21
Sat, Apr

දේශීය පරිසරවිනාශය

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් කලක සිටම අසන්නට දකින්නට ලැබෙන්නේ සතුටුදායක පුවත් නොවේ. ඒ අතරින් ගල්ගමුවේ දළ පූට්ටුවා ඉතා කෘර හා අමානුෂික ආකාරයට ඝාතනය කර දළ උගුල්වාගෙන යාමට වනජීවී අපරාධකරුවන් කටයුතුකළ ආකාරය බොහෝ දෙනාගේ සිත් තුල ජනිත කලේ ශෝඛී හැඟුමකි.

එම හස්ති ඝාතනයත් සමග පරිසරය ගැන උනන්දුවක් දක්වන හා නොදක්වන විශාල පිරිසක් වනජීවී අපරාධකරුවන්ට එරෙහිව අදහස් දක්වන්නට වූ නමුත් ඉන්පසුද තවත් දළ ඇතුන් කිහිපදෙනෙකුම ඝාතනයට ලක්වූ අතර මොල්ලිකුලම් හා කල්ලාරු ප්‍රදේශයේ ජීවත්වූ කල්ලාරු මහා ඇතාගේ බවට සැක කෙරෙන දළ යුගලක්ද පොලිස්  අත්අඩංගුවට පත්විය. එසේම වනජීවී ලෝලීන් අතර ප්‍රකටව සිටි දළ ඇතුන් කිහිප දෙනෙකුටම සිදුවූ දෙයක් සොයාගැනීමට ද නැත. මේ සියළු සිදුවීම් සම්බන්ධයෙන් වනජීවී අපරාධකරුවන් වෙත ද්වේශය පළවුවද අපේ වනජීවී සම්පත මේ වනවිට මුහුණ දෙමින් සිටින අවාසනාවන්ත ඉරණමට වගකිවයුතු ඇතැම් පාර්ශව තවදුරටත් වගේ වගක් නොමැතිව පසුවනබව අප අවධාරණය කල යුතුය.

මෙවැනි වනජීවී අපරාධ මැඩපැවැත්වීම සඳහා වගකිවයුතු මහජන මුදලෙන් යැපෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවේ සිට පහළට සිටින නිලධාරීන් තම වගකීම හරිහැටි ඉටුකරනවා ද යන්න මේ වනවිට ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත. ලෝකයේ වඩාත් ප්‍රකට නීතිවිරෝධී ධනෝපායන මාර්ග අතර පෙරමුණේ ගැනෙන වනජීවී ජාවාරම ඉතා සංවිධානාත්මක ආකාරයෙන් ලොව පුරා ක්‍රියාත්මකවන අතර එය මැඩලීම සඳහා ද විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු, ආයතන, හා රාජ්‍ය නොවන සංවිධාන වඩාත් සංවිධානත්මක ආකාරයෙන් කටයුතු කරමින් සිටී. ලොව ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර අතරින් එකක් වන ශ්‍රී ලංකාවද වනජීවී ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. එබැවින් එම ජාවාරම මැඩලීම සඳහා වගකිවයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැවරී ඇති  වගකීම සුළුපටු නැත. නමුත් මේ ආකාරයෙන් ඇතුන් අතුරුදහන් වීම, ඝාතනයට ලක්වීම හා ඇත්දළ සොයාගැනීම ආදී කරුණු මගින් පසක්වන යථාර්තය වන්නේ අපේ රටේ වනජීවී බලධාරීන් තම රාජකාරිය හරිහැටි ඉටු නොකරන බව නොවේද.

මෙවැනි වනජීවී අපරාධ මර්ධනය සඳහා නිරන්තරයෙන් වනජීවී වාසස්ථාන ආශ්‍රිතව මුර සංචාර සිදුකිරීම, හදිසි වැටලීම් සිදුකිරීම, හා බුද්ධි තොරතුරු එක්රැස් කිරීම සඳහා ඒකක පවත්වාගෙන යාම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ වගකීමක් බව නොකිවමනාය. නමුත් මේ වනවිට එවැනි කිසිවක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුල සංවිධානාත්මක ආකාරයෙන් සිදු නොකෙරෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබේ. එවැනි පසුබිමක් තුල අප විමතියට පත්විය යුත්තේ වනජීවීන් ඝාතනයට ලක්වීම හා වනජීවී අපරාධ සිදුවීම පිළිබඳව නොව දළ පූට්ටුවා හෝ කල්ලාරු මහා ඇතා හෝ වෙනයම් දළ ඇතෙකු හෝ වෙනත් වනජීවී සම්පත් මෙරට වනාන්තර  තුල මෙතරම් කලක් හෝ ආරක්ෂිතව  ජීවත්වීම පිළිබඳවය.

මෙවැනි වනජීවී අපරාධ නිතර නිතර සිදු නොවීමට නම් වනජීවී සංරක්ෂණ නිලධාරීන් දිවා රාත්‍රී වෙනසකින් තොරව ක්ෂේත්‍ර රාජකාරි වලට කැපවිය යුතුය. මුර සංචාර හා වැටලීම් සිදුකළ යුතුය. ඒ සඳහා ප්‍රධාන කාර්යාලය මගින් අවශ්‍ය අවි ආයුධ, නිල ඇඳුම්, වාහන, ඉන්දන, දීමනා ආදීය ලබාදිය යුතුය. නිලධාරීන්ගේ  වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිතකිරීමට කටයුතු කල යුතුය. එසේම උසස්වීම්, වැටුප් වර්ධක, දේශීය හා විදේශීය ශිෂ්‍යත්ව ආදීය ලබාදීමේදී ක්ෂේත්‍රය තුල වනජීවී නිලධාරීන් දක්වා ඇති දක්ෂතා සැළකිල්ලට ගතයුතුය. දිවයිනේ පිහිටා ඇති ප්‍රධාන වනජීවී රක්ෂිත පරිපාලනය සඳහා ප්‍රධානීන් පත්කිරීමේදීද උසස් නිලධාරීන්ට ගැතිකම් කරන දුර්වලයින් පත්නොකර රාජකාරි සඳහා කැපවූ එඩිතර නිලධාරීන් පත්කළ යුතුය. එසේම ක්ෂේත්‍ර මට්ටමේ වනජීවී අපරාධ මැඩලීම සඳහා එම නිලධාරීන් කටයුතු කිරීමට අමතරව ප්‍රධාන කාර්යාලය මගින්ද හදිසි වැටලීම් ඒකකයක් පිහිටුවා ඒ සඳහා දක්ෂ නිලධාරීන් අනියුක්ත කල යුතුය. එම නිලධාරීන් ප්‍රදර්ශන රාජකාරි, බඹර - දෙබර කැඩීම, වෙනත් ඒකක වලට අත්උදව් දීම වැනි ප්‍රාථමික රාජකාරි වලට නොයොදවා දිවයින පුරා විශේෂ වනජීවී අපරාධ මර්ධන රාජකාරි සඳහා යෙදවිය යුතුය. තවද ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා ආරක්ෂක හමුදාව බුද්ධි තොරතුරු සේවා පවත්වාගෙන ගියේ යම්සේද, එසේම වනජීවී අපරාධ මැඩලීම සඳහා ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව එවැනි බුද්ධි සේවා සංවිධානාත්මකව හා ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුය. ඒවායේ සේවය කරන නිලධාරීගේ රහස්‍යභාවය සුරැකිය යුතුය. නමුත් ඒ කිසිවක් මේ වනවිට මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුල සිදුනොවන බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශකර සිටිමු.

මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසය තුල දිවිහිමියෙන් රාජකාරිය සඳහා කැපවූ නිලධාරීන් සිටිබව අප පවසන්නේ මහත් භක්තියෙනි. නමුත් පසුකලෙකදී මවු සතුන් මරා වනාන්තර වලින් පැහැරගත් අලි පැටවුන්ට හොර උප්පැන්න සහතික සෑදීමට තරම් නිවට හා නිර්ලජ්ජිතවූ තක්කඩි නිලධාරීන් එම දෙපාර්තමේන්තුව අරක් ගැනීමේ ප්‍රතිපලයක් ලෙස මේ වනවිට සිදුවී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුටු රත්කරන නිලධාරීන්ගේ තෝතැන්නක් බවට පත්වීමය. අතීතයේ දිවි හිමියෙන් වනජීවී සංරක්ෂණය සඳහා කැපවූ නිලධාරීන්ට පින් සිදුවන්නට දැනට ඉතිරිව තිබෙන සොබා උරුමයන් උලාකමින් තම මඩි තරකරගන්නා නිලධාරීන්ගේ කෙළිමඩලක් බවට පත්ව ඇත. අගනුවරින් දුර බැහැර වනාන්තර වල රාජකාරි කරන ක්ෂේත්‍ර වනජීවී නිලධාරීන් ඇතැම් විට තම සේවය නොපිරිහෙළා දෙපාර්තමේන්තුවට ලබාදීමට උත්සාහ දැරුවද නිලධාරීවාදය හා නිසි ඇගයීමක් නොමැතිවීම නිසා එම නිලධාරීන්ද මේ වනවිට සිටින්නේ කළකිරීමෙනි.

එබැවින් හෙට දිනයේදී හෝ මෙරට වනජීවීන් සඳහා සුරක්ෂිත පරිසරයක් තැනීමට බලධාරීන්ට සැබෑ  අවශ්‍යතාවයක් ඇත්නම් ඔවුන් මේ ගැන අද අදම දැඩි අවධානය යොමුකළ යුතුය. තමන්ට සිදුවන යම්කිසි අසාධාරණයක් හෝ අකටයුත්තක් සම්බන්ධයෙන් හඬ නැගීමට, වීදි බැසීමට හා අරගල කිරීමට මිනිසුන්ට හැකියාවක් ඇත. නමුත් තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි වනසතුන් හා ගහකොළ වල ඉරණම ඔවුන්ට එල්ලවන අසාධාරණයක් හෝ අකටයුත්තක් මගින් නිහඬවම විසඳෙනු ලැබෙන්නේ ඉතා කෘර හා අමානුශික ආකාරයට බව පාලකයින් දැඩිව සිහි තබා ගත යුතුය. අප නිසි අවබෝධයෙන් හා නිරන්තර අවධියෙන් නොසිටියහොත් මෙම අසරණ වනජීවීන්ට හා ගහකොළට සිදුවී ඇති විනාශය වටහා ගන්නා විට අප බොහෝ ප්‍රමාධ වැඩි බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

Add comment


Security code
Refresh