22
Sun, Oct

Top Stories

ප්‍රියන්ත සිරිකුමාර සහ ගායියා පතිරන රගන දායකත්වය සපයන සුරංග කටුගම්පොලගෙ කෙටි චිත්‍රපටය The Delivery 74 වෙනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා නිර්දේශවී තියනවා . මිට අමතරව තවත් චිත්‍රපට 21 වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කරනවා .

තිසර ඉඹුලාන විසින් නිර්මාණය කරන ලද ‘නිනෝ ලයිව්‘ චිත‍්‍රපටය එය නිමවා වසර දහයක පමණ කාලයක් ගෙවීමෙන් අනතුරුව ප‍්‍රදර්ශනය ආරම්භ කර ඇත. පොදු වශයෙන් ගත්කළ චිත‍්‍රපටය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

ලංකාවේ වාර්ගික අර්බුදය අදින් තිස් වසකට ලඝු කළ ද , එහි පුරාණ කතාව සියවස් ගණනාවක් පුරාවට සහ, දේශ සිමා ගණනාවකගෙන් එහාට වුව ද ගෙන යා හැකිය. ඒ අර්ථයෙන් වත්මන් සිහිනයට ඇතුළු වුව හොත් , අප දකින්නේ මොනවා විය හැකි ද ?

"බදින්න ඉස්සර - ආදර අන්දර
කරනව ඇත්තට - ගින්දර සීතල"

කලකට කලින් මම තනු නිර්මාණය කරපු ගීතයක්.ගීතයේ පද තිලකසිරි අන්කල්ගෙන්,මේ ගීතය LEGENDS සංගීත කණ්ඩායම හරහා නැවුම් ආකාරයකින් ඔබ වෙත ගෙන ඒමේ ආසාවෙන් හිටියේ.මං හිතන්නේ ඒ උත්සහාය සාර්ථක වුණා.මීට ටික කලකට පෙර හොරණ විද්‍යාරත්න නව රංග ශාලාවේදී මෙහි නව සංගීත සංයෝජනය ජන ගත කිරීමට අපට හැකි වුණා.මං හිතන්නෙ එදා තමා LEGENDS පටන් ගැනුනෙ.හැමෝටම අලුත් අත්දැකීමක් වුණා.කවදත් වගේ මේ නිර්මාණ ඇතුලෙ මාත් සමග බොහෝ අය සිටියා,පවුලේ උදවිය,සහ ළගම මිතුරන් සහ මගේ නිර්මාණ පිළිබද ගුණ දොස් විචාරය කරන අය ඒ අතර ප්‍රධාන වෙනවා.


මෙහෙම කිව්වේ. සමිත. සමිත සමරතුංග. හොරණ විද්‍යාරත්නයෙන් බිහිවුණු තරුණ සංගීත ශිල්පියෙක්. මේ සමිතගේ අලුත්ම අත්හදා බැලීම.

ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ  අමා ඵලයක් වන් දාරක ස්නේහය පිළිබඳ විශිෂ්ට ගී පද දහස් ගණනක් ලියැ වී ඇතත්, ඊට අවමන් කෙරෙන ආකාරයේ ගී පද රචනා කිහිපයක් ද ලියැ වී තිබේ.

දයාරත්න රණතුංග ගායනා කරන 'රූං පෙත්ත කැරකෙනවා' සහ නිමල් ගුණසේකර ගායනා කරන 'මට නෙවෙයි ඔබ ආදරය කලේ ' ගී, එයින් මුල් තැන ගනී.
ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයෙන් ලියැ වී තිබෙන මෙකී දුර්ප්‍රබන්ධවලින් පීතෘ ස්නේහය තිරිසන් මට්ටමකට ඇද දමා තිබේ.

'සුදු කොට රැලි ගවුම ඇඳන් පාසල් ගිය කාලෙ වගේ'
'පුංචි පුතේ නුඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා',
'පුංචි පුතා අපෙ ලොවට එකතු වී මව් පදවිය ලද දා

මා අමතක කර සුරතල් බැලුවේ කිමද කියන් ළඳුනේ - ආදරේ නම්' වැනි අදහස්වලින් ඉස්මතු කෙරෙන්නේ රෝෂයයි.

තමන් ගේ ලෙයින් ඉපදුණු දරුවකු ලෙස මේ ආකාරයෙන් බලනු ඇත්තේ කවර නම් පියෙකු ද? දරුවා කෙරෙහි දක්වන අපමණ මාතෘ සෙනෙහසට වෛර කරන පියවරුන් යනුවෙන් හැඳින්වෙන ජඩ මනස් ඇත්තන් සිටිය හැකි වුවත්, එය ගී පද රචනයකට යොදා ගත හැකි ආකාරයක් ද තිබේ. ඒ විවේචනාත්මක ව ය.

දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වන වධ වේදනා සුව වන්නට කලක් ගත වන අතර, මව ගේ එකී වේදනා සමනය කෙරෙන දිව ඔසුව වන්නේ ද දරු සෙනෙහස ම ය.
මේ දෙස කරුණාව පෙරදැරි ව බැලිය හැකි ආදරණීය හදවතක් පිරිමියාට තිබිය යුතු ය. මිනිස් පිරිමියා ගෙන් ලෝකය අපේක්ෂා කරනුයේ එවැන්නකි. පීතෘත්වය යනු එයයි.

උක්ත ගී පද ද්විත්වයෙන් පීතෘ සෙනෙහසට සහ සිංහල ගී පද සාහිත්‍යයට සිදු කරන ලද ඉමහත් වරද, නිවැරැදි කෙරෙන ආකාරයේ මහඟු ගී පද රචනයක් ඇස ගැටීමත් පිනකි. පහත දැක්වෙන්නේ එයයි.

රාත්‍රියේ සම්භෝගය අවස්ථාව ද පාදක කර ගනිමින් ලියැ වී තිබෙන මෙකී පදවැල සාහිත්‍යසම්පන්න පදවැලක් ලෙස අග්‍රස්ථානයේ වැජඹෙයි.
දරුවා නිදි ගන්වන ඈ, සැමියා නිදන නිදි යහනට 'නූපුර නොසළා' පැමිණින්නී ය. හෙවත් වඩින්නී ය. ඒ පුතු ඇහැරෙන නිසා ය. ඒ මොහොතේ ම අනෙක් යහනක නිදන පුතු පිළිබඳ ව, පියා ගේ හදවතේ ඇති වන අපමණ පීතෘ ස්නෙහය, ගී පද රචකයා ඉස්මතු කර තිබෙන ආකාරය මානව ගුණයෙන් අනූන ය.

පීතෘ ස්නේහය, විජයිඳුපායේ තබා තිබේ. එහෙත්, මව ගේ ඇකයෙන් මොහොතකට මිදෙන දරුවා, අනාරක්ෂිත වන බව දැන ගන්නා පියා ගේ සිත චංචල වෙයි. සියලු අදහස් ජනිත වන්නේ ඒ ඔස්සේ ය. පුතුට ආශීර්වාද කරන ලෙස පියා, මවට ආරධනා කරයි. ඒ, මව් සෙනෙහසේ අගය දන්නා නිසා ය. ඒ අනුව, මව සහ පියා සම අසුන්වල හිඳුවා තිබේ. මෙය නූතනවාදී කියවීමකි.

මෙයින් ප්‍රකාශමාන වන්නේ පීතෘ ස්නේහය යනු, ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ම දිගුවක් ලෙස පුනරාවර්තනය කෙරෙන්නක් බව ය.
පීතෘ ස්නේහය යනු, ස්ත්‍රී ශරීරයට ලොල් වීමෙන් ඇති වන රෝෂය යනුවෙන් අදහස් කරන ලද අමන, අනුවන රචකයන්ට, මේ ගී පදවැල අප්‍රමාණ පාඩමක් වැන්න.

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසළා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳුපායට වඩින ලියේ

බුදුගුණ ලකරින් මංගල සුතුරින්
පිරුවානා කවි සිලෝ කියා
ආශිර්වාදය කළ මැන පුතු හට
සරසවි දැහැනෙන් තිලක තියා

සඳ රේඛාවෙන් බසින ලියේ...

සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා
හෙල විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහනේ සිරස තියා

සඳ රේඛාවෙන් බසින ලියේ...

ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - කලණි පෙරේරා
ගී පද - හේමසිරි ගුණතුංග

- කුමාර ලියනගේ

පසුගිය දා දිවි සැරියෙන් සමුගත් දීපාල් සිල්වා නම්වූ ගායකයා ගැන අපේ රටේ මාධ්‍ය තුලින් ඒ හැටි යමක් කථා නොවෙන්නේ අහම්බෙන් හෝ වැරදීමකින් නොවේ. රටේ කලාකරුවන්ගේ ධූරාවලියේ ඔහු වැනි අය ප්‍රබුද්ධ හෝ අප්‍රබුද්ධ පමණක් නොවේ අඩුම වශයෙන් පීචං කැටගරියේවත් ස්ථානගත කරන්නට බොහෝ දෙනා කැමති නැත. රටේ එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායකයෙක් වී රටේ මහා ජාතියේ ගැලරියට ලැජ්ජාවෙන් අඬන්නට හිතෙන ගැලරි පන්නයේම සින්දු කියපු දීපාල්ගෙ සින්දු අසා කවුරුත් ඇඬුවේ නැත. ඒ වෙනුවට ඒ සින්දු වලින් ගැලරිය පුළුවන් තරම් ආතල් ගත් අතර අවසානයේ දීපාල් ද ඒ ආතල් අතරම සැඟව ගියේය.

ගායකයෙක් නොඑසේනම් කලාකරුවෙක් ලෙස අපේ සමාජය විසින් ස්ථානගත කරන කැටගරියට අයිති වන්නට නම් යමෙක් කළ යුතු ‘ගෙදර වැඩ’ බොහෝ ප්‍රමාණයක් තිබෙයි. ඔහු හෝ ඇය නිර්මාණ නිෂ්පාදනය කළ යුතු අතර ඒවා හුදී ජනයා අතර ඉතා ප්‍රබුද්ධ ලෙස හුවමාරු කරගත යුතුය. මාධ්‍ය හෝ වෙනත් සමාජ අවකාශ වල එම කලා නිෂ්පාදනයට ඉඩක් ලැබෙන්නේ එවිටයි.

දීපාල් සිල්වා හිටියෙ මේ ‘වැදගත්’ ගනුදෙනුවෙන් එළියෙ. ඔහු තනු නිර්මාණය කර නොමැති තරම්. ඒ වෙනුවට ඔහු අනුන්ගේ ජනප්‍රිය තනු වලට වචන එකතු කරලා කොචිචි කරල් වගේ සිංදු හැදුවේය. මේ සිංදු වලට වේදිකාවක් හදල දෙන්න අපේ රටේ සමනල වර්ණ මාධ්‍ය වලට පුළුවන් උනේ නෑ. මොකද මධ්‍යම පන්තියේ වැදගත් සිවිල් සමාජ මාධ්‍යයේ ලිට්මස් පරීක්ෂාවෙන් ඔහු අසමත් වෙලයි හිටියෙ. ඉඳල හිටලා අමාරුවෙන් ඔහුව සමත් කරලා ගීතයක් දෙකක් ගුවන්ගත කරලා දැම්මත් සමස්තයක් වශයෙන් දීපාල් සිල්වා මාධ්‍ය ලෝකය තුල කුස්සියේ මුල්ලකට කරලයි තිබුනේ.

‘ප්‍රසංග වේදිකාව’ කියල උජාරුවෙන් හදුන්වන සංගීත බිස්නස් ගෝරනාඩු ප්‍රසංග තමයි දීපාල් වගේ ‘ගැලරියේ’ යැයි හංවඩු ගසා ඇති කලාකරුවන්ට ජිවත් වෙන්න හුස්ම ටිකක් හොයලා දෙන තැන. සිස්ටම් එක විසින් වට්ටෝරු ගත කරණ ලද ජනතාවකට කන බොන රමණය කිරීම සහ පන්සල් පල්ලි වලට යෑම හැර සමාජ ජිවිතයක් ගැන මෙලෝ අලයක හැගීමක් නැති බොහෝ හුදී ජනයා තමන්ගේ ‘සමාජ ජිවිත විනෝදය’ හොයාගන්නේ ප්‍රසංග වේදිකා වටා රැය පහන් කරමින්.

දීපාල් සිල්වාගේ ගීත සමාජගත නොවී ඒවා ගැලරිගත වීම නිසා ඔහු ප්‍රසංග වේදිකාවේ ගායකයෙක් වෙනවා. ප්‍රසංග වේදිකා ආතල් වෙලඳපොලේ සුරතාන්තය එළඹෙන පැයේ වේදිකාව මතට ගොඩවදින දීපාල්ගෙ ආතල් ජනතාවට හෙමින් සීරුවේ වචන වලින් ටොකු අනිනවා. දෙමළාගේ ප්‍රශ්ණය අමු සිංහලෙන්ම සිංහලයා ඉදිරියේ එළියට දානවා. අවාසනවකට වගේ ගැලරියේ සිංහලයාට ඒවා ඇහෙන්නේ නෑ. ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු’ කියල දීපාල් කියනකොට ගැලරියේ සිට රජගෙදර දක්වා ඔක්කොම ‘බක බක ගා’ හිනා වෙමින් ගීතයට පාද ඇල්ලුවේ ‘අපිනම් ඔය කියන රටේ නෙමෙයි’ කියන්නා සේය.

නගර සභාවේ ලොරියේ වැඩකළ සුවඳරත්න විශ්‍රාම ගියා
අවුරුදු විස්සක ටෙම්පරියේම හිද කුණු ලොරියේම රස්සාව කළා

මේ වගේ ගීත ප්‍රහාර වලින් දීපාල් දමා ගහනකොට ඒවාවල ගීත සාහිත්‍යය නැති නිසා අධිපතිවාදී මාධ්‍යයට ඒවා අහුවෙන්නේ නෑ. ඒ නිසා ඒවා ගැලරිය තුල අතුරුදහන් වෙන අතර ඒවා අහුවෙන්නේ සුවඳරත්නලාගේම ‘ආතල් කලාපයට’ පමණයි.

තීරණාත්මක ලෙස දෙමළාව පරාජය කිරීමෙන් අනතුරුව හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑමට තරම් බයාදු ලෙස සහාසික උණු ජනතාවක් ඉන්න රටක, එම සහාසික කම් නිර්මාණශීලි ලෙස යළි යළිත් ප්‍රතිනිර්මාණය කර ගනිමින් තබාගැනීමට සමත් මාධ්‍ය - දේශපාලන සංස්කෘතියක් ඇති ‘රසික සමාජයකට’ දීපාල් සිල්වා ඇවිත් ඉතා කර්කෂ සංගීත බසකින් මෙසේ ගැයුවේය.

ආනන්ද භවන් එකට ඇවිත් තොසේ ගිලිනවා
එළියට ඇවිදින් යාපනේ දෙමලාට බණිනවා

කළු ජූලියත් සමග ඉතා සංවිධානාත්මකව දෙමළාව මහා සමාජයෙන් එළවා දැමීම නිසා ඔවුන් තුල ඇති වූ කම්පනය සහ මේ ක්‍රියාවලිය හා සම්බන්ධ ‘ගැලරියේ මිනිසුන්ගේ’ උභතෝකෝටිකය ඔහු තමාට සුපුරුදු රළු භාෂාවෙන්ම ඉදිරිපත් කළේය. තමාගේ කඩය ගිනිගත් පසු පදික වෙළෙන්ඳෙක් බවට පත්වූ දමිළ ව්‍යාපාරිකයෙක් ගැන ඔහු කියන්නේ මෙහෙමයි.

කන්න නැතුව හරි එකතු කරනවා - සවු හැලියට මම වැඳලා කියනවා
මෙතනම මම බිල්ඩිමක් ගහනවා - ආයෙත් මම මුදලාලිම වෙනවා
මටම ගහපු අය ළඟට ඇවිල්ලා - ආයෙත් මට මුදලාලි කියනවා
ලජ්ජා නැතුව මුන් ආයෙත් මට මුදලාලි කියනවා

සිංහල ජාතිකවාදී මතවාදයට නිය පිටකින් හරි අභියෝගයක් වෙනවා දැක්කොත් මහ ජාතියේ සංඝ-මාධ්‍ය-දේශපාලන බලකායෙන් තැන නොතැන බලන්නේ නැතිව ‘ඕල් අවුට්’ වර්ගයේ ප්‍රති ප්‍රහාර එල්ලවෙන හැටි පහුගිය කාලයේ සමාජය අත්දුටු සුලබ අත්දැකීමක්. එහෙත් දිපාල් නම් ඒවගේ අකරතැබ්බයන් වලට පත්වුණු බවක් නම් අප අසා නැත. ඔහුගේ ගනුදෙනුව තිබ්බේ ගැලරියේ සමාජය සමග. ඒ සමාජයේ තියෙන්නේ වෙනම නීති රීති. මේ වෙනම නීති රීති ඉවෙන් මෙන් හඳුනාගැනීමේ හැකියාවක් දිපාල්ට තිබෙන්නට ඇති. ගැලරියෙන් එහා තමාගේ සීමාවන් දුටු ඔහු සමාජය අමුවෙන්ම විවේචනය කිරීමෙන් ලබාගත් ‘සිවිල් බලය’ පුළුවන් තරම් ටොෆි සිගරට් වෙළෙන්ඳන්ට විකුණමින් ගතමනාවක් හොයාගන්න යහසුළු උනේ තමන් විවේචනය කරන ක්‍රමයේ ‘කපටි ගොදුරක්’ බවට තමන් ද පත්වී ඇති බව නොකියා කියමින්.

මෑත කාලයේ දීපාල් සිල්වා ජනප්‍රියත්වයට පත්වුනේ ‘පොඩි ළමයා’ යන අන්වර්ථ නාමයෙන්. එයට හේතු උනේ ගංජා නොහොත් ‘මල්’ ගැන ඔහු ප්‍රසංග වේදිකාවේ ගායනා කරපු ගීතයක්. 'පොඩි ළමයා' සංකල්පය දිපාල්ට හැම අතින්ම සම්බන්ධයි. ඔහුගේ ගීත පොඩි ළමයෙකුගේ පෝතක වැඩ ලෙස සලකා සමාජයේ අධිපතිවාදී මාධ්‍ය සංස්කෘතිකයෙන් ඔහුව එළියට කර තැබෙයි. ඊළඟට ඔහු පීඩිත දෙමළාගේ සහ මුස්ලිම් මිනිසාගේ ප්‍රශ්ණ අමුවෙන්ම මහා ජාතියේ පීඩිතයන්ගෙ ගැලරිය හමුවේ ගයන විට ඔවුහු පුංචි ළමුන් සේ ඒ ගීත වලට ‘රැප් ඩාන්ස්’ දමති. අවසානයේ ඔහුත් පුංචි ළමයෙක් බවට පත්වී ක්‍රමය විසින් සමාජය මත ඇති කරන ප්‍රශ්ණ වල ගැලරි ප්‍රකාශයෙකු බවට පත්වී ළමා විනෝදයක කොටස්කාරයෙකු බවට පත්වෙයි.

හන්දි ගානේ කිරිබත් කෑම නිසා අමන්දානන්දයට පත්ව ඇති මහා ජාතික ගැලරියේ ආතල් නිර්මාණය කිරීමේ සහ ආතල් කැඩීමේ සීමාවන් හොදින් අවබෝධ කරගෙන සිටී දීපාල් සිල්වා, තමන් මුල් කාලයේ ගැයූ මෙවැනි ගීත කිසි දිනක ප්‍රසංග වේදිකාවේ ගායනා නොකිරීමට ද වගබලා ගත්තේය. පහත දැක්වෙන්නේ එවන් ගීතයක පදමාලාවක්.

මුංඇට කන්ජි - මික්ෂර් කන්ජි
මික්ෂර් කන්ජි - ලාබයි සවු කන්ජි

අසු තුනේ මගේ කඩවල් සේරම
කලබල කාරයෝ කුඩු කෙරුවා
මැනේජර් මගේ මල්ලිගේ පුතාට
හොදටම ගුටි දී මැරුවා
අනෙක් නෑයෝ ටික වීසා හදාගෙන
එංගලන්තයට පැනල ගියා
කන්ජි පුරෝගෙන කරත්තේ දාගෙන
කන්ජි පුරෝගෙන මං ආවා

කන්න නැතුව හරි එකතු කරනවා
සවු හැලියට මම වැඳලා කියනවා
මෙතනම මම බිල්ඩිමක් ගහනවා
ආයෙත් මම මුදලාලිම වෙනවා

මටම ගහපු අය ළඟට ඇවිල්ලා
ආයෙත් මට මුදලාලි කියනවා
ලජ්ජා නැතුව මුන් ආයෙත් මට මුදලාලි කියනවා

යාපනේ තම්බි මොකද කරනවා
කොලොම්බු තම්බි පරිප්පු කනවා
තරුණ කොල්ලෝ ටික නිකං මැරෙනවා
කවදද අප්පා සාමය එනවා

ඉස්සර වාගේ බසෙක නැගිලා
යාපනේ යන්නට ආස හිතෙනවා
ආඩවනේ මුළු ලංකාවට ශාමය ඕනෑ

සරද සමරසිංහ
උපුටා ගත්තේ බූන්දි වෙබ් අඩවියෙනි

අහවරයි ලමා දින වෙලඳ ප්‍රවර්ධන.
මාකට් නැත, වැඩිහිටි දිනය අසරන.....
වේලක් නැතත් වේලක් ඔහේ වලඳන...
අම්මා අදත් ආවා කීර විකුනන.

දින දින මිනිස් ගුන පිරිහෙන
ලොවකට වටිනවා එක එක දින.
පෙන්වා ලොවට නැති මනුසත් කම....
වෙස් මුහුනකට නව පන දෙන.

බොරුවෙන් බොරුව ගෙන අටවන.
අට්ටාලයක නැත දිගු ආයුෂ.
එනමුදු හුරේ දා ජය පැන් බොන.
සාදයක් තමයි මුලු ලෝකෙම..

ඉතිහාසය පුරා ඇසුවත් ගැඹුරු බන පද..
කනකින් ඇතුලු වී අනෙකින් පිටව යන.
ඉහමත තබාගෙන වංචා කුහක කම....
මනසින් උසස් යැයි නටමු උදම් අන අන....

කවිශාන්ත රයිගම

රෝහිණී නදිය රතුවන්
ගලා එයි
කාලත්‍රය මැදින්

මේ වතුරේ මිල කොපමණදැයි නොඅසන්න බුදුරදුනි.
මේ ලේවල මිල කොපමණදැයි නාසන්න හිමිසඳුනි

සිවුරු ලූ බමුණන්ට තරහ යයි
නාසන්න හිමිසඳුනි.
රෝහණ පුතුන්ට තරහා යයි.

රොහින්ගානුවන්ගේ ලෙයින් රත්පැහැව
රෝහිණී නම්වූ නදිය ගලා යයි
කාලත්‍රය අරා.
බුදුරදුනි හැකිනම් ඉල්ලා අස්කර ගන්න
ඔබ දෙසූ ඒ නිමල ධර්මය.

ඒ දහමේ නමින්
ගලා ගිය ලෙයයි මේ
අනවරතව ගලා එන්නේ සමිඳුනි.

චීවරයන් ලෙයින් නැහැවී තිබෙයි.
සිල් රෙදි ලෙයින් බරිතව තිබෙයි.
ඔබ ධාතු නිධන් කළ දාගැබ්
මළකුණු සුවඳ විහිදයි.
බෝමළු පුරා රුහිරුයි.
නීල- පීත- ලෝහිත- මාංජේශ්වර- ප්‍රභාශ්වර
රෙදිකඩ පුරා සුකුරුයි.
ධර්ම චක්‍රය මැද කුරුසියයි.
ඒ කුරුසිය මැද
ඇණ ගසා සිටිනුයේ ඔබමයි.

ඔබ එරෙහිවූ සියල්ල
ඔබට එරෙහිව හඬ නගයි.
ඔබේම වචන
ඔබට එරෙහිව මැතිරෙයි.

බුදුරදුනි ඉල්ලා අස්වනු මැනව
බුදු පදවියෙන්.
නිවැරදි කරනු මැන ඉතිහාසය.
කාලත්‍රයේ රුහිරු ගංගා මැදින්
යන්න අන්තප්පුරයට ආපසු.
යන්න සිරි යහන් ගැබට යළි
සනසන්න යසෝදරාවන් සිත.
කෙළිදෙලෙන් පසුවන්න
රාහුලයන් හා.
පියාණන් සිත සනසන්න
වාඩිවී සිහසුන
පළඳා කිරුළ.

බුදුරදුනි නිවැරදි කරනු මැන ඉතිහාසය
රෝහිණී ගංගාව වෙත පිය නොතබන්න
රෝහණ පුතුන් වියරුයි.

කේ. කේ. සමන් කුමාර

අම්මිට........

ඇය තමා අපේ කිරිල්ලිය
කූඩුව අසල රැඳෙන්නිය
නිදහසේ තටු සලන්නිය
පැටවුන්ගෙන් තොර ලොවක් නැත්තිය

දරන්නී, නම් ඇය ය
පොළවටත් එතරම් බැරිය
මගෙ, මවුන් සෙනෙහසට
ගෝනි බිල්ලොත් බය ය

අපේ ලෝකේ රැජිණ
හදවතත් අනා කවන
මගේ අම්මගෙ සුවඳ
පේරාදෙණියෙවත් නොමැත

ඇගේ තටුයට තවම
ආදරය දුං දමනවාය
මායි මල්ලී නමට හැමදා
ඇගේ උකුලත ලියලනවාය

එකපාර නැතත් හැමදාම
ඇයත් වයසට යනවාය
ඒත් සෙනෙහස් ගීතය
අලුත් ස්වරෙන් ගයනවාය

- දුවාගෙන් -

 

සසංකා විතානගේ 

ගෑනු හරියට පූසෝ වගෙ පුරුපුරු ගගා... කොහොමද මුරු මුරු ගගා කනකොට... මේ, විජේටයි යූලිසිස්ටයි දාපු පාට් මා එක්ක දානව නෙවෙයි. මං මේ තම්බපන්නියේ පොළව පාගපු යක්ස කොල්ලෙක්. හරි...” ඉහත දැක්වූයේ කේ. කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව වන ‘මහිලා වංශය’ කෘතියේ එන වාක්‍යයකි.

ශ්‍රි ලංකා යාපනය රේගූ දේපාර්ත්තුමෙන්තුව විසින් දීපච් චෙල්වන් රචනා කල "දෙමළ භූමිය" කෘතිය කතුවරයා වෙත භාර නොදි වාරණය කර තිබුණි. එහෙත් මෙම කෘතිය කතුවරයා වෙත අද දින භාරදී ඇත, ඒ සදහා උදවු කළ සියලු දෙනාට ස්තුති .

''தமிழர் பூமி" புத்தகம் சுங்க பிரிவால் மீளளிக்கப்பட்டது. ஆதரவு தந்தவர்களுக்கு நன்றி.

දීපච්චෙල්වන් ප්‍රදීපන් විසින් මෑතකදී “තමිලර් භූමි” (දෙමළාගේ භූමිය) නමින් කෘතියක් රචනා කළේය. එහෙත් එම කෘතිය තවමත් එළි දක්වා නැත.

මෙම කෘතිය මුද්‍රණය කිරීම සඳහා ඉන්දියාවේ “එදිර්” නම් ප්‍රකාශකයෝ වෙත යවන ලදී. එම ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කරන ලද කෘති දෙකක් සෝදුපත් බැලීම සඳහා ගුවන් තැපෑල් සේවාව මගින් කතුවරයා වෙත එවා තිබේ.

මරියා ඇත්තද මේ  කියන කතාව ,
උඹ ගැබ්ගත්තා කියලා ....

ඔව් මං ගැබ්ගත්තා........

ඉතිං කෝ උඹේ බඩ ,
ආරංචියේ හැටියට උඹට හෙට අනිද්දා දරුවා ලැබෙන්න ඕනෑ ....

මං ඒ දරු  ගැබ නැති කළා .

මොනවා උඹ ඒ දරු ගැබ නැති කළා
ඒක මහා පාපයක්.......

නැහැ ඒක මං ඒ දරුවට කළා සාධාරණයක් ....
මට බැහැ තාත්තෙක් නැති  දරුවෙක්  මේ  ලෝකෙට බිහි  කරන්න .
මට බැහැ මිනිහෙක් නැතිව දරුවෙක්  එක්ක ජීවත් වෙන්න ...

ජුසේ උඹව  භාරගන්නවා කිව්වා  නේද ?
ඉතිං ඇයි උඹ දරු ගැබ නැතිකළේ....

ජුසේ නිසා තමයි මම ඒක  කළේ .....
ජුසේ කැමති නැහැ  අනුන්ගේ දරුවෙක්  එක්ක මාව භාරගන්න .

හත් දෙයියනේ ජුසේ කිව්වනේ
දෙවියන්ගේ නාමයෙන් උඹව ඌ භාරගන්න සූදානම් කියලා .

ජුසේට ජුසේගේ පරම්පරාව රකින්න ඕනෑ .
ජුසේට  ජුසේගේ බූදලය බාරදීමට ජුසේගෙම  දරුවෙක් ඕනෑ .....

ඉතිහාසයට වඩා වර්තමානය කොච්චර  වෙනස්ද දෙවියනේ ?

ඔව් ඉතිහාසයට වඩා වර්තමානය හුඟක් වෙනස් සහෝදරි....
මතකයට ගනින් මේ අපි ජීවත් වෙන්නේ ධනවාදී ලෝකයේ බව .

හිල්මි සුපුන්
20161221

මං දන්නව උඹලා ආස නෑ මගෙ දේශපාලන කතා අහන්න. කවුද කැමති දේශපාලනේට ? ඒක නිකං පිස්සුම පිස්සු පිස්සු විකාරයක් විතරයි ! හා නැද්ද ? අදාළ නෑනෙ අපිට.
දන්නවද?
දේශපාලනේ කියන්නෙ කුණුහරුපයක්.
ෂ්............................................
වැඩිය හයියෙන් කියන්න එපා.
අම්මට ඇහෙයි.
ඇහුණොත් ගහයි කොස්ස කැඩෙනකං.
මං එහෙම කිව්වම පිටිපස්සෙම පේළියේ හිටපු එකෙක් දත් ටිකත් විලිස්සගෙන කටත් බාගෙට උල් කරගෙන මෙහෙම කිව්වා.
"යෝ බ්‍රෝ..........! දේශපාලනේ සෙට් වෙන්නෙ නෑ අපිට. අපි සැපේ ඉන්නෙ."
ඔව් ඔව්. ඒක හැබෑව. මට පේනව.
එතකොට ඔයාල කැමති මොනවටද ?
"අපි කැමති රෝස මල් වලට.......!"
ඔක්කෝමලා අත් උස්සගෙන එක හඬින් කෑ ගැහුවා.
හොඳයි.
එහෙනම් මම අද ඔයාලට රෝස මලක් ගැන කතාවක් කියන්නම්.
ඔන්න එකෝමත් එක රටක රෝසම රෝස පාට රෝස මලක් තිබුණා. මේ රෝස මල පිපිල තිබුණෙ රෝසම රෝස පාට රෝස මල් පිරුණු රෝස ගහක. ඔව් ඉතින්......රෝසම රෝස පාට රෝස මලක් රෝසම රෝස පාට රෝස මල් තියෙන රෝස ගහක ඇරෙන්න වෙන කොහේ පිපෙන්නද නේද ?
වපසරිය උල් කටු වලින් වට වුණු තද කොළ පාට පත්‍ර අස්සෙන් එබිකම් කර කර ඉඳල, අන්තිමේදි හිරු කිරණක එල්ලිලා යන්තම් උඩට නැගගත්තා මේ රෝස මල. දැන් ඈත ඉන්න කෙනෙකුට වුණත් බජිරි පඳුරු වලින් වෙන් කරල රෝස පඳුර අඳුරගන්න පුළුවන්. ඇස් වලට නොපෙණුනත් සුවඳින් නම් හැතැප්ම ගාණක් දුර තියා වුණත් අඳුරගන්න පුළුවන්.
නැගෙනහිර ඉඳන් බස්නාහිරට හැල්මෙ දුවන හීන් හුළඟට මේ රෝස මලේ රෝස සුවඳ එකතු වුණා. ඒක ගනුදෙනුවක්. අලුතින් පූදින රෝස දලු වලට වෙරළබඩ හුළඟෙන් ප්‍රාණ වායුව අරගෙන ඇවිත් රෝස සුවඳත් එක්ක හුවමාරු කරගන්න එක තමයි මේ හුළඟෙ රාජකාරිය. ඒ හුළඟෙන් රෝස පඳුරට ජීවත් වෙන්න හුස්ම ලැබුණා. ඒ රෝස මලෙන් හුළඟට හැමතැනම පතුරවන්න සුවඳ ලැබුණා. ඒ සුවඳත් කැටි කරගෙන මේ හුළඟ හැමතැනම හමාගෙන ගියා.
ඔව්........................
හැමතැනම.
අස්සක් මුල්ලක් නෑර හැමුවා.
කිරි කපන සියාතුලගෙ ගොම මැටි ගහපු කුස්සියේ වරිච්චි බිත්තියේ ඉරි තැලුණු තැන් වලින් වැඩි අමාරුවක් නැතුවම මේ හුළඟට රිංගන්න පුළුවන්. අන්තිම තෙල් ඩිංගෙන් නිවි නිවී පත්තු වෙන ලන්තෑරුමේ දැල්ල වටේ රවුමක් හිමීට කැරකිලා, කිරි ඉල්ලල අඬ අඬා ඉන්න සියාතුගෙ අලුත උපන් පොඩි එකාට රෝස මල් සුවඳෙන් ටිකක් බෙදුවා. කිරිසප්පය කට වහගත්තා. ඌට තව හෝරා දෙක තුනක් නාඩ ඉන්න මේ සුවඳ හොඳටම ප්‍රමාණවත්. චූටි කිරි පාට ඇඟිලි වලින් පොරවල තිබුණු චීත්ත රෙද්ද ගුලි කරගෙන ඌ එහාට මෙහාට පෙරළි පෙරළි ඳැඟලුවෙ වැඩිපුර සුවඳ ටිකක් අල්ලගන්න බලාපොරොත්තුවෙන්. උට ලෝබ හිතෙන්න ඇති රෝස සුවඳට.
ගල් වලේ ගල් කඩන උක්කුවාගෙ පැලේ වියාපු පොල් අතු වල පොල් කොළ දෙකක් අතරින් රිංගන එක මේ හුළඟට ලේසි වැඩක්. දිරාපු පොල් කොළ අව්වට ඇකිළිලා තැන් තැන් වල ලොකු හිල් මතු වෙලා තිබුණා. දවල්ට ගල ගිනියම් වුණාම කොහොමත් පැලට රස්නෙ දැනෙනව වැඩී. ඒ රස්නෙට පොල් කොළ තවත් ඇකිළුණා. නමුත් ඒ හිල් ලොකු වෙන තරමටම වැඩි වැඩියෙන් හුළඟ උක්කුවගෙ පැලට ඇතුළු වුණා. ඒ නිසා උක්කුවට අනිත් අයට වඩා වැඩිපුර රෝස සුවඳ දැනුණා. ගල්වලේ ගිනියම ඩිංගක් හරි අඩු වුණේ ඒ සුවඳ හින්ද කියලයි උක්කුවට හිතුණෙ.
මීට හාර මාසයකට උඩදි දර කපන්න රක්ෂිතයට ගිය වෙලාවක අලිය ගහල හාමිනේ අන්තරා වුණාට පස්සෙ ගුණදාස කවදාවත් ගෙදර ගියේ නෑ. ගෙදර ගියොත් බැලූ බැලූ හැමතැනකම හාමිනේගෙ මූණ පේනව කියල උන්දැ විල්ෆ්‍රඩ් මාමගෙ කඩ පිලේ නිදාගන්න පුරුදු වුණා. දවසෙ කොයි වෙලේ බැලුවත් කටගොන්නක් බීගෙන මදුරුවො තල තල කඩපිලේ වැටිල ඉන්න ගුණදාසගෙ තනියට හිටියෙත් රෝස මල් සුවඳ විතරමයි. කිසිම බාධාවකින් තොරවම මල් සුවඳ ඔහු වටේ එතුනා. හාමිනේගේ අහිමි වුණු ආදරේ ඒ මල් සුවඳෙ කොහේ හරි කොණක ඇති කියල හිතල ගුණදාස හිත හදාගත්තා.
හැමෝටම සුවඳ බෙද බෙද ගම පුරා ඇවිද්දට කාගෙන්වත් සතයක්වත් අය කළේ නෑ මේ හුළඟ. එහෙම අය කරන්න අයිතියක් තිබුණෙත් නෑ හුළඟට. සුවඳ අයිති මලට. ඒත් මල වුණත් කවදාවත් අයිතිවාසිකම් කිව්වෙ නෑ සුවඳට. ඒක මලේ වගකීම. මල් පූදින්නෙ සුවඳ විහිදුවන්න මිසක් වෙන මොකටද ? මල හිතුවෙ එහෙමයි. මේ චක්‍රය දිගටම ගලාගෙන ගියා. කාගෙවත් බාධාවක් නැතිවම.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ඒරොප්පෙන් මහත්තයෙක් ඇවිත් ගමේ අලුත් ෆැක්ටරියක් දැම්මා. රෝස පඳුර බුල්ඩෝසරේට යට වුණා. මල් සුවඳ හොයාගෙන හමාගෙන ආපු හුළඟට අන්තිමට හම්බ වුණේ දූවිලි ටිකක් විතරයි. ඒ දූවිලිත් අරගෙන හුළඟ ගමේ හැමතැනම පියෑඹුවා. වරිච්චි බිත්ති අස්සෙන්, වියාපු පොල් අතු අස්සෙන් පුංචි පුංචි දූවිලි අංශු හැමතැනම රිංගුවා. විල්ෆ්‍රඩ් මාමගෙ කඩපිල එකම දූවිලි වලාවකින් වැහිල ගියා. ආයෙ කවදාවත් රෝස මල් සුවඳ දැනුණෙ නෑ. සියාතුගෙ පොඩි එකා දිගටම ඇඬුවා. උක්කුවා අව්වටම පිච්චිලා ක්ෂය වෙලා ගියා. ගුණදාස ආයෙමත් කරබාගෙන ගෙදර ගියා. මූසලකම දරාගන්න බැරුව බාල්කෙ එල්ලිලා මැරුණා.
ෆැක්ටරිය හොඳට දියුණු වුණා. ඒකෙ රෝස මල් සුවඳට සුවඳ විලවුන් හැදුවා. රුපියල් 350ක් වගේ පුංචි මුදලකට රෝස පාට ලේබලේ තියෙන සුවඳ විලවුන් කුප්පියක් මිලදී ගන්න ඔයාටත් පුළුවන්.
ඔන්න ඕකයි රෝස මලේ කතාව !
අසා සිටි ඔබ සැමට ස්තූතියි.
මං සමුඅරගෙන ආවා.

-දේශාන් නිම්රොද් ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලදී-

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගොල්ෆ් පිටියක ඒ මේ අත ගිය දැවැන්ත කිඹුලෙකු කැමරාවේ සටහන් කර ගැනීමට එහි සිටි පුද්ගලයෙකු සමත් වී තිබෙනවා. මෙම කිඹුලා සෑම දිනකම පාහේ අදලා පිට්ටනිය වෙත පැමිණෙන බවත් ඌ දිගින් අඩි 15ක් පමණ වන බවත් දැනගන්නට ලැබෙනවා.

එහි සිටි බොහෝ පිරිසක් පවසා ඇත්තේ මෙතරම් විශාල කිඹුලෙකු තමන් මින් පෙර නොදුටු බවත් ඌ එන්නට ඇත්තේ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ මෙන් දැවැන්ත සතුන් ඇති පළාතකින් බවයි.

මෙම කිඹුලා කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්

Market Movers

NMS : YHOO - 31 Dec,
+0.00 (+0.00%) After Hours:
Open Mktcap
High 52wk Hight 57.39
Low 52wk Low 35.05
Vol 0 Avg Vol 19.80M
Eps 0.71 P/e
Currency:

Alphabet Inc.

NMS : GOOG - 20 Oct, 4:00pm
988.20
+3.75 (+0.38%) After Hours:
Open 989.44 Mktcap 684.70B
High 991.00 52wk Hight 997.21
Low 984.58 52wk Low 727.54
Vol 1.18M Avg Vol 1.42M
Eps 30.64 P/e 35.81
Currency: USD

Apple Inc.

NMS : AAPL - 20 Oct, 4:00pm
156.25
+0.27 (+0.17%) After Hours:
Open 156.61 Mktcap 807.07B
High 157.75 52wk Hight 164.94
Low 155.96 52wk Low 104.08
Vol 23.97M Avg Vol 27.60M
Eps 9.01 P/e 17.74
Currency: USD
Advertisement
Sign up via our free email subscription service to receive notifications when new information is available.