවෙන් වක්බිණුමකින් සඳහන් කරන්නේ සිය අතීත සිතුවිලි මනසේ තැන්පත්කරගැනීම යැයි මට හැඟුණි. එමෙන් ම ඒ අතීත සිතුවිලි සියල්ල කථකයා අමතක කර දමා තිබු බව ගම්‍ය කරන්ට කවියා යොදාගන්නා වක්ක්‍රෝක්තිය ද කදිම ය.


‘‘හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර’’


ඒ අතීත සිදුවිම් සියල්ල ම කථකයා කෙතෙරම් තදින් අමතක කර දමා ඇති ද යන්න මෙම රූපක හරහා කෙරෙන වයංගාර්ථයෙන් ප්‍රකට නොවන්නේ ද?

කවි රසික සංවාද මණ්ඩපය - 2018 මාර්තු 03


Jayasiri Alawatta

ෆාමිඩා රියාස්

පකිස්ථානය වැනි දැඩි මතධාරී පුරුෂ මූලික සමාජයක් පවතින රටත් තුළ කිවිඳියක වීම පමණක් මහා කරදර ගොන්නකට අත වැනීමකි. එහෙත් ඇය, ෆාමිඩා රියාස් කිවිඳියක පමණක් නොව ස්ත‍්‍රීවාදි ක‍්‍රියාකාරිනියකි. ප‍්‍රගතිශීලී අදහස් දරන්නියකි, දැඩි මතධාරී, සාම්ප‍්‍රදායික ආකල්පවලට නොනවත්වා පහර ගසන්නියකි, සමාජ ව්‍යාපාර කිහිපයකම සක‍්‍රිය ක‍්‍රියාකාරිනියකි, මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන්නියකි. ඉතින් ඇයට ජීවිතය කිසිසේත්ම ලෙහෙසි නොවීය. දැඩි මතධාරි, මර්දකාරී පාලනය ඇය නොකැළඹුණු, සැහැල්ලූ ආරකින් අභියෝගයට ලක්කළේ, ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙමින්, ඒ වෙනුවෙන් ගෙවීමට නියමිත මිල ද ගෙවා දමමිනි.

More Articles ...