26
Mon, Feb

සංස්කෘතික

ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේ යැයි මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශයේ ලිව්වේ 1848 දී. ඉන් ඔහු අදහස් කළේ ධනේශ්වර ක්‍රමයේ උච්චතම අවස්ථාවේදී සියලු දේ විකිණෙන්නට නියමිත බවයි. එහි සියලු දේ යනුවෙන් ඔහු අදහස් කළේ මානව සමාජයේ භෞතික හෝ ද්‍රව්‍යමය අවශ්‍යතා විතරක් නෙවෙයි. අධ්‍යාත්මික අවශ්‍යතාද ඊට ඇතුළත්. කලාව, දර්ශනය, ආගම පමණක් නෙවෙයි මිනිස් විෂයෙහි වඩා මූලික හා සංවේදී අවශ්‍යතාවයක් වූ ප්‍රේමයද ඊට ඇතුළත් වේ.

මිනිසුන් අතර සබඳතා, දේවල් සහ දේවල් අතර සම්බන්ධතා බවට පිරිහෙලන්නට නියමිත බව මාක්ස් කිව්වේ මෙන්න මේ අධ්‍යාත්මික අවශ්‍යතාද වඩ වඩාත් වාණිජකරණයට ගොදුරු වන වග ඒ තරම් ඈත කාලයකදී පවා හොඳින්ම දුටුව නිසයි.

මාක්ස් එදා කියපු ඒ කථාව මොන තරම් සත්‍යයක් දැයි අපට වඩ වඩාත් ඒත්තු ගන්වන දවසක් තමයි පෙබරවාරි 14.

වෙළෙඳපොළ ඉලක්ක කරගත් මාධ්‍ය මුදලාලිලා ඇතුළු සියලු ආකාරයේ වෙළෙන්දන්ට ලාබ උපදවන දිනයක් බවට මේ වන විට ආදරවන්තයන්ගේ දිනය පත්වී හමාරයි.

එදා වැඩවසම් යුගය තුළ වැලන්ටයින් පූජකතුමා විසින් අපේක්ෂා කළ ප්‍රේමයේ පාරිශුද්ධභාවය හෝ නිර්මල බව රැකගැනීමට මේ වෙළෙඳ පරපුරට වුවමනා නැහැ. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රේමයේ අතිශය සෞන්දර්ය හැඟීම් වලටත් මිලක් නියම කරන්න.

ආත්මීය වුවමනා එපාකම් වලින් පවා ලාබ උපයගන්න. ඔවුන්ගේ අශුද්ධ ප්‍රාග්ධනය තර කරගන්න.

ඉතිං මේ වැලන්ටයින් දවසේදී අප කළ යුත්තේ මේ ධනේශ්වර ප්‍රාග්ධනයේ ගොදුරක් වීම වෙනුවට අපේ යුගය තුළ එකී ප්‍රාග්ධනය හැසුරෙන ස්වරූපය ගැන වටහා ගැනීම. ප්‍රාග්ධනයේ රුදුරු විය ගසින් මිදී ප්‍රේමයේ පාරිශුද්ධභාවය සහතික කළ හැකි සමාජ පරිවර්තනයක් ගැන එවිට අපට අපේක්ෂා දල්වා ගත හැකිය.

වැලන්ටයින් දවසට නව අරුතක් එකතු කරන්නටත්, ප්‍රාග්ධනයේ ඇන්දිල්ලට හසු නොවී ඉන්නටත් එවිට අපට පුළුවන්.

 නලින්ද සංජිව

Add comment


Security code
Refresh