26
Mon, Feb

පුවත්

වසර 70ක් තිස්සේ වහලුන් ලෙස ශික්ෂණය කළ සමාජයක් එක වහල් හිමියෙක් වෙනුවට වෙනත් වහල් හිමියෙක් තෝරා ගැනීම ගැන එම සමාජයට දොස් පවරා පලක් නැත. කළ යුත්තේ එම වහල් බව වෙනස් කිරීමයි. ඒ සඳහා සමාජයේ ඇති අඩුපාඩු, නොදන්නාකම්, අගතීන් කළමනාකරණය කරන දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවට සමාජයට අධ්‍යාපනය, පංති සවිඥානය, සංස්කෘතිය, ධෛර්යය සහ සටන්කාමීත්වය ගෙනයන දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍ය වේ. සටන්පාඨය විය යුත්තේ 'පංතියට දේශපාලනය' නොව 'පංතියට අධ්‍යාපනය' යි. මේ වහල්භාවය දක්ශිනාංශයට වඩා වියදම් කර, ඊට වඩා සංදර්ශන පෙන්වා, ඊට වඩා සෙනග පෙන්වා, ඊට වඩා ගේම් ගසා පරාජය කළ හැක්කක් නොවේ. සමාජ අගතීන් පාවිච්චි කරන දේශපාලනයක් වෙනුවට සමාජය වෙනස් කරන දේශපාලනයක් වෙනුවෙන් සියළු වාමාංශිකයන්, ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රගතිශීලීන් එක්විය යුතුය. එහිදී අප සතු කොටසේ බර ඉසිලීමට අප සූදානම්‍ ය.

පුබුදු  ජයගොඩ 

 

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ උග්‍ර ආණ්ඩු විරෝධයකි. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නව ලිබරල් ප්‍රතිපත්තිය විසින් ජනිත ආර්ථික හා සමාජ පීඩනය කෙතරම් වේදනාකාරීද යන්න පැහැදිලිය. අප උත්සාහ කළේ එම පීඩනය ක්‍රම විරෝධයක් වෙත වර්ධනය කිරීමටය. එහෙත් එම උත්සාහයද අසාර්ථක වී තිබේ. නැවත ප්‍රකාශයට පත්වී ඇත්තේ ආණ්ඩු විරෝධයක් සහ මූණු මාරුවකි. ජනතාව මැතිවරණයේදී ගෙන ඇති තීරණය අතිශය විනාශකාරී අන්තයකට ඇදී යාමේ අවදානම සහිතය. වාමාංශිකයන් පමණක් නොව සියළු ප්‍රගතිශීලීන් මෙම ප්‍රවණතාව බැරෑරුම්ව සැලකිල්ලට ගෙන වඩාත් වගකීම් සහගත ක්‍රියාකාරීත්වයකට සූදානම් විය යුතුය.

 

 

Add comment


Security code
Refresh