23
Tue, Jan

තවත් නොරැවටෙමු!
යුද අවි ගබඩා ඉවත් කරනු! සාලාව අනතුරින් විපතට පත් ජනතාවට වහා වන්දි ගෙවනු! – පෙ.ස.ප.


සාලාව  හමුදා  කඳවුරේ  අවි  ගබඩාව  පුපුරා  ගොස්  දැන්  මාසයකුත් ඉකුත්  වෙලා. ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ දෛනික කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන  කටයුතු,  සිදුකරගෙන  ගිය  ව්‍යාපාර  කටයුතු  වගේ  හැම  දෙයක්ම අතරමග ඇනහිටලා. දහස් ගණනකගේ ජීවිත අවුල් වෙලා. විනාශයට වන්දිලබා දෙන බවට දුන් පොරොන්දු දැනටමත් කඩ කරලා. අවසානයේ විනාශ වූ දේපළවලට කිසිදු ආකාරයකින් සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්න නෑ. මාසිකව රු. 50,000ක දීමනාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුව තනිකරම ප්‍රෝඩාවක්.  ඒ  දීමනා  ඉතාම  සුලූ  පිරිසකට  දීලා  සිය  ගණනකගේ  ප‍්‍රශ්නය ආණ්ඩුව මගහරිමින් ඉන්නවා. මේ හැමදේකටම වඩා කඩා වැටුණ ජීවිතය, යථා තත්වයට පත්කරන්න කිසිම වැඩපිළිවෙළක් නෑ. අර්ධ හානි වූ නිවාසවලට පැලැස්තර දාලා කඩිමුඩියේ භාර දුන්නා. ඒ නිවාස ඇතුළෙ වැඩි කාලයක් ජීවත් වෙන්න නම් බෑ. සාලාවේ විනාශයෙන් මාසයකට පස්සෙ තත්වය මේකයි.


මීට අවුරුදු 2ට කලින් නාය ගිය බණ්ඩාරවෙල, මීරියබැද්දෙ ජනතාව තවමත්  ජීවත්  වෙන්නෙ  අවතැන්  කඳවුරුවල  කියලා  ඔබ  දන්නවාද?  නාය යාමෙන් අවතැන් වූ 75ට අධික පවුල් ප‍්‍රමාණයට අවශ්‍ය නිවාස ඉදිකර දෙන්න ආණ්ඩුව මේ දක්වා සමත්වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි. පසුගිය මැයි මාසෙ නාය  ගිය  කෑගල්ලෙ,  අරණායක  ජනතාවගෙ  තත්වයත්  මීට  වෙනස්  නෑ. රු.  10,000ක  දීමනාවක්  දෙන්න  පොරොන්දු  වෙලා  අරණායක  ජනයාගෙන් කොටසක් අවතැන් කදවුරුවලින් ඉවත් කරලා තාවකාලික කූඩාරම්වලට යැවුවත් මේ වනතෙක්ම කිසිවකුට රු.10,000ක් ලැබිලා නෑ. අද සාලාවෙ ජනතාව කුඩා කූඩාරම්වලට ගාල් කළාට කිසිදු ප‍්‍රශ්නයකට පේන තෙක් මානයේ විසදුමක් නෑ. උතුරේ යුද්ධයෙන් පසු ජනතාව යළි පදිංචි කළෙත් මේ ක‍්‍රමයටමයි. ටකරං තහඩු  කීපයක්  දීලා  ඒ  ජනතාව  හිස්  ඉඩම්වලට  යැවුවා.  තමන්ගෙ  ගෙවල් දොරල්  ඇතුළු  සියල්ල  මහපොළොවට  සමතලා  වුණා.  උතුරු  නැගෙනහිර දහස් ගණනකට මේ වනතෙක් තඹ සතයක වන්දියක් ලැබිලා නෑ.

 උතුරේදී වගේම කොස්ගම සාලාවේදී යුද අවි සාමාන්‍ය ජනතාවට දුන්නෙ විනාශය විතරයි. ජීවිත දේපළ වැනසීම හැර වෙනත් දෙයක් මේ අවි ගබඩාවලට කරන්න බෑ. පාලකයන් තමන්ගෙ බලය ආරක්ෂා කරගන්න පවත්වාගෙන යන දැවැන්ත යුද අවි ගබඩා උතුරේ දකුණේ හැම ජන කොටසකටම විනාශයට වඩා යමක් මෙතෙක් දීලා නෑ. ඒ නිසා පාලකයන්ගෙ ආරක්ෂාව සඳහා පවත්වාගෙන යන මෙවැනි අවි ගබඩාවලට අපි එරෙහි වෙන්නම  ඕන. සාලාව අවි ගබඩාව ඉවත් කරනවාද කියලා පැහැදිලි අදහසක් ආණ්ඩුව තවමත් පළ කරලා නෑ. ඒ වගේම පනාගොඩ, මත්තේගොඩ වගේ ප‍්‍රදේශවල පවත්වා ගෙන යන අවි ගබඩාවලටත් එරෙහිව, ජනතාව සංවිධානය වෙන්න  ඕන. විනාශ වූ දේපළ හා ජන ජීවිතය යළි ගොඩනැගීම සඳහා සංවිධානාත්මකව ආණ්ඩුවට බලකරන්න ඕන. ඒ සඳහා අපි හැමදෙනාම එකට එකතු වෙන්න  ඕන.

දැනුවත් කිරීමේ  වැඩසටහනේ සේයාරූ

3

5

 

4

අභිරහස් ලෙස අතුරුදන්ව සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සැලසුම් සහගත ලෙස පැහැර ගැනීමකට ලක්ව ඉන් අනතුරුව ඝාතනයට ලක්වී ඇතැයි සැක කළ හැකි තොරතුරු රැසක් හෙළිකර ගැනීමට රහස් පොලිසියට හැකි වී තිබේ.

 

සැලසුම් සහගතව ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කෙළේ නම් එම සැලසුම පිටුපස සිටින්නේ කවුද? එය සිදු කළේ කුමන අරමුණක් සඳහාද? එය සිදු කෙළේ කවදාද? කොතනකදීද? යන ගැටලුවලට නිවැරැදි තොරතුරු හෙළිකර ගැනීම සඳහා තවදුරටත් මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු වෙයි.

 

මේ වන විට ඒ සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේදී එම තොරතුරු අනාවරණය වී තිබේ.

 

යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙක්, මාණ්ඩලික සැරයන්වරයෙක්, කෝප්‍රල්වරයෙක්, විශ්‍රාමික සැරයන්වරයෙක් සහ පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් දෙදෙනෙක් මෙසේ රහස් පොලිසිය ‍මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

 

2010 වසරේ ජනවාරි 14 වැනි දින ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී තිබුණි. එතැන් සිට වසර පහක කාලයක් තිස්සේ එම අතුරුදන්වීම සම්බන්ධව පොලිසිය පරීක්ෂණ සිදු කර තිබුණද ඒ සම්බන්ධව කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට සිදු වූ දේ සම්බන්ධව කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ අංශවලට හැකිවූයේ නැත.

 

මේ අභිරහස් අතුරුදන්වීම සම්බන්ධව රහස් පොලිසිය යළි පරීක්ෂණ ආරම්භ කළේ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත මීට මාස දෙකකට පමණ පෙර වෙයි. එම කාලය තුළ රහස් පොලිසිය එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධව තොරතුරු රැසක් හෙළිකර ගැනීමට සමත් වී තිබේ. එහිදී වඩාත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වූයේ එක්නැලිගොඩ මහතා පාවිච්චි කර ඇති දුරකථන අංකය හා සම්බන්ධ වී ඇති තවත් දුරකථන අංක විශාල ප්‍රමාණයක් අදාළ කරගෙනය.

 

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශ රටක ජීවත්ව සිටින බවට පසුගිය වසර පහ පුරාම විවිධ පුද්ගලයින් විසින් ප්‍රචාරය කර තිබුණි.

 

එක්තරා දේශපාලනඥයෙක් විදෙස් රටකදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා දුටු බවට ප්‍රචාරය කළ අතර ප්‍රගීත් විදේශ රටක සරණාගත තත්ත්වයෙන් ජීවත්වන බවට ‍තමාට තොරතුරු ලැබී ඇති බවට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ මානව හිමිකම් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුණි.

 

මේ ප්‍රකාශ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

 

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කෙළේ නම් ඔහු විදෙස් රටක ජීවත්වන බවට සිදු කර ඇති ප්‍රකාශ කෙළේ සැලසුම්සහගතවද යන්න පිළිබඳවද පරීක්ෂණ අංශවල අවධානය යොමු වී ඇත.

 

කෙසේ වෙතත් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ එම අභිරහස් අතුරුදන්වීම සම්බන්ධව රහස් පොලිසිය හෙළිකරගත් තොරතුරු ඉතා කෙටි කාලයක් තුළ අධිකරණය වෙත වාර්තා කිරීමට නියමිතව ඇත.

 

එහිදී ප්‍රගීත්ගේ අතුරුදන්වීමේ සුලමුල සහ ඊට සම්බන්ධ සියලු තොරතුරු දිග හැරෙනු ඇති අතර ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ද අධිකරණ අවසරය මත අත්අඩංගුවට පත්වනු ඇතිබව රහස් පොලිස් ආරංචි මාර්ගවල සඳහන් වෙයි.

 

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ, කොටුව - ලෝටස් පාර ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

 

මේවන විට රිමාන්ඩ් භාරයේ සිටින එම පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකර ඔහුට මෙරට තුළ දේශපාලනය කිරීමට ඉඩසලස්සන්නැයි ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන පැවැත්වෙයි.

 

අරලියගහ මන්දිරය දක්වා මෙම වි‍රෝධතා පා ගමන යාමට සුදානම්ය.

 

පොලිස් මාර්ග බාධක සහ කදුළු ගෑස් සුදානම්ය.

පසුගිය අප්‍රේල් 18වැනිදා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයකින් කියවුනේ පවතින පනතක් අහෝසි කිරීම ගැන. එම නිවේදනයට අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහාම අහෝසි කිරීමටත් ඒ වෙනුවට නව පනත් තුනක් ගෙන ඒමටත් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ජනාධිපති, අගමැති ලෝකයට ගිහින් දේශපාලන සිරකරුවන් නැතැයි කියුවත් මානව හිමිකම් ගැන කතා කරන මේ අය කුමාර් ගුණරත්නම් දින 100ක් තිස්සේ රඳවාගෙන සිටින්නේ යැයි නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කියයි.

 

 

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට විරෝධය පා කොළඹ, කොටුවේ අරඹා ඇති අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අද වන විට දින 100ක් සම්පූර්ණ වෙයි.

 

 

මේ නිමිත්තෙන් අද කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට වාමාංශික දේශපාලන පක්ෂ නියෝජිතයන් හා දේශපාලන ක‍්‍රියායාකාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවයක් පැවැත්විණ.

 

 

ඊට නව සම සමාජ පක්ෂය වෙනුවෙන් වික‍්‍රමබාහු කරුණාරත්න, සමාජවාදී පක්ෂය වෙනුවෙන් මහින්ද දේවගේ, වමේ හඬ සංවිධානය වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි ප‍්‍රැක්සිස් සමූහය වෙනුවෙන් විදර්ශන කන්නන්ගර හා නීතීඥ රෙක්ස් ප‍්‍රියදර්ශන, නුවන් බෝපගේ මේ සඳහා එක්ව සිටියහ.

 

 

මෙහිදී අදහස් දැක්වූ මහින්ද දේවගේ.

 

කුමාර් ගුණරත්නම් සහෝදරයා අත්අඩංගුවට ගෙන නඩුව මේ වන විට විභාග වෙමින් තිබෙනවා. විමල් වීරවංශට පාස්පෝට් දෙකක් තිබ්බා. ඒත් වීරවංශ නිදහස් කළා. ගෝඨාභයටත්, බැසිල්ටත් පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්න තිබ්බා. නමුත් අගමැතිවරයාට ඒක ප‍්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරයා ජර්මනියට ගිහින් දේශපාලන ප‍්‍රශ්න නිසා එහේ ගිහින් ඉන්න අයට නැවත ලංකාවට එන්න කියනවා. ලංකාවට ආපු කුමාර් ගුණරත්නම්ව අත්අඩංගුවට ගන්නවා. මේක හරිම විහිළුවක්.

 

ධර්මසිරි ලංකාපේලි

 

කුමාර් ගුණරඒනම් රට ගියේ ජවිපේ දේශපාලනය කරපු නිසා. අද මොනවා කිව්වත් අනුර කුමාරලා, විජිත හේරත්ලා දේශපාලනයට ගෙනාවේ කුමාර් ගුණරත්නම් සහෝදරයා. අවාසනාවකට අද ඒ අයත් කුමාර් සහෝදරයාගේ දේශපාලන නිදහසට විරුද්ධව කතා කරනවා. ඒත් අපි වමේ හඬ සංවිධානය විදිහට පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක කුමාර්ගේ දේශපාලනය වෙනුවෙන් කතා කරනවා.

 

චමීර කොස්වත්ත

 

බීරි අලින්ට ඇහෙන්න විශාල ශබ්දයක් අවශ්‍යයි. ඒ නිසා අපි විශාල ශබ්දයක් කරනවා. මේක දේශපාලන ප‍්‍රශ්නයක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙද්දිත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තවම සාකච්ඡාවක් වත් දීලා නැහැ. ජර්මනියේ ගිහිල්ලා බොරුවට කියනවා විදෙස් ගත වෙලා ඉන්න ශ‍්‍රී ලාංකිකයන්ට ආපහු එන්න කියලා. මේක තමයි ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය.

 

වික‍්‍රමබාහු කරුණාරත්න

 

ජනාධිපති, අගමැති ලෝකයට ගිහින් කියන්නේ දේශපාලන සිරකරුවන් නැහැ කියලා. මහ ලොකුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන මේ අය කුමාර් ගුණරත්නම් සහෝදරයා දින 100ක් තිස්සේ රඳවාගෙන ඉන්නවා. අපි අහනවා කුමාර් ගුණරත්නම් සහෝදරයා වගේම දේශපාලන සිරකරුවන් මෙලෙස රඳවාගෙන ඉන්න එකෙන් ආණ්ඩුවට මොනවද හම්බවෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි කියනවා වහාම කුමාර් ගුණරත්නම් සහෝදරයා නිදහස් කරලා ඔහුගේ දේශපාලන අයිතිය ලබාදෙන්න කියලා.

 

මේ රටේ පාලකයන් ලලිත් කුගන් නම් වූ දේශපාලන ක්‍රියාධරයන් දෙදෙනා මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් අතුරුදහන් කර වසර හතරක් පසු කර ඇත.. තමන්ගේ ජීවිතේ බොහෝ සිහින මඟ හැර බොහෝ මිනිසුන්ගේ යහපත් ලොවක් සඳහා වූ සිහිනය වෙනුවෙන් ඉතා දුෂ්කර තත්වයන් ඇතුලේ උතුරුකරය දෙසට ගමන් කල ලලිත් රෙජීමයේ මහත් වූ පීඩාවන්ට ලක්විය.

ජවිපෙ පැලවත්ත මුලස්තානයෙන් පෝස්ටර් මිටිය , පොත් පත් . ලිපි ද්‍රව්‍ය කර ගසා ගන්නා ලලිත් යාපනයට යන්නේ අලුත් ලොවක් ගැන සිහින දකිමිනි. රෙජිමයේ ආරක්ෂකයන් කිහිපවිටක් පහර දෙමින් නතර කිරීමට උත්සහ කල මුත් නතර කල නොහැකි වූ ලලිත් නැවත නැවත නැගී සිටින හමුවෙහි අතුරුදහන් කරනු ලැබුණි.

උසාවිය නියෝග දෙන විටත් උසාවියට පැමිණ තමන් සමඟ එකට දේශපාලනය කල ලලිත් ගැන වචනයක් කියන්නට බැරි සුනිල් හඳුන්නෙත්ති වැනි තක්කඩින් සමඟද දේශපාලනය කල ලලිත් ගැන උදාර සිහිනයක සිටින බොහෝ මිනිසුන් විමසිල්ලෙන්ය.

එවන් සහෝදරියක් ලලිත්ගේ නිවසට ගොස් දින දෙකක් ලලිත්ගේ පියා, සොහොයුරියන් සමඟ ජීවත් වෙමින්, තම පුතා ගැන ඇස් මස් ලේ නහර විද ඇට මිඳුළු මත දුක් දෙන දරු ස්නේහස නම් වූ හැගීම ශිවන්ති ප්‍රනාන්දු සොහොයුරිය අකුරු බවට පත් කල සටහනයි මේ..

තාත්තා කියන්න, ලලිත් කුමාර්ගේ අතුරුදන්වීම ගැන තාත්තට දැනෙන්නෙ කොහොමද?

ඒ පාඩුව කියන්න මට වචන නැහැ. මට හොඳටම විශ්වාසයි මගේ පුතා කොහේ හෝ ඉන්නවා කියනෙක. එයා විශ්ව විද්‍යාලයේ රැකියාව කරමින් සිටියදී ගෙදර ආර්ථිකයට සෑහෙන දායක වුණ කෙනෙක්. එයාගේ අතුරුදන්වීමෙන් මං විතරක් නෙමේ මගේ මුළු පවුලමත් කඩන් වැටුණා. ඒකෙ පාඩුව සල්ලිවලින් බේරන්න බැහැ. ඔහුගේ අතුරුදහන් වීමට සාධාරණයක් වීම පමණයි මා බලාපොරොත්තු වෙන්නෙ.

 

සාධාරණය බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

පුතා අතුරුදහන් වෙලා දැන් අවුරුදු හතරක් වෙනවා. ඔහු විශ්ව විද්‍යාලයේ රැකියාව කරමින් ඉද්දි ජේ. වී. පී. එකට ගියා දේශපාලනය කරන්න. එයින් අයින් වෙලා පෙරටුගාමී පක්ෂයෙ අය එක්ක අලුත් පක්ෂය හදන්න ඉඳිද්දි තමයි හදිසියෙ අතුරුදහන් වුණේ. එයා යාපනයට ගියේ ජේ. වී. පී. එකේ ඉද්දි. මගේ පුතා යාපනයේ අතුරුදන්වූවන් සොයන්න වැඩ කළා මිසක නරක වැඩ කළේ හෝ රජයට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. රට අල්ලන්න ගියෙත් නැහැ. එයා අතුරුදන් වෙලා දින 14ක් යද්දි කෙහෙළිය රඹුක්වැල්ල කිව්වා ලලිත් කූගන් ඉන්නවා කියා. ඒ වගේම ඔවුන් පැහැර ගැනීම ගැන සාක්ෂිත් තිබෙනවා. මා සාධාරණය බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්නාගේ අතුරුදහන්වීම විධිමත් පරීක්ෂණ පවත්වලා ඔවුන් නිදහස් කිරීම මගිනුයි. ඔවුන්ට කළේ මොකක්ද කීමෙන් මගේ හිසේ බර නිදහස් කර ගත හැකියි.

hadun


මේ වෙද්දි ලලිත් – කූගන් ගැන තාත්තට ලැබෙන තොරතුරු මොනවාද?


පුතා ඉන්නවද නැද්ද කියනෙක මට පක්ෂෙ හෝ වෙනත් කිසිවෙක් කියන්නෙ නැහැ. කූගන් පුතා අතුරුදහන් වුණේ මගේ පුතා එක්ක ගිය නිසයි. පෙරටුගාමී පක්ෂෙ මුලදි සැහෙන්න මහන්සි වුණා, ඒ දවස්වල මාධ්‍ය හමු පවත්වමින් කරන්න පුළුවන් හැමදේම කරමින්. දැනුත් ඒ අය විවිධ දේ කරමින් ඉන්නවා. පෙරටුගාමී පක්ෂෙ කියන්නෙ ‘තාත්තා ටිකක් ඉවසන්න, අපි උත්සාහ කරනවා’ කියනෙක. ඉතින් මං බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔහු මට නැවත හමු වෙයි කියනෙක ගැන.
ලලිත් – කූගන් අතුරුදහන්වීම ගැන මේ වෙද්දි නඩුවක් විභාග වෙනවා නේද?

ඔව්. ලබන මාසෙත් නඩු වාරයක් තිබෙනවා. ඒකට අදාළ කටයුතු කෙරෙමින් පවතිනවා. ඊළඟ නඩුවට සුනිල් හඳුන්නෙත්ති සහ කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් සාක්ෂි ගැනීමට තියෙනවා.

ලලිත්ට ජීවිත තර්ජන තිබූ බව තාත්තා දැනගෙන හිටියේ නැද්ද?

අතුරුදහන් වෙන්න සති දෙකකට විතර කලින් ජේ. වී. පී. එකේ කීප දෙනෙක් අපේ ගෙදරට ඇවිත් දැනුම් දුන්නා ‘ලලිත් දැන් පක්ෂෙන් ඉවත් වෙලා ඉන්නෙ. එයා යාපනේ ගිහින් කරදරයක් වුණොත් වගකීමක් ගන්න බැහැ‘ කියලා. ඒ වගේම රහස් පොලීසිය කීප වතාවක්ම මංනැති අතරෙ අසල්වැසි අයට පවා ඇවිත් කියා තිබුණා ‘ලලිත් දේශපාලනය කළාට කමක් නැහැ. යාපනයට යන්න එපා කියන්න‘ කියා. තවත් වතාවක මට ‘කෝල්‘ එකක් ආවා ‘ලලිත් යාපනයෙන් අයින් කර ගන්නවද නැතිනම් අපි අයින් කර ගන්නද‘ අහලා. මේ හැම වතාවකම පුතා ගෙදර ආවම මං තියෙන අවදානම කීවා. ගහලත් කීවා. එයා කීවෙ, ‘නෑ තත්තේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර වෙලා මං පක්ෂෙන් අයින් වෙනවා‘ කියා. එහෙම කියලා ගිය පුතා තමයි දැන් තවමත් නැත්තෙ.

තාත්තට දැන් හිතෙනවද නැද්ද ලලිත් නවත්වන්න උත්සාහ කළා මදියි කියා?

මුලින්ම ජේ. වී. පී. එකට තමයි මගේ පුතා ගියේ. ඒත් මේ සිද්ධිය ගැන ජේ. වී. පී. එක වග කියාවියි කියා මං හිතන්නෙ නැහැ. මං එදා ඉදන් එයාට කීවේ දේශපාලනය කරන්නෙපා කියලයි. මොකද මං පොඩි පඩියකට වැඩ කරන වතු කම්කරුවෙක්. ලලිත් විතරයි එතකොට මේ පළාතෙ විශ්ව විද්‍යාලෙ රජයෙ රැකියාවක් කර කෙනෙකුට හිටියෙ. මගේ පවුල වසර කීපෙකට කලින් මිය ගියා. ලලිත්ගෙ අම්මාත් මගේ අම්මාත් එයා දේශපාලනය කරන එක නවත්තන්න කීවට එයා ඒක කළේ නෑ. මොකද එයාට ඒ දේශපාලනය තදින් වැදිලා තිබුණා. පුතා අතුරුදහන් වුණාට පස්සෙ මගේ අම්මා සාත්තර බල බලා, කල්පනා කර කර ඉඳලා අංශභාග රෝගියෙක් වුණා. මට එක පුතයි දුවලා හතර දෙනයි. මගේ පවුලෙ මානසික ආබාධයකින් පෙළෙන නංගි කෙනෙක් ඉන්නවා. දුවල ගෙන් එක්කෙනෙක් අවිවාහකයි. ඒ දෙදෙනාත්, මගේ අම්මවත් බලා ගැනීමට හයියට හිටියෙ පුතා විතරයි. කොහේ හරි ඉන්න තැනකින් මට එයාව හම්බ වෙන්නයි ඕනෙ. මේ එන නොවැම්බර් පළවැනිදා පුතාගේ තිස් හතරවැනි උපන්දිනය.

Lalith3

මොනවද ඒ වෙනුවෙන් කරන්න ඉන්නෙ?

හැකි හැමදේම කරන්න මම ලෑස්තියි. පුතා අතුරුදහන් වුණ මොහොතෙ ඒ කාලෙ බොහෝ දේශපාලනඥයින් උදව් කරන්න ලෑස්ති වුණා. මං ඒව ප්‍රතික්ෂේප කළා. ඒත් නොදැනම අවුරුදු හතරක් ගියා බලාගෙන ඉඳලම. මං ඒ වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්න සූදානම්. මගේ ජීවිතේ තව හුඟාක් දිග නැහැ. මගේ අම්මා වගේ තත්ත්වයක් මට උදා වුණොත් මට මුකුත් කරගැනීමටත් නොහකි වෙයි. ඒ නිසා පුතා ගැන හෝඩුවාවක් සොයන බලාපොරොත්තුවෙන් මං හැකි සියලු දේ කරන්න සූදානම්.

පෙරටුගාමී පක්ෂෙ හැරෙන්න වෙන කවුරුත් මේ ගැන සොයන්න සහය වුණොත්?

ඒ අය හැර තව කවුරුහරි පුතාව හොයලා දෙන්න ඉදිරිපත් වුණොත් ඒ සහය උඩත් මං ඒ ගැන හොයලා බලන්න ඉන්නෙ.


තාත්තාට මේ ගැන ගැනීමට ඉදිරි ක්‍රියා මාර්ග මුකුත් තියෙනවද?


ළඟදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් මේ ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වගේම මේ ආණ්ඩුවත් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා මේ ගැන සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියා. මේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් වගේම අතුරුදහන්වූවන් ගැන හොයන්න කටයුතු කරනවා මා දැක්කා. මගේ පුතා අතුරුදහන්වූවන් සොයා ගන්න ක්‍රියා කළ කෙනෙක්. එතනයි වෙනස තියෙන්නෙ. ඒ හේතුව උඩයි එයා අතුරුදහන් වුණේ. ඒ නිසා මේ සිදුවීම ගැන සාධාරණව ක්‍රියා කරන්න කියා මා ඉල්ලනවා.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ ගැන වග කියන්න ඕනෙ. මගේ පුතා අතුරුදහන්වූවන් ගැන හෙවීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉතාම කරදරයක් වුණා. ඒ නිසයි එයාට මේ වගේ දෙයක් සිද්ධ වුණේ. එයාව මගට ඇරලන්න ගිය කූගන් පුතත් අතුරුදහන් වුණේ ඒකයි.

සාකච්ඡා කළේ : ශිවන්ති ප්‍රනාන්දු

 

බඩු මල්ලත් කුදලාගෙන මා රාජගිරියෙන් 177 බස් රතයට ගොඩ වුනෙමි... පසු පසම ආසනයේ මධ්‍යස්ථය  හිමි වූ මම වයසක සීයාකෙනෙක්ගේ සහ තලතුනා ගැහැනියකගේ ඒකාධිපති රාජ්‍යන් අතර තවත් එක් යටත් විජිතයක් බවට පත් වූයේ ඔවුන්ගේ වංගෙඩි සහ යකඩ රේල් පීලි වැනි කකුල් වලට සිරවූ කෙසෙල් කොටයක් බවට පත් වෙමිනි..මාලඹේ දැවැන්ත තොරන් රාජයා පාමුල සීයා බැස ගිය බැවින් ලැඹුනු අර්ද නිදහස බුක්ති විදිමින් මා ලහි දෙපා පලල් කර ඉඩ ගතිමි. බසය සිහින් පොද කපාගෙන වේගයෙන් ඇදුනේය.. කොහාටද... කොන්දා මලානික හඩින් ඇසුවේය..කඩුවෙල.... එසේ කී වහාම කෝපයෙන් මෙන් කඩුවෙල හංදියට විතරයි යන්නේ.එතනින් එහා යට වෙලා යැයි මාගේ රුපියල් සියය ගිජුලිහිනියෙකු මෙන් උදුරා ඉතුරු මුදල් අත තබා..ඔය ඉස්සරහින් යන්න යන්න... ඉඩ තියෙනවා මැද..කියාගෙන ඉදිරියට ඇදුනේය. මට ජීවිතේ ඉදිරියට යන බලාපොරොත්තුව බොහෝ විට ඇතිකලේ බසයේ කොන්දා සහ මිශාරා අක්කා බව විශේෂයෙන්ම මතක් කල යුතුය...

පුතා කඩුවෙලද ? ගැහැණියගෙන් ගැටලුවකි.. නෑ ඇන්‍ටි මම මේ අපේ සහන කන්ඩායමක් ඉන්නවා..ඒකට යනවා.. හා..ඒක තමයි බස් එක යන්නේ කඩුවෙල හංදියට විතරයි ඉන් එහාට යන්න බෑ යට වෙලා... ජේවීපී දැයි මාගේ හම්පඩ එහෙත් ස්වර්ගයක් වටිනා රතු කමිසය දෙස විමසුම් ඇසැකින් බැලූ ඇය විමසීය.. ඔව් ද නැත්ද..සිතුවිලි සයුරක නාවික හමුදා ජීවිතාරක්ෂක සෙබලෙක් මෙන් මොහොතින් ගිලී ගිය මා මීට වසර ගනනාවකට පෙර ඉතා ආඩම්බරයෙන්කිව් වචන දෙකක් ඇය අඹිමුව තැබීය..ඔව් ජේවීපි. කට කොනකින් සිනා සුනු ඇය මට ඔච්චම් කලාදැයි සිතුනු මතය සුන් කරමින් ජේවීපී අය ගොඩාක් උදව් කරනවා යැයි කීවාය.. කෙසේ හෝ මෙතනින් බහින්න..අපි යන්නේ උඩට.පහල හංදියේ මඩුවක ජේවීපී අය ඉන්නවා.. යැයි අය වෙන්වී ගියේය.. මා බඩු මල්ලද ඔසවාගෙන එකී කූඩාරම දෙසට ගොස් යටි රැවුල වවා ගත් සගයෙකුට ඇමතුවෙමි..

සහෝ මම මහර ඉදන් ආවේ ෆේස්බුක් එකේ දැක්කා ඔයාලා කට්ටියඑකතු කරනවා කියලා pansilu dinith කියලා කෙනෙක් මේ නම්බරේ දුනා..ය්‍යි කී විට ... නම්බර් ඕන නෑ මල්ලි..ඔයා ආපු එක ලොකු දෙයක්.. ඔන්න ඔය ඇදුම මාරු කරන් වරෙන් දැන් යුනිකොන් එක එනවා කෑම ගෙනියන්න ඕනැයි කියමින් මොහොතකින් යුද හමුදා වාහන අතරින් ඔහු නොපෙනී ගියේ ඔහුට පැවරුන ඒ මනුෂ්‍යත්වයේ රාජකාරියේ බරපතල කම මටද වටහාදෙමින් ය..මම මල්ල කූඩාරමේ පසු පස තැබීමි...වියලි ආහාර වතුර බෝතල් බීම බෙහෙත් සබන් කන්ටේනරයකටවඩා වැඩියෙන් ඒ කුඩාරමේ තබා තිබින..මා ශොටක් සහ ටී ශර්ටයකින් සැරසී එම කූඩාරම තුලින් එලියට බැස්සෙයා..සතර අත යුද සාමාජිකයන්ගේ බූට් හඩද යුනි බෆල් රතවල ගිගුරුම් හඩ ද ඇසෙන්නට විය...

ආ මල්ලි මේක දාගනින්.. ඇසිල්ලෙන් නොදන්නා නොහදුනනා සගයෙකුගේ අතින් මාගේ කරට ලාංකීය රතු තරුවේ කබාය වැටිනි..ඔහු විසින්ම ගැට ගසා මගේ මුහුණ දෙස බලා සිනා මුසු මුහුනින් ඔය ඉන්නේ රම්පෙට පොරි හැලෙන්න යැයි පිටට තට්ටුවක් දමා පිට විය..ඇත්තටම මගේ රම්පෙට පොරි හැලුනාද.. මම ඇදගත්තේ මම ලා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කබායකි.. මම මොන පාටද මගේ පක්ශය කුමක්ද... මම පෙරටුගාමී යෙක්ද ජෙප්පෙක්ද... මගේ මතය කුමක්ද.. කවුද හරි ජෙප්පොද කුරුට්ටොද..උහතෝකෝටික ප්‍රශ්න රැසක් මා අඹිමුව අරණායක කන්දමෙන් ගොඩ නැගී තවත් එක් කටහඩකින් එකී සිතුවිලි කන්ද නාය ගියේය.මල්ලි මේ ජිප් එකෙ බඩුටික බාමු.. 32 ශ්‍රී ඩිෆෙන්ඩරයකි.. එයින් බට සුවිශාල දේහදාරි මහත්මයා යම් පැලැන්තියක මාන්නය පෙන්වමින් සිරි පොද වැසි අදුර මැද සංග්ලාස් දෙක ගලවා..කූඩාරමේ බඩු බාරගන්න සහෝදරයා වෙත අතදිගුකර මම ඩොක්ටර් නිමල් රංජිත්..යැයි මදහස පා තමාගේ ආදාරය රතු තරුවට බැර කලේය... පෙලින් පෙලට ඔහුගේ ආදාර මාරුවෙන් මාරුවට අතින් අතට කූඩාරම තුකට යන සැටි ඔහු මහත් ආසාවෙන් දෑස් දල්වා බලා සිට... අවසන ඔහු යලිත් එකී සගයා වෙතට හැරී මට නම් ජේවීපී අරහං..ඒත් ඔයාලා කරන වැඩේ හොදයි දරුවා ජය.. අවසාන වදන් පෙල සිනහ මුහුනින්ම පවසා එකී විශාල රතයේ දොර හඩ සමග ඔහු පිටව ගියේය ..

ඉන් පසු වේගයෙන් කූඩාරම ඉදිරියට ආ නාවික හමුදා යුනි බෆල් රතයක් නැවතීය..එයින් බට නාවික සොල්දාදුවන් කිහිප දෙනෙක්.. සහෝදරයා බෝට්ටුව එනවා.. බඩුයවන්න ඕනෑයි කී විගස යහසුලු වු සියලු දෙනා එම රතයට හාල් මලු පිටි වතුර පැම්පස් බෙහෙත් සහ අනෙක් අත්‍යාවශ්‍ය බාන්ඩ එහි පට වන්න විය කූඩාරමේ එක් පසක සමාජවාදී තරුණ සංගමයේ යෙහෙලියන් පිරිසක් ලැප් ටොප් පරිඝණක් හරහා ඔවුන්ගේ මූලස්ථානය සමග සම්බන්ද වෙමින් සබදතා ගොඩ නගයි..විටින් විට අරණායක කොලොන්නාව සහ කැළනියේ රතු තරු සගයන් ඇමතුම් ලබා දෙමින් එකී පෙදෙස් වල ආපදා කලමනාකරණය ගැන උපදෙස් සහ තොරතුරු ලබා දෙයි..බඩු පටවා අවසන් වූ වහාම තවත් සහෝදරවරු කිහිපදෙනෙක් නාවික හමුදා උප ලුතිතන් වරයෙක් සහ නාවික බලනැවි සෙබලු තිදෙනෙක්සමග මාද එම එම රතයට නැගුනෙමි...

රතය මහා හඩ නංවමින් පිටත් වන්නට විය. සුවිශාල ජල කදම්බය දෙබෑ කරමින් ඉදිරියට ඇදුන එම වෙඩි නොවදින යකඩ අලියා ලංකාවේ නිශපානයක් බවද ටර්බෝ එන්ටකූලර් ඇන්ජිමකින් සමන්මිත ෆෝවීල් ඩ්‍රැව් රතයක් බවද නාවික සගයා මා හා කල කතාවෙන් පැහැදිලි වියබස් රතයකට වඩා අඩි තුනක් උස මෙම රතය දැන් රෝද මට්ටමටත් එහා ජලය දෙඹෑ කරමින් ගමන් ගනී.. අඩි හයක පමන උසක සිටි අපේද කකුල් වලට ජලය සීරුවෙන් ගෑවෙන මට්ටමින් ජලය ගලා යයි
යලිත් ජලය කරමට්ටමක් වන්නට බැසි ප්‍රදේශය හරහා ගමන් කරබ්‍රතයටබිහලින් අදිවේගී මාර්ගය සිය දෑත් විහදා ස්වබාවදර්මයට තමන් කල හානිය සහතමන් එයට යොමුකෙරූ මිනිසුන් නගන විලාපයද විනාශවූ දේපල දෙසද කනගාටුවෙන් සෝබරව නසලව බලා සිටි අතර කුඩා දරුවන් සහ ලපටියන් කර පින්නා ගත් දෙමාපියන් අසරන මිනිසුන් බෆල් රතය දුටු වහාම කෑ ගසන්නට විය..අනේ මහත්තයෝ අපට කන්න දෙන්න... ලියන මාගේ දෑසෙද කදුලකි..මොහොතකින් ලියමි.. දල්වා ගත් දුම් උගුරේ ශනික ඇබ්බැහිවීමේ සුරාන්තය ලැබ ලියන්නෙමි


ජීවිතේ කිසිම දවසක කාහටත් අතපාන්නට හීනෙකින් වත් නොසිතූ සිංහල මුස්ලිම් ජනයා අපට අත පාමින් දිව එන්නේය...මේ සෝමාලියාවදැයි දෑසේ කදුලැලි සිරකොට මා බෆල් රියේ එල්ලීසිටියෙමි.... රතය නැවැත් වීය.අප කිහිප දෙනෙක් ජලයට බැස ශන මලු ඔවුනත තබන විට දොහොත් මුදුන් තබා වැද එක් කාන්තාවක් බුදුවෙන්න ඕන මහත්තයෝ.අනේ... අපිටවෙච්ච විනාසේ.. ගාමින් හඩ නගන්නේය.. ඔවුන් අත විසිරුන සහල් පොල් සැමන් සහ පරිප්පු මලු සුරතින් බදාගත් වයස අවුරුදු විසි දෙකක පමන රූමත් නැගනියක් වහා එම බාන්ඩරැගෙන දිව ගියාය... සර් සබන් සබන් කැටයක් සර් සබන් කැටයක්..ලයිෆ් බොයි කැටයක් විසිවිය..එයරුවාගත් තරුණයාට සමු දෙමින් යලිත් රතය ඉදිරියට ඇදුනේය.. මහමෙව්නා බාවනා අසපුවේ විරාජ මාන බුදු පිලිම වහන්සේ ජලතටාකයක් මහා විනාශයක් මැද අනිත්‍ය පසක් කරමින් සියල්ල අනිත්‍ය බව ලොවට පසසමින් අඩවන් දෙනෙතින් අප දෙස බලා සිටියේය .. වාහන මෝටර් සයිකල් ගිලී ගොස් තිබින..මහා කඩ සාප්පු විනාශව දේපල ජලයේ පාවෙමින් ඇත...ඉද හිට බුරන බල්ලෙකු තම ස්වාමියා සොයයි..

ඒ අතර කොටුවූ පූස් පැටියෙකු කීස් කීස් හඩ නගමින් පිහිට පතයි..විගසින් රතයෙන් බට රතුතරුවේ පිහිනුම් සාමාජිකයෙකු තාප්පයවෙත පිහිනා ගොස් එම පැටවා මුදාගෙන විත් බෆල්‍රියේ අසුනෙන් තැබීය... වෙව්ලමින් කම්පිතව අප දෙස බැලූ පූස් පැටවාට දුන් බිස්කට් කැබැල්ල ශනිකව මුව තුල දමාගත් පැටවායලිත් ගැහෙන්නට විය... ඒ අතර තවත් දරුවෙකු කර තබා ගත් පියෙකි... සර් මල්ලක් දෙන්න නාවික බටයාගෙන් ලැබූ ඉල්ලීම හමුවේ ඉක්මනින් ලබා දුන් මල්ල නාවික බටයා වෙතින් අර පියා ලබා ගත්තේය.පසුව අඪ්හෙන රතය මත හිදගත් එම සෙබලා මා හට පව් මල්ලි මිනිස්සු යැයි කියා තෙමී ගිය මුහුණ දෑතින් පිහදමමනින් කී අතර එදා මෙදා තුර ටිස්වසරක යුද්දය නිසා විනාශ වුන මිනිසුන්ගේ ජීවිත යලිඒකාලෝක කරන්නට වෙර දැරූ ඔවුන් අදද එකී ජනහිතකාමිත්වයෙන් මානුෂිකත්වයෙන් පලා නොගොස් ඇත..ඒ උපහාරය පඩි පත පසෙක දමා අසරණ මිනිසුන් වෙනුවෙන් තම ජීවිතේ කෙලිලොල් තරුණ දිවියක ගිනිඅවියට යුනිෆෝම් එකට පූජ කල උදාර මිනිසුන් වෙනුවෙනි

පසුව රතය ඉදිරියට වේගයෙන් ඇදුනෙන් අපගේදැහැන බිද වැටුනේ ඉහත මාලයක සිට අත පානා මහලු ආච්චිකෙනෙකුගේ දුබලහඩිනි... ඉක්මනින් බඩු මල්ලක් සහ ආරක්ශිත කබායකින් වැහුනු රතුතරු සමාජිකයා සහ නාවික සෙබලා එදෙසට පිහිනා ඉහල මාලයට ගොඩ විය..අනේක පිං දීම අතරින් සැබෑ මානුෂිකත්වයේ වීරෝධාර හඩ දසත වැකෙන්නේය..ඔව් නුඹලා නොමියන මිනිසුන් ය ... පසුව අපි සමාජවාදී කලා සංගමයේ සොයුරෙකුගේ අදහස් අනුව සියලු බඩු අඩිහයක් ඔඅමන යටවූ නිවසක වහලය මත තැබීය..මෙතනින් එහාට වාහනේ ගියොත් මල්ලි එන්ජිම හිරවෙලා වතුර පාරට පෙරලෙනවා..බෝට්ටුව එනවලු..ඒකට බඩු පටවමු යැයි උපලුතිතන් වරයා ඉල්ලීය..එය පසක් කරමින් අපි සියල්ල එම වහලයට ගොඩ වූ පසු රතය ආරක්ෂා ව උදෙසා පසු පසට ගියේය..ඈතින් ජලය විහිදුවමින් එන නාවික හමුදා බෝට්ටුවකි...එහි ඉදිරියේ සිටියේ සමාජවාදී තරුණ සංගමයේ කැදවුම්කරු සහ නාවික හමුදා ලුතිතන් වරයෙකි..ඔවුන් අපවෙත ආ වහාම බෝට්ටුව වහලයේ ගැට ගසා... පට්ටෙට වතුර බෝට් එකත් යන්නේ අමාරුවෙන්..බඩු ටික දාගත්තනම් හරි සහො යැයි ඔහු හිස පිසමින් අප හා සිනහ මුසුව කතාකලේය

බෝට්ටුවට බඩු පටවා අවසන යලි අප ඔවුනට අත් වනා සමුදී පිට වුනේය.. කූඩාරම වෙතට ආරතයෙන් බැසගත් අපහට දැකගත හැකි වූයේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් ටිල්වින් අයියාය . මල්ලිලා මේ බෝට්ටුව ආමි ට්‍රක් එකට පටවලා අපි ඔඅහලටබ්‍යන්න ඕන බඩු එක්ක..මැසේජ් එකක් ඇවිත් පහල මිනිස්සු කොටු වෙලා කියලා..ඒ අවසරයෙන් සහෝදරවරු දහයක් සහ යුදහමුදා සගයන් පහකගේ සහයෙන් බෝට්ටුව ලොරියට පැට වින..එන්ජිමද එහි ලාගත් අප අවිස්සාවේල්ල දිසාවට වේගයෙන් ඇදුනේය

ඉන් පසු මං සංදියක එය බිමට බා පසුව බෝට්ටු සහ එන්ජින් සමග ඇති මාගේ අතීත මතකය ඇසුරු කොට මා සහතවත් සගයන් කිහිපදෙනෙකුගේ සහයෙන් එන්ජිම බෝට්ටුවට සවි කලේය..එයට නැගගත් ටිල්වින් අයියා සහ තවත් කිහිප දෙනෙක් බඩු මලු සමගින් පිටව ගියේය..පස්ව අපි යලිත් ලොරියේ ඉතිරිව තිබූ සහනාධාර කිහිපය මිනිසුන් කිහිප දෙනෙක් අතර බෙදීය... පොරකමින් තමන්ගේ කුසට බත් පතක් ලාගන්නට ඇදිවත පමනක් ඉතිරි වූ මිනිසුන් වටහා ගත යුතු සහ නිසැකවම වටහා ගත් දෙයක් ඇතැයි සිතමි... මේ රටේ ජාති ආගම් කුල මල සියල්ල අතැරලා ලා ස්වාබාවදර්මය අපට බැට දුන්හ.සුනාමිය හාලි ඇල බදුල්ල අද ගංවතුර අරණායක නාය යෑම මෑත යුගයේ පාඩම් ය... අප එවන් අවස්තාවල ආගම් කුල ජාති විසිකොට අසරණ වූ අපේම මිනිසුන් වෙනුවෙන් කැප වුනේය..මේ සියලු ආදාර හුදෙක් ජනතා විමුක්ති පෙරමුනේ නොව ලාංකීය උනුවූ හදවත් ඇති දහස් ගනනකගේය..... කොටින්ම තමාගේ දෛනික වැටුප මේ විනාශයට කොටුවූ මිනිසුන් වෙනුවෙන් කැප කෙරූ රාජ්‍ය සේවකයන් ඇත..ඒ අපගේ මනුස්සකමයි...ඒ අපේ රටේ උදාර ගුණයයි... වාසනාවට එය තවම අපේ සිත්වල ඉතිරිව ඇත

රටේ සෑම ස්වේච්ඡා කන්ඩායම් දේශපාලන ... ස්වාදීන.ආයතන..රාජ්‍ය ආයතන විශ්වවිද්‍යාලයීය පාසල්..පල්ලි පන්සල් වල මනුෂ්‍යත්වයේ දෑත් අසරණ වූ මිනිසුන් වෙනුවෙන් එසවින..ගංවතුර නායයෑම් අපට අකාරුණික වූවද ඒ අකාරුණිකත්වය අපට මනා පාඩම් රැසක් ඉගැන්වීය... වද බෙහෙත් දමනවායැයි කියන තම්බියාගේ කෑම සිංහලේ එකාටද... සිංහලේ එකාගේ හලාල් නොවුන බත් පත තම්බියාටද කෑ හැකි වග මා නෙත් අඹිමුවෙහිම පසක් විය..එසේනම් ඇයි ඔබ මම මේ ජාතින් වලට වෙන්වෙලා..ආගම් වලට වෙන් වෙලා... ආයෙත් එන විනාශය හමුවේ නොව සෑම දිනකම ගංවතුර අපට ඉගැන්වූ අමරණීය පාඩම සිතේ රුවා ගන්නට හැකිනම් එය ඉතා ජයග්‍රහණයකි

මා පෙරටුගාමියෙක් දැයි නොදනිමි ජවිපයේදැයි නොදනිමි..එහෙත් එක්සත් වමක නොබැදුන සුන්දර සිහිනයක් මා ඉදිරියේ ඇත.. එහෙත් මිනිසුන්ගේ කදුල අඹිමුව මහා කැසිල්ලක් මට ඇත..මට නෙමේ බයියන් ටොයියන් මුලුමහත් ලාංකීය කැඩී වෙන්වුන සමාජයටම ඇත... මා කලේ මගේ දේශපාලන මතයට එරෙහි දෙයක් දැයි මට නොතේරෙයි..කම්පිත ජනයා වෙනුවෙන් වසර ගනනාවකට පසු රතු තරුව මා ඇගලා ගත් තේය..ඒ ජවිපයේ දේශපාලන මග හෝ වෙනත් යටි අරමුණක් නිසා නොව..කවුරුන් හෝ මිනිසුන් වෙනුවෙන් කැපවන්නා කෙරෙහි මා තුල තිබූ ලැබැදියාවයි..ප්‍රේමයයි... මේ ලිපිය හෙට මාහට හිසරදයක් දෝශාරෝපනයක් විය හැකිදැයි නොදනිමි... සියල්ලන් මේ බෙදුන වම එක මගේ ගෙන යා යුතුය..එයට කාලීනව වැදගත් වන වාම සහෝදරත්වයේ දෑත් බෙදී වෙන් වුන වමෙන් ම බිහිවිය යුතුය...

නැතිනම් සෑමදාව පීඩිත පන්තිය නොව පීඩිත දේශපාලනයද දනවාදය තුල ගිල්වෙනු ඇත..නොදැනුවත්වම විනාශය කරා යනු ඇත... එකම වමක් මිස වම් දෙකකට කිසිදාක දුප්පතාගේ ගින්නට සැබෑ සහය දීමට නොහැකි වනු ඇත..මා දන්නා විශාල දේශපාලනක් නැත..එහෙත් මා දන්නා එකක් ඇත.... පෙරටුගාමීන් මෙන්ම ජවිපයද නාමිකව හෝ නිනාමිකව දැන් මිනිසුන්ගේ සගයා නොහොත් ගැලවුම් කරුවා බවට පත්ව ඇත..එහෙත් ඒ තැන තැනය..මා උගත් සහ දන්නා එකම දෙය...පීඩිතයාට ඇති ලොකුම බලය පීඩිත පන්තියේ සමගියයි..එය නොමැති තැන දනවාදයේ ගිනිසිලු පැතිරෙනු ඇත..එක්සත් වමක් නොබෙදුන වමක් මිනිසත් රටක් යන සුබ සිහිනය කෙරේ මා ඇගිලි ගනිමි....

චරිත් ජනප්‍රිය ,යොහාන් සිල්

යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඇවන්ගාර්ඩ් අධිපති නිශ්සංක සේනාධිපති සමග ඇමරිකාවේ ඩිස්නිලන්තයේ සිදුකරන ලද සංචාරයක තොරතුරු ඡායාරූප සමග අද මාධ්‍යයට හෙලිදරව් විය.

 

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකරන ලද මෙම හෙලිදරව්වේදී විජේදාස රාජපක්ෂ ඇතුළු පවුලේ උදවිය නිශ්සංකගේ වියදමින් මෙම සංචාරයේ යෙදී ඇති අතර එම ගමන සදහා නිශ්සංක සේනාධිපතිගේ බිරිද හා කුඩා දරුවාද එක්කරගෙන ඇත. ජයදාස රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපති මහතාගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ සංචාරය කළ බවත්, එහිදී ඉඳුම් හිටුම්, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත් සඳහන් කරමින් සරත් ෆොන්සේකා ඊට අදාළ ඡායාරූප කිහිපයක් මාධ්‍යයට ලබාදුන්නේය.

 

එම ඡායාරූප ලබාගෙන ඇත්තේ 2006 මෙම ඡායාරූපවල දැක්වේ. එවැනි සමීප සබඳතාවයක් නිශ්ශංක සේනාධිපති හා විජයදාස රාජපක්ෂ අතර ඇති බවත් එය හෙළි කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් තමාට වෙලේ විදානේ යැයි කියන විජයදාස රාජපක්ෂ ගැන තවත් කරුණු හෙළි කිරීමට සුදානම් බවත්,‍ ඔහු අවධාරණය කළේය.

 

එක්සත් කාන්තා පෙරමුණ ලෙසත් ඩයනා ගමගේ  පදනම  ලෙසත්  මෙකී ආණ්ඩුව  නිර්මාණය  කිරීමටත්, මහින්ද  රාජපක්ෂ රෙජීමය ප්‍රමුක ඒකාධිපති  පාලනය  පරාජය කිරීමටත්,  සුවහසක් මිනිසුන්  එකී  වියරුවෙන්  නිදහස්  කර  ගැනීමට  දායක  වූ  අරගල කල කෙනෙක්  ලෙසත් මෙකී සටහන මා  නියෝජනය  කරන ලාංකීය  ගැහැණිය  ප්‍රමුක  සියලු  ජනතාව  අතරට  පත්  කිරීමට  සිතුවෙමි..

 

 

ඒ  මන්ද  යත් ?

 

 

අප  ජාතිවාදී  ආගම්වාදී  නරුම  සමාජ  සංවර්ධනයේ  ප්‍රගමනයට  දායක  නොවන  වහල්  වැඩවසම්  සිතුවිලි, සහිත  ක්‍රියා කාරීන් පරාජය  කොට  එලවා  දමනු  ලැබිණි. දැන්  අප  නිදහසේ  සිතන්නට  කතා  කරන්නට වෙර  දරන සමාජ   සංවර්ධනයේ  ප්‍රගමනයට දායක  වන මිනිසුන්ය.

 

 

එනිසාවෙන්ම පියාට  එච්  අයි  වී  වයිරසය  වැළදුණු  නිසා  දරුවෙක්ට  ඉගෙනීමට  පාසලක්  අහිමි බව මාධ්‍ය  ඔස්සේ  වාර්තා  වන  විට  ගැහැණියක් ලෙස  ඒ  මවගේ  වේදනාවත්  ඕනෑම  දරුවෙක්ට  පළමුවත්  දෙවනුවත්  තෙවනුවත්  අධ්‍යාපනයට  ඇති  අයිතිය  මා  හිස්  මුදුනින්  පිළිගන්නා නිසාත් ඒ දරුවාත්  මවත්  සොයා  කුලියාපිටියේ  ඔවුන්  වෙසෙන  කුඩා  නිවහන  වෙත  ගමන්  කරනු  ලැබිණි.

 

 

පාර සොයා  ගැනීමට  පාර  අසන  විට  නිවෙස්  ලග  පාත  තවත්  කාන්තාවක්  අපට පාර  කීවේද  කැමැත්තකින්  නොවේ.

' ඔන්න  ඔය  ප්‍රජා  ශාලාව හරියේ  මිස් ගෙවල් ඇත්තේ'

ඒ  වචන  සුහද  ශීලි  නැත.

 

 

ඔවුන්ගේ  එම  හැගීමම දරුවාට  පාසල  අහිමි  කිරීමේ  විරෝධය පළකිරීමේ ඛේදනීය තත්වය  නිර්මාණය  කරන්නට  ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

 

 

නතරකල  නොහැකි  කටුක  යතාර්ථය  එය  වන්න්නේමය. එය  පුද්ගලිකව  ඒ  මිනිසුන්ගේ  වරදක්ද  ? නරුම  කමක්ද ?

 

 

අන්තර්ජාලයේ  මුහුණු  පොතේ  ප්‍රොෆයිල්  පික්චර්  වෙනස්  කර  ගත් පසු  එම හුදු  සටන්  පාඨ කීමෙන්  එම  ප්‍රශ්නය විසදෙන්නේද?

 

 

අප  මුහුණ  දෙන  අභියෝගයත්  විචාරයට  ලක්  කර  ගත  යුතු  ප්‍රශ්තුතයත්  තිබෙන්නේ  අන් තැනක්  නොව  එතනය.

 

 

එකී  තත්වය  වස්තු  විෂය  කර  ගනිමින්  මම  මෙම  ප්‍රශ්නයට  එළබෙන්නෙමි..

 

 

පසුගියදා කුලියාපිටියේ දරුවාගේ සිද්ධියේදී ප්‍රදේශවාසීන්ගේ හැසිරීමෙන් ඒත්තු යන්නේ මෙම රෝගය සම්බන්ධයෙන් ඔවුන්ගේ නිසි දැනුවත් වීමක් නැති බවද ඔවුන්ව දැනුවත් කර නොමැති බවද එසේත් නොමැති නම් ඔවුන් කරුණු වැරදි ලෙස ග්‍රහණය කර ගෙන ඇද්ද පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ දිනයේ  පවසා  තිබු  අයුරු  මම  දුටුවෙමි.

 

 

එය  ඉතාමත්  හොඳ  අදහසක්  වන  අතරම  එකසත් කාන්තා  සංවිධානය ලෙස  අපද  ඒ  සමගාමිව වැඩසටහනක්  පැවැත්වීමට  තීරණය  කර  ඇත.

එසේම  නිශ්චිත  සිද්ධියට  අදාලව  මා  නියෝජනය  කරන  පදනමින්  එම  දරුවාගේ  හෙට  දවසේ  අධ්‍යාපනය  වෙනුවෙන්  කල  හැකි  සිදු කිරීමටද  අප  සංවිධානය  තීරණය  කර  ඇත.

 

 

එහෙත්  එතනින් එම ප්‍රශ්නය  විසදෙන්නක්  නොවන  බව  මම  විශ්වාස  කරන්නෙමි. ඇත්තටම  ප්‍රශ්නය  නිර්මාණය  වන්නේ  කුලියාපිටියේ ප්‍රදේශවාසීන්ගේ නොදැනුවත්  කම පමණමද?

 

 

නැත  එය  එසේ  නොවේ. මා  එය  දකින්නේ   එය  ඉඳි  කටුවක පැටලුණු නූල් බෝලයක්  මෙන්  සිතුම්  පැතුම්  වලට  සීමා  නොවූ මුළු මහත්  ක්‍රමවේදයක  අර්බුදයකි. එය  ශ්‍රීලංකාවට පමණක්  සීමා  නොවන  මෙවැනි  රෝගයක්  ඇති  වූ  පසු  මුළුමහත්  ලෝකය පුරාම  ඇති වී තිබෙන  නිවැරදි  ක්‍රියාවලියක්  නැති  වීමේ  ප්‍රතිඵලයකි.

 

 

මේ සංකීර්ණ  කාරණාව වචන  කිහිපයකට  ගොනු  කිරීමට  යෑමේ  ප්‍රතිඵලයක්  ලෙස  අධ්‍යාපන  අමාත්‍ය  අකිල  විරාජ්  කාරියවසම්ට පක්ෂ  විපක්ෂ  සියලු  දෙනා  එක් වී  අර්ථ  විරහිතව  දෝස් මුරය  නගන  බව  මම  විශ්වාස  කරමි .

 

 

අකිල  විරාජ්  ඇමති  වරයා  මේ  වන  විට  දරුවාට  උසස්  පාසලක්  වෙන්  කර  දී  අවසානය.

 

 

සමහරවිටක අන්තර්ජාලයේ  සමාජ  වෙබ්  අඩවි  වල  දිගින්  දිගට  විරෝධය  පල  කරන  දරුවාගේ  අධ්‍යාපනය  වෙනුවෙන්  හඬ  නගන,මුහුණු  පොතේ  face book හි  ප්‍රොෆයිල්  පික්චර්  මාරු  කරගෙන  සිටින  දෙමා  පියන්ම  ඔවුන්ගේ  දරුවා  සිටින  පාසල බව  දැන ගන්නා පළමු  මොහොතේම,..

 

 

ඉහත  කී  සියළු සංවේදී  කතා  පසෙකලා

 'අපේ  ළමය  ඉන්න  ඉස්කෝලෙට  ඔය  දරුවා  දාන්න  එපා'

 යනුවෙන්  තවත්  ප්‍රශ්නයක්  නිර්මාණය  විය  හැක..

 

 

පියා  මිය  ගියේ  එච් අයි  වී  වයිරසයෙන්ද  ? මවට  එම  වයිරසය  තිබෙන්නේද ? එකී  සංවාදයට  මා  පැටලෙන්නෙම නැත. මන්ද  මා  මතුකරණ තර්කය  සනාත  කිරීමට  එය  අදාළ  වන්නේ  නැත.

 

 

එය  කුමක්  වුවත්  දැන්  එකී  සැකය  නිර්මාණය  වී  අවසන්ය. කුලියාපිටියේ  දෙමාපියන්  ක්‍රියා  කරන්නේ  එම  සැකය  සහිතවය. හෙට  දවසේ  දරුවා  ඉගෙන  ගන්නා  පාසලේ  දෙමා  පියන්  මේ  ඒ  දරුවායැයි දැන ගතහොත්  ක්‍රියා  කරන්නේ  ඉහත  මා  කී  සැකය  සහිතවය.

 

 

එසේ  ක්‍රියා  කරනවිට  ඔවුන්ගේ  මනෝභාවය  ක්‍රියා  කරනුයේ'අම්මට එච්  අයි  වී  තියෙනවනම්  අම්මට  තුවාලයක්  වුනු  වෙලාවක එවැනි මොහොතක  වුව  දරුවාට  එම ලේ  මුහු  වුවහොත්  දරුවාට  එච්  අයි  වී වයිරසය  පැමිණීමේ  සම්භාවිතාව  ඇත  යන සැකයෙනි.

 

 

එසේ වන  කල්හි  මගේ  දරුවටත්  දරුවෝ  දරුවෝ  රණ්ඩුවක්  වෙන  වෙලාවකවත්  ඒච් අයි  වී  එන්න  පුළුවන්. ඕනෑම  දෙමාපියෙක් සීයට  එකේ  එම  සැකයට  හෝ  බිය  වීම  සාමාන්‍ය  දෙයකි.

 

 

එසේනම්  නිර්මාණය  වී  ඇති  එම  කටුක යතාර්තයට  පිළිතුරු  හෙවීම  හැර  අන්  කිසිදු  පිළිතුරකින්  හෝ  දිගින්  දිගට  මෙය  පුවතක් ලෙස  තම  මාධ්‍ය  ජනප්‍රිය  කර  ගැනීමටත්  පටු  දේශපාලන  අරමුණු  වෙනුවෙන්  යොදා  ගැනීම  තුලත්  සිදු  වන්නේ  අන් කිසිවක් නොව  දරුවාගේ  මුළු  මහත්  අනාගතයම  විනාශ  කිරීමකි.

 

 

පිළිතුර  ඇත්තේ  කොතනද ?

 

 

මෙම  මවට  සහ  දරුවාට  එංගලන්තයේ  සිටින  ශ්‍රීලාංකිකයන්  පිරිසක්  එංගලන්තයට ඔවුන් ගෙන්වා  ගැනීමට  කටයතු  කරන  බව  තොරතුරු  මාධ්‍ය  ඔස්සේ  වාර්තා  වූ  අයුරු  මම  දුටුවෙමි.

 

 

මා  ඉතා  හොදින්  දන්නා  කරුණු  අනුව  මවට  එච්  අයි  වී  වයිරසය  තිබෙන්නේනම්  විදෙස්  ගත  වීමට  පෙර  සිඳුකරන  පරීක්ෂණ  වලදී  එය හෙළි  වන  අතර  බොහෝ  විට  එය ඇයට විදෙස්  ගත  වීමට  මඟද  අහුරනු  ඇත. අනෙක්  කරුණ  ඇයට එම  වයිරසය  තිබේද  නැද්ද  යන්න  පරීක්ෂා  කර  ගැනීම  ඇගේ විදෙස්  ගත වීමටත්  එංගලන්තයේ  සිටන එකී  ආදරණිය  ශ්‍රී  ලාංකික  මිනිසුන්ගේ  උත්සාහයත්  යතාර්ථයක්  කර  ගැනීමට  පිටුවහලකි.

 

 

එසේම  මේ  මොහොතේ  ඇයට සමාජයෙන්  එල්ල  වන  කටුක  යථාර්ථයට මුහුණ  දීමටද  ඇයට ලැබෙන  මහත්  වූ  අස් වැසිල්ලකි. යම්  හෙයකින්  ඇයට එම  වයිරසය  තිබෙන්නේනම්  හෙට  දවසේ  ඇයගේ ජීවිතයටත්  දරුවාගේ  ජීවිතයටත්  දවත්  බොහෝ දෙනෙක්ගේ  ජීවිත  වලට සිදු  කරන  මහත්  වූ  සධාරණයකි.

 

 

මන්ද පියා  මිය  ගියේ  එච් අයි  වී  වයිරසයෙන්ද  ?මවට  එම  වයිරසය  තිබෙන්නේද ? සංවාදය  නොව  ඇති  වී  තිබෙන  යථාර්ථයට පිළිතුරු  සෙවිය  හැක්කේ  එලෙසින්  පමණි.

 

 

අපි මෙකි  නිශ්චිත  ප්‍රශ්නය  මදකට  බැහැර  කර  හෙට  දවසේ  මෙවන්  තත්වයක්  ඇති  වුවහොත්  අප  ගත  යුතු  ක්‍රියා  මාර්ගය  කුමක්ද ?

 

 

1 කුලියාපිටිය  පාසලේ  දෙමාපියන්  මෙන්  රැස්වීමක්  පවත්වා  දරුවා  පාසලට  ගැනීමට  විරෝධය පෑමද?

 

 

2  තමන්ගේ  දරුවාට  පාසලක්  නොමැති  වෙන  කල්හි  පාසලක්  සොයා  කුලියාපිටිය  අධ්‍යාපන  කාර්යාලයට  පැමිණෙන  විට  අදාළ  අධ්‍යාපන නිලධාරින්  සැගවීමද? ( කුලියාපිටිය  මව  මට  පැවසු  පරිදි  එසේ  සිදු  වී  ඇත )

 

 

3 මෙවැනි  ප්‍රශ්නයක් රස  කර  කෑමේ  න්‍යාය  අනුව  නොයෙක්  ව්‍යාපෘති  උදෙසා  රස  කර  කෑමද ?

 

 

නැත මුළු  ක්‍රියාවලියේම  ප්‍රතිපලය  එකී  තත්වයට  මුහුණ  දෙන්නන්ට  සිදු  කරන  බලවත්  අසාධාරණයකි. මෙවැනි  රෝගී තත්වයන් ඇති  වූ  පසු  වෙනත්    රටවල්  ක්‍රියා  කරන  ක්‍රියාමාර්ග  සීයට සියක්  නිවැරදි  නොවුවද  අප  අධ්‍යනය  කල  යුතුව  ඇත.

 

 

කුලියාපිටිය  තත්වයක්  ඇති  නොවීමට සමාජයේ  ඔවුන්  විශේශිතයන්  නොවීමට  අප  වග  බලා  ගත  යුතුය. ඔවුනුත් අප  වැනි  මිනිසුන්  බවට  පත්  කල  යුතුය. එසේම  රෝගී  තත්වයන්  හදුනාගෙන  තවත් කෙනෙකුට  ඇතිවීමද  වැළක්විය  යුතුමය.

 

 

එය  මුළු මහත්  රාජ්‍ය  පද්ධතිය  තුල  නිවැරදි  විය  යුතු  තත්වයකි. මෙකී  ආණ්ඩුව ක්‍රියාත්මක  කරවනු  ලබන  එක්සත් ජාතික පක්ෂයේ  සාමාජිකාවක්  ලෙස  හෙට  දවසේ  ඊට අදාළ  අප සංවිධානයේ  යෝජනා  අදාළ  බලධාරීන්ට  ලබා  දීමත්  ක්‍රියාත්මක කිරීමටත්  පොරොන්දු  වන  වග  මෙහිලා  සදහන්  කල  යුතුමය.

 

 

නැවත අප  කුලියාපිටිය නිශ්චිත  ප්‍රශ්නයට  එළබෙමු.

 

 

1 දැන්  වහාම සියළු මාධ්‍ය  දර්ශන  නැවතිය  යුතුය. එයට  රජය  මැදිහත්  විය  යුතුය. කුලියාපිටිය  මව  දරුවා  විශේශිතයන් නොවන්නේ එසේය. අධ්‍යාපන  ඇමතිවරයා  කියන  පරිදි පාසලක්  සුදානම්  නම් එම  පාසලට  දරුවා  ඇතුලත්  කල  යුතුය.

 

 

2 මව රෝගී  තත්වය  පිලිබදව  ඇයටද ප්‍රශ්නයක්  තිබෙන්නේ නම්  එය  ඉතා  ඉකමනින්  නිවැරදි  කර  ගත  යුතුය.

 

 

3 එසේ නොවෙන්නේනම් ඇයට නිර්මාණය  වී  ඇති  තත්වයෙන්  පීඩාවෙන්  මිදී  ජීවත්  වීමට  සියලු  පරිසරයන්  රජය  අප  මැදිහත්  වී  ඉටු කල  යුතුය.

පියා  මිය  ගියේ  එච් අයි  වී  වයිරසයෙන්ද  ? මවට  එම  වයිරසය  තිබෙන්නේද ? සංවාදය  අදාළ  නොවන්නේ  ඉහත  සියලු  තර්කයන් මතය.

කුණු  වී  ඕජස්  ගලන  ප්‍රශ්නයක  ඒ  ඕජස්  රස  නොබලා  ඉතා  ඉක්මනින්  මුලින්  වේදනා  නාශක  දී  වේදනාව  සමනය  කොට ප්‍රශ්නයේ  මුල  මැද අග  සොයා නිශ්චිත  ස්ථිර ප්‍රතිකාර  ලබා  දිය  යුතුය.

 

 

ඒ වෙනුවෙන් කල  හැකි සියල්ල  සිදු උපරිමයෙන් දායක  වීමට  මෙහිලා  ඔබට  පොරොන්දු  වන අතරම  මේ දසතින්  පැටලුණු ප්‍රශ්නයත්  හෙට  දවසේද ඇති  විය  හැකි  මෙවැනි  තත්වයන්  වලට  මුහුණ  දීමටත්  ඔබේ  අවංක  වූ  මැදිහත්  වීමත්  එක්සත් කාන්තා පෙරමුණ ලෙස අප  බලාපොරොත්තු  වෙන්නෙමු.

 

 

ඔබට  රටට  ජය. සියල්ලෝ  මිනිසුන්ය.

 

 

ඩයනා ගමගේ.

 

 

එක්සත් කාන්තා පෙරමුණේ සභාපතිනි..