24
Wed, Jan

සංවාද
රාජ්‍ය පාලනය හාස්‍යයට ලක් කරමින් ආරම්භ වන ගෝඨයිම්බර කෝලම ක්‍රමයෙන් පරිභෝජනවාදය ආගමක් කරගත් සමාජ ක්‍රමය හාස්‍යයට ලක් කිරීම සිය මුඛ්‍ය තේමාව බවට පත් කර ගනී. පරිභෝජනය ආගමක් කොට අදහන්නට පටන් ගැනීම මානව ඇගයුම් සහ වටිනාකම් දෙදරා යවන සුළුය. එය පැහැදිළි ඇත්තකි.  එහිදී මටද ඩෙනිස් සමග එකම වේදිකාවක සිට ගත හැකිය. එසේම එහි සෘජු ගොදුර කාන්තාව බව මමද පිළිගනිමි. එහෙත් ගැටළුව වන්නේ ඩෙනිස් එය ගන්නේ ස්ත්‍රී විමුක්ති අරගලයට ප්‍රතිපක්ෂව සිට ගනිමිනි. ඔහු පටලවා ගන්නේ එතැනය. නිකමට හෝ ඩෙනිස්ලා වැනි පිරිමින් එකතු වී මෙම පාරිභෝජනවාදී සමාජයට එරෙහිව විමුක්ති සටනක් දියත් කළහොත් ඊට  ගැහැනුන් සහභාගි වුවහොත් නිදහස් අරගලයට සහය දුන් ගැහැනුන්ට අත්වූ ප්‍රතිඵලවලට වඩා හොඳ ප්‍රතිඵලයක් නොලැබෙනු ඇත. ඩෙනිස්! ඔබ එරෙහිවන පාරිභෝගික වටිනාකම් කෲර වුවද එය ඔබට වඩා ආචාරධාර්මිකය.
 
ඩෙනිස් හොඳටම පටලවාගෙන ඇත. ගැහැනිය මෙම ක්‍රමයේ ගොදුරක් බවට පත් වන විට පිරිමින්ගේ පුරුෂ ලිඟු සිඳීි යන බව ඩෙනිස් අපට කියයි. නමුත් ඩෙනිස්! සිදුවන්නේ ඔබ සිතන දේ නම් නොවේ. පිරිමින්ගේ පුරුෂ ලිංගය සිඳී යාම වෙනුවට එය තව අඟල් සීයකින් පමණ දික්වීමය. මෙම නාටකයේ පුරුෂත්වයේ සංකේතය වන්නේ පුරුෂ ලිංගයයි. එහෙමත් නැත්නම් පුරුෂයාගේ බලය සංකේතවත් කරනු ලබන්නේ පුරුෂ ලිංගයෙනි.  පුරුෂ ලිංගයන් සිඳීයාම තුළින් ඩෙනිස්  ලිබරල් ආර්ථික කොන්දේසි මගින් පුරුෂයාගේ බලය අහිමි වන හැටි සංකේතවත් කරයි. එහෙත් ඩෙනිස් නොදන්නා දේ මේ සමාජ ක්‍රමයට අවශ්‍ය වන්නේ වඩ වඩා පුරුෂයින්ය. කොටින්ම අමු පිරිමින්ය. අමු පිරිමි බව නොපෙනෙන, ඔටාරාගේ අහිංසක ඇඳුම් වලින් සැරසුනු පිරිමිය. ගොඩක් අයට වුවමනා ගැහැනුන්ගේ කොල බොක්කටම ගහන්නට පුළුවන් පුරෂ ලිංගයකි. ලිබරල් ආර්ථික කොන්දේසිවලට අවශ්‍ය වන්නේ වසඟකාරී ස්ත්‍රියක් නම් එහි පුරුෂයා වන්නේ කොල බොක්කට ගසන්නට හැකි ලිංගයක් ඇති පිරිමිය.  අනාදිමත් කාලයක සිට මේකට පිරිමි කැමති ඇයි? ගැහැනුන්ව යටපත් කරන්ඩ පුළුවන් වෙන්නෙ විශාල පුරුෂ ලිංගයකින් කියලයි පිරිමි විශ්වාස කරන්නෙ. ඇත්තෙන්ම පරිභෝජනවාදයෙන් හෝ පිරිමින්ගේ ලිඟු දියවෙලා යනවා  නම් මට අනුව එය හොඳය. එතකොට ගෑනුන්ට පුළුවන් ගැහැනු විතරක් නොවී මනුෂ්‍යයොත් වෙන්ඩ. කොල බොක්කට දිය හැකි පුරුෂ ලිංගයක් තමා සතු වීමත්, එයින් ගැහැනුන්ට ලිංගික තෘප්තිය ලබා දිය හැකි මහා පුරුෂයන් බවට පත් වීමටත් කල්පනා කරන පිරිමින් තමන්ගේ භාර්්‍යාව වෙනත් පුරුෂයෙකු සමග නිදා ගත් විට වැලපෙන්නේ දුකට හෝ ඊර්ෂ්‍යාවට නොවේ. තමාගේ විශාල පුරුස ලිංගයට සිදු වෙන අපකීර්තිය නිසාය.  තමන්ගේ ලිංගයට පණ නෑ කියලා අනිත් අය හිතයි කියලා පිරිමි බයයි. හරි පුදුමයි. තාමත් පිරිමි තමන්ට හොඳ පෞරෂයක් තියනවද නැද්ද කියලා දැන ගන්නෙ තමන්ගේ භාර්යාවට කොල බොක්කට දීලා වෙනත් කවුරුත් එක්ක නොයා තියා ගන්ඩ පුළුවන් උනොත් විතරයි.
 
ගෝඨයිම්බර කෝලමේදී පරිභෝජනවාදය මුඛ්‍ය ගැටළුව වන්නේ පුරුෂයාට පුරුෂත්වය අහිමිවීම නිසයි.  පාරිභෝජනවාදී ගැටවලට ගැහැනිය හසුවන විට අර කොල බොක්කට දිය හැකි පුරුෂ ලිඟු  ටික අහිමි වී යයි. එනම් ඩෙනිස්ට  පරිභෝජනවාදය ගැන ඇති ලොකුම ගැටළුව කොල බොක්කට රිදෙන්න ගසා ගැහැනිය දමනය කරන පුරුෂ ලිඟු අහිමිවීමය. මෙම ක්‍රමය කාලකණ්නි, අමනුෂ්‍ය, ආත්මයක් නැති, හෘදය සාක්ෂියක් නැති අමනුස්ස පැටව් ජාතක කරන ආකාරය මඟ හරින ඩෙනිස් කාලකණ්නි පුරුෂත්වය අහිමිවීම ගැන වේදනා විඳියි.
 
 
ඩෙනිස් අපේක්ෂා කරන ගැහැනු කවරහුද? කොල බොක්කට දෙන විට ‘අනේ තව දෙන්නයි,  මාරයි’ කිය කියා කෙඳිරිගාන ගැහැනුන් රොත්තකි. පැරණි සමාජය පැවතුනේ එතැනය. අද පවතින්නේද එතැනය. තාක්ෂණය ඉතිහාසය තුළ සිදු වූ තකතීරුකම්වලට එරෙහි වනවා වෙනුවට එයට උඩ ගෙඩි දෙයි. ගැහැනියට තමන්ගේ ජීවන අපේක්ෂාවන් ඉතිහාසය තුළ දිගටම ඉටු කර ගැනීමට සිදුවූයේ වසඟකාරිත්වයේ පිහිටෙනි. එය ගැහැනියගේ ශෝකාන්තයයි. ඇයට තම අපේක්ෂාවන් කරා යෑමට සිදු වූයේ පුරුෂ මනදොල සැපයීමෙනි. ගැහැනිය සමාජයීය බලය කරා ළඟා වූයේ  එක්කෝ කීකරු බිරිඳක්ව සිටීමෙන් හෝ බොරුවට කෙඳිරිගගාය. මේ දෙක වසඟකාරිත්යේ ගමන් මාර්ගයන් දෙකකි. කීකරු යහපත් බිරිඳකට සතියක් කන්ට අඳින්ට නොදුන් විට ඇගේ ආලයද, ආදරයද කීකරුකමද කොල බොක්කට දෙන පිරිමින්ට බලා ගත හැකිවනු ඇත. 
 
අද වන විට වසඟකාරිත්වයට වෙළඳපොල මැදිහත් වී අවසානය. ඕනෑ නම් කැඩුනු කන්‍යා පටල නැවැත හරිගැස්විය හැක. එවිට කොල බොක්කට දී  මධුසමය දා තමන්ගේ විශාල තඩි අහංකාර පුරුෂ ලිංගයෙන් අර කන්‍යා පටල කඩා දමා පුරුෂත්වය සාක්ෂාත් කර ගත හැකි වනු ඇත. මෙැතනදී වෙළඳපොලට ගැහැනිය පිළිබඳ හෝ ගැහැනියගේ ශරීරය පිළිබඳව හෝ විමුක්තිය ගැන කතිකාවක් අවශ්‍ය නැත. ඒ වෙනුවට පුරුෂ ලිංගයේ විශාලත්වයෙන් ගැහැනිය තෘප්තිමත් කළ හැකි යැයි සිතන තකතීරු මෝඩ රැලගේ පරම්පරාගත ග්‍රාම්‍ය අදහස තෘප්තිමත් කරමින් පුරුෂ ලිංග විශාල කර ගැනීමට බෙහෙත්  විකුණමින් ලාභය තහවුරු කර ගන්නවා ඇත. අනෙක් අතට ගැහැනුන්ද, පිරිමින්ගේ  ලිංගය වර්ණනා කොට එයින් මහත් තෘප්තියක් අත් වන බව පෙන්වමින්, වෙන කිසිම පිරිමියෙක් තමන්ට අවශ්‍ය නොවන්නේ තමාගේ පුරුෂයාගේ මහා පුරුෂ ලිංගය නිසාත් බව පවසමින්, වසඟකාරිත්වයේ දැල යොදා පිරිමින්ගේ සියළු යුෂ උරා බොනු ඇත. ගැහැනියයි වෙළඳපොලයි සම්බන්ධ වෙන්නෙ එතැනින්.
 
කොටින්ම කියනවා නම් කොල බොක්කට දීම තුළින් තමන්ගේ පුරුෂත්ව  බලය තහවුරු කර ගත හැකි යැයි පිරිමි සිතති.  එළිපිට නැතත් රහසින් සිතති. පිරිමි පිරිමි වන්නේ කොල බොක්කට දීමෙන් යැයි පිරිමි සිතති. වෙළඳපොල එවැනි පුරුෂ ලිංගයක් අත් කර ගැනීමට උපදෙස්, බෙහෙත් සැපයිමට ඉදිරිපත් වෙයි. නිල් චිත්‍රපටිවල රඟපාන  විශාල පුරුෂ ලිඟු ඇති පිරිමි නළුවෝ ගැහැනුන් තෘප්තිමත් කරන හැටි පිරිමින්ට පෙන්වයි.  කාම සම්භෝගය හා විශාල ලිඟුවක් අතර සම්බන්ධතාවයක් නැති බව දන්නා ගැහැනු පිරිමින්ගේ ලිඟු අහංකාරයට සහභාගි වී මෝඩ ආතල් දී පිරිමින් නටවති. එවිට පිරිමින් පුළුවන් තරම් ඩෙනිස් කියන පුළුටු  විකුණන තැන් වලට ගෙන යයි. වෙළඳපොල සහ ගැහැනිය එකක් වෙන්නේ එහෙමය.
 
එම නිසා ඩෙනිස්ගේ වෙළඳපොල තුළ ගැහැනිය හැසිරෙන ආකාරය තොරා බේරාගත් ආකාරයේ දෘෂ්ටිය තුළම විශාල අවුලක් පවතියි. එය එක් අතකින් නරුමය, කෘරය. ඩෙනිස්ගේ හාස්‍යය කෘරය. අවලම්ය. කොල බොකු පුරුෂවාදීය. මම ඇති තරම් සිනහ වූයෙමි. ඒ ඔහුගේ කෘර හාස්‍යයටය. ආටෝගේ කෘර රංගය අවසානයේ මනුෂ්‍යත්වය සාක්ෂාත් කර ගන්නා විට ඩෙනිස්ගේ සරල හා සංදර්ශනාත්මක සිනහමුසු හාස්‍යය  කෲරත්වය සාක්ෂාත් කර ගනී. ඩෙනිස්  සිය නාට්‍යමය හැකියාව ප්‍රකට කර සිටී. එය පැහැදිළිය. ඔහු දක්ෂයෙක්! එහෙත් එම දක්ෂකම තුළ ඇත්තේ නරුමවාදී කෲරත්වයකි. ඔහුට නරුමවාදය තුළ සිටීමට ඇති හැකියාවම හයියක් යැයි සර්පයා කියයි. එසේ නම් සියළු නරුමයන් මාරය.
 
ස්ත්‍රියක් විමුක්තිය ලබනවා යනු ඈට මනුෂත්වය හිමිවීමය. කෙනෙකු ධනවාදයට එරෙහිව සිට ගන්නේ නම් එහි තේරුම කම්කරුවාට මනුෂ්‍යයෙකු වීමට ඉඩ දීමය. ස්ත්‍රී විමුක්තිය මෝඩ තැනකින් අල්ලාගන්නා ඩෙනිස් ගෝඨයිම්බර කෝලම තුළින් ඔහු විරුද්ධව සිට ගන්නා දෘෂ්ටිවාදයේම ගොදුරක් බවට නාට්‍ය අවසානයේ පත්වෙයි. මක්නිසාද යත් ගැහැනුන්ගේ විමුක්තියේ සියළු අක්මුල් උදුරා ඇයව නැවතත් පුරුෂ ලිඟුවේම ගොදුරක් බවට පත් කරනු ලැබ ඇත්තේ පාරිභෝජනවාදය විසිනි. එය ලෝක මට්ටමින් සිදුවී හමාරය. බිය නොවන්න ඩෙනිස්! ඔබට හා ඔබේ සගයන්ට අනාගතයේ විමුක්තිකාමී ගැහැනුන් හමුනොවෙනු ඇත. ව්‍යාජයේ මළමිනී සමග හැමනෙමින් පිරිමින්ට තමන්ගේ පුරුෂත්වය පෙරටත් වඩා සාක්ෂාත් කර ගැනීමට හැකිවෙනු ඇත. එම නිසා ඩෙනිස් අපට කියන සියළු පිරිමින් ගැහැනුන් වීමට නියමිතය යන බිය නිරපරාදේ ඇති කර ගත යුත්තක් නොවේ.
 
මෙතැනදී අසංක සායක්කාර වඩා මානවවාදීය. ඔහු සංඝදාසගේ චූටි කලිසම තුල සමාජයීය අර්බුදය ගැන කතා කිරීමට ගැහැනියක්, පුරුෂයෙක් සහ ශුක්‍රාණුවක් සම්බන්ධ කර ගන්නා මුත් ඔහු ගැහැනුවත් පිරිමිවත් නොවන වඩා මානුෂීය තැනකට ගමන් කිරීමට උත්සාහ දරා ඇත. ඔහුගේ එළඹුමද හාස්‍යය වන අතර එම හාස්‍යය කෙළවර වන මනුෂ්‍යත්වයේ ඛේදවාචකය ප්‍රේක්ෂකයා තුළ තියුණු කම්පනයක් රැගෙන එයි.
 
තමාගේ නරුමවාදී දෘෂ්ටිය ගෙන යෑමට ඩෙනිස් ප්‍රබල නාට්‍යමය උපක්‍රම භාවිතා කරයි.  ඔහුගේ දෘෂ්ටිය අතහැර බැළුවහොත් ඔහු අතිදක්ෂ ලෙස නාට්‍යමය භාෂාව හසුරුවයි. ඔහුගේ නළුවන් දක්ෂය. ඒ ගැන මට තර්කයක් නැත. එහෙත් ඒවා ශිල්පක්‍රමයි. ඒවා උගත් විට වැඩ දැමිය හැක. එහෙයින් ඩෙනිස් තමාගේ දෘෂ්ටිය ගැන නැවත පාපෝච්චාරණයකට නොගියහොත් ඔහුගේ රංගභූමි මීනි වල ඔහුම නිසැක ලෙස කපා ගන්නවා ඇත. ඔහුගේ දෘෂ්ටිය ප්‍රශ්න නොකිරීමෙන් සිදුවිය හැකි නරකම අභාග්‍යය වන්නේ දක්ෂ නාට්‍යකරුවෙක් අපට අහිමිව යාම බවද මතක් කරනු කැමැත්තෙමි.
 

නදීකා බංඩාර 

http://womansstage.blogspot.com/

                                                 

Add comment


Security code
Refresh