26
Thu, Apr

පුවත්

''ජවිපෙ සක්‍රීයව සිටින තාක් කල් රට බෙදීමට ඉඩ නොතබන'' බව අනුර කුමාර දිසානායක පවසයි. වැදගත්ම කාරණය එය නොවේ. 'රට බෙදීමට' දැරූ ප්‍රයත්න ලෙස ඔහු හුවා දක්වන්නේ මොනවාද යන්නයි; ඒ අන් කිසිවක් නොව 1987 ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය, චන්ද්‍රිකා ආණ්ඩු සමයේදී එනම් 2000-2001 කාල පරිච්ජේදයේදී ඉදිරිපත් කළ දේශපාලන විසඳුම් පැකේජය, 2002 සටන් විරාම ගිවිසුම සහ එල්ටීටීඊය සමග ලංකාණ්ඩුව විවිධ අවස්ථාවලදී කළ සාකච්ජා මාලාවය. මේ අනුව, ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස ඉදිරිපත් වූ බලය බෙදීමේ මෙන්ම බලය විමධ්‍යගත කිරීමේ යෝජනාවලීන්ද පොදුවේ නාමකරණය කොට ඇත්තේ 'රට බෙදීමේ උත්සාහයන්' ලෙසය. 
එපමණක් නොව 2004 දී මහින්ද රාජපක්ෂව යුදවාදී මාවතට කැඳවනු ලැබුවේ තමන් විසින් බවද අනුර කුමාර ආඩම්බරයෙන් සඳහන් කරයි. මේ උච්චාරණය කෙරෙන්නේ අන් කිසිවක් නොව හෙළ උරුමය, ජාතික චින්තනය සහ ජානිපෙ (ඒකාබද්ධ විපක්ෂය ගැන කියනුම කවරේද?) විසින් ජවිපෙ හා සමාන්තරව ඉදිරිපත් කරමින් සිටින සිංහල-බෞද්ධ ජනවාර්ගික ජාතිකවාදී කතිකාවමය. 


මේ අවස්ථාවේදී ජවිපෙ 'රට බෙදීමට එරෙහි' කතාව යළි ඉස්මතු කරන්නේ මැතිවරණ ජනප්‍රියවාදය තුළය. මේ 1960 දශකයේ මුල් භාගයේ සිටම මෙරට වමේ දේශපාලනය මැතිවරණ (හෝ රැඩිකල්) ජනප්‍රියවාදය තුළ ගොදුරු වූ ජනවාර්ගික ජාතිකවාදයේ දෘෂ්ටිවාදී හෙජමොනිය යළි ප්‍රකාශයට පත් වීමකි. 
මැතිවරණ සමයන් යනු මෙරට ඊනියා පොදු ජනයා දේශපාලනිකව සක්‍රීය වන කාල පරිච්ජේදයන් යැයි කියනු අප අසා තිබේ. නමුත් ග්‍රාම්ස්චියානු අරුතින් මැතිවරණ සමයන් යනු අධිපති දෘෂ්ටිවාදයන් ස්වකීය ශක්තීන් පුනර්-ජනනය කර ගන්නා කාල පරිච්ජේදයන් යැයි කීම වඩාත් ගෝචර නොවන්නේද? ඒවාට එම ශක්‍යතාව ලැබෙන්නේ විශේෂයෙන්ම මැතිවරණ කාලයේදී විවිධ ධාරාවල 'විවේචක බුද්ධිමතුන්' (විවිධ ප්‍රයෝජ්‍යතාවාදී හේතු දක්වමින්) දෘෂ්ටිවාදී අරගලයට 'නිවාඩු දීම' පසුබිම් කොටගෙනය. 
අනෙක් අතට සිංහල-බෞද්ධ ජනවාර්ගික ජාතිකවාදී හෙජමොනියේ සැකැස්ම දෙස බලන විට පෙනී යන්නේ වෙනත් ජනප්‍රිය (සහ විශේෂයෙන්ම පාලක නොවන) දේශපාලන පැන නැගීම් කෙරෙන් ශක්තිය (සහ සුජාතභාවය) දිනා ගැනීමට එයට ඇති ශක්‍යතාවයි. ප්‍රභූ-විරෝධය, ධනපති-විරෝධය, ජනප්‍රිය සුභසාධනවාදය, සංස්කෘතික ආරක්ෂණවාදය, ජනප්‍රිය ආණ්ඩු විරෝධය යනාදී විවිධ දෘෂ්ටිවාදී ප්‍රවාහයන් ප්‍රයෝජ්‍යතාවාදී ලෙස අවශෝෂණය කර ගන්නට (සහ එනයින් ඒවායෙහි විමුක්ති ශක්‍යතා හීලෑ කරන්නට) අධිපති ජාතිකවාදී කතිකාව සමත් වී තිබේ. මෙවර ජවිපෙ මැතිවරණ ව්‍යාපෘතිය තුළදී එය ශක්තිය ලබන්නේ ජනප්‍රිය දූෂණ විරෝධී දෘෂ්ටිවාදය වෙතිනි. එසේනම් මේ දූෂණ විරෝධී දෘෂ්ටිවාදී පළිහක් පිටුපස වැඩෙන්නේ පසු අදියරකදී ජනවාර්ගික සහ/හෝ ආගමික සුළුතරයන්ට එරෙහිව හැරවිය හැකි හෙජමොනික හස්තයක් විය නොහැකිද? 


ග්‍රාම්ස්චි පැවසූ ලෙස යුද සංග්‍රාමයකදී පහර දිය යුත්තේ සතුරාගේ දුර්වලම තැනට වුවද, දෘෂ්ටිවාදී අරගලයේදී පහරදිය යුත්තේ ඔහුගේ ශක්තිමත්ම තැනටය. මෙම ප්‍රවාදයට කාල මානය එක් කළහොත් කිව හැක්කේ ප්‍රහාරයේ මොහොත විය යුත්තේ අධිපති දෘෂ්ටිවාදය නිදි කිරා වැටෙන මොහොතක් නොව එය නිදි ගැට කඩා අවදි වන්නට බලන මොහොතක් බවය. ඒ අනුව මෙරට මැතිවරණ කාල පරිච්ජේද වනාහී දෘෂ්ටිවාදී අරගලය නිවාඩු යා යුතු කාල පරිච්ජේදයක් නොව එය තීව්‍ර විය යුතු මොහොතකි.
පසුගිය දිනවලදී අප ජනවාර්ගික ගැටලුව පිලිබඳ පෙරටුගාමී පක්ෂයේ ස්ථාවරයද මෙලෙසම විවේචනය කළෙමු. එහිදී (අප එකඟ නොවූවද), ස්වයං-නිර්ණය අයිතිය වෙනුවට 'සම අයිතිය' යන වෙනස් සටන් පාඨය එම පක්ෂයේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කෙරෙන්නට යෙදුනි. (මේ පිලිබඳ විවාදය අවසන් යැයි අපි කිසිසේත් පිළි නොගනිමු). නමුත්, ජවිපෙ නායකයාගේ ප්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ ඔවුන් ජාතික චින්තනය සහ හෙළ උරුමය විසින් නිමැවූ කතිකාමය සිතිජයෙන් ඔබ්බට අඟලක්වත් ගොස් නොමැති බවය. නැත්නම් එසේ යන්නට උනන්දුවක් හෝ හැකියාවක් පෙන්වා නොමැති බවය. 


ලොව පුරා සේම ලංකාවේද වමට ප්‍රහාරාත්මක උපාය මාර්ගය වෙනුවට කඳවුරු බඳින උපාය මාර්ගය (war of position) තෝරා ගන්නට සිදුව තිබෙන වත්මන් යුගයේදී ජවිපෙ විසින් මතු කොට තිබෙන ඉහත අභියෝගය මග හැර යා නොහැකිය. තමන්ද ජවිපෙ මැතිවරණ ජනප්‍රියවාදයේ වල්ගයක් වී සිටිමින් නම් කිසිවෙකුටත් මේ අභියෝගය අභිමුඛ විය නොහැකිය.

සුමිත් චාමින්ද

 

Add comment


Security code
Refresh