26
Thu, Apr

පුවත්

2018 ජනවාරි 07 වන දින

සභාපති,

ශී‍්‍ර ලංකා මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ මහ ලේකම් කාර්යාලය

සරණ මාවත

රාජගිරිය.

සභාපතිතුමනි,

අගමැති ප‍්‍රමුඛ එ.ජා.ප නායකත්වය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම

මෙම පැමිණිල්ල ලියන මොහොත වන විට (උදය 10.15 සිට) පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින ප‍්‍රධාන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සමුළුවක් යැයි බොරැල්ල කැම්බල් පිටියේ අද (ජනවාරි 07) දින පැවැත්වෙන මැතිවරණ ප‍්‍රචාරක රැළියක කටයුතු රාජ්‍ය මාධ්‍යයන් වන ශී‍්‍ර ලංකා ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය මගින් විකාශනය කෙරෙන්නේය.

මෙම විශේෂ සමුළුව යැයි නම් කෙරෙන පළාත් පාලන මැතිවරණ රැළිය ඇමතූ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කබීර් හෂීම් ඇමතිවරයා පළාත් පාලන මැතිවරණ ප‍්‍රකාශය ගැනත් ප‍්‍රචාරක අත් පති‍්‍රකා ගැනත් කතා කළ අතර, ඊළගට කොළඹ මහ නගර සභාවට එ.ජා.පයෙන් නගරාධිපති ධූරයට තරග වදින රෝසි සේනානායක මහත්මියගේ සමස්ථ කතාවම මැතිවරණ පොරොන්දු ඇතුළත් ප‍්‍රචාරක කතාවක් විය.

මෙම රැළිය ඇමතූ අගමැති රනිල් වික‍්‍රමසිංහට අනුව මෙය පළාත් පාලන අපේක්ෂකයින් සහභාගි වන්නාවූ විශේෂ සමුළුවකි.

එබැවින් විශේෂ සමුළුව යැයි පැවැත්වෙන මේ ප්‍රෝඩාකාරී මැතිවරණ රැළිය ප‍්‍රචාරණය සඳහා අගමැතිවරයා සහ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් රාජ්‍ය සම්පත් තම පක්ෂය වෙනුවෙන් යොදා ගැනීමක් නොවේ යැයි ඔබටද කිව නොහැක.

මේ අයුරු ඉතා විවෘතව හා නිර්ලජ්ජීව මැතිවරණ නීති ශී‍්‍ර.ල.නි.ප සභාපති වන ජනාධිපති සිරිසේන විසින්ද උල්ලංඝණය කළ බැව් මීට ඉහතින් පසුගිය දෙසැම්බර 28 වන දින ඔබ වෙත මෙවැනිම ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එයට කිසිදු ප‍්‍රතිචාරයක් ඔබගෙන් නොලැබුණු බැවින් නැවත ජනවාරි 04 වන දින සිහිකැඳවීමක් ලෙස තවත් ලිපියක් යොමු කළෙමි.

එළෙසින්ම මෙම පැමිණිල්ලද ඔබ අමතක කරනු නොඅනුමානය. එසේ වූවත් මෙය ඔබ වෙත යොමු කරනුයේ මෙම මැතිවරණ නීති උල්ලංඝණයට එරෙහිවද ඔබ කිසිදු පියවරක් නොගන්නේ නම්, ඔබ සහ ඔබ වගකීම් දරන්නාවූ මැතිවරණ කොමිසම මේ යහපාලන ආණ්ඩුවේ පැහැදිලි අතකොළුවක් බැව් ඔප්පු කෙරෙන බවට පූර්ව දැනුම්දීමක් කිරීම වෙනුවෙනි.

ස්තුගියි.

මෙයට විශ්වාසී,

කුසල් පෙරේරා

ස්වාධීන මාධ්‍යවේදී

Add comment


Security code
Refresh