26
Thu, Apr

පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ අශෝක රන්වල සහෝදරයාට සපුගස්කන්ද පොලීසිය අමානුෂික ලෙස පහරදීමත්, ඔහු අසත්‍ය චෝදනා එල්ල කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් හෙළ දැකීමට සියල්ලන් එක් විය යුතුය. පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද තරුණයෙකුට පොලීසිය විසින් පහරදීමේ සිද්ධියකට මැදිහත් වීමට සපුගස්කන්ද පොලීසියට ගිය අවස්ථාවේදී මෙම මර්දනීය සිද්ධිය සිදුවී තිබේ. රන්වල සහෝදරයාට පහර දුන් පොලීසිය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමේ චෝදනාවක් එල්ල කර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලීසියේ මර්දනකාරී ක්‍රියා පිළිවෙත එක ප්‍රශ්නයකි. පොලීසියෙන් පහර කා රෝහල්ගතව සිටින කෙනෙකු ඇප ලබා නොදී බන්ධනාගාරගත කිරීමට අධිකරණය ගෙන තිබෙන තීන්දුව තවත් ප්‍රශ්නයකි. මෙම රාජ්‍ය ආයතන වල නිලධාරීන් නීතිය තමන්ට අවශ්‍ය ලෙස නවමින් අත්තනෝමතික ලෙස සිය බලය ජනතාවට එරෙහිව යොදවමින් සිටින බවට මෙය කදිම නිදසුනකි.


පොලීසිය, අධිකරණය වැනි ආයතන වලින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන තර්ජන ඉවත් කිරීම පසුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ වේදිකා දෙවනත් කළ යහපාලන පොරොන්දුවකි. ඒ සඳහා යෝජනා කෙරුණේ 19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඊනියා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමයි. මෙම කොමිෂන් සභා මගින් පොලීසිය, අධිකරණය වැනි ආයතන වලට එල්ල වන දේශපාලන මැදිහත්වීම් ඉවත් කරන බවට මතයක් නිර්මාණය කළ අතර සිදුකළ ප්‍රතිසංස්කරණ හරහා නිලධාරී තන්ත්‍රය බලාත්මක කෙරිණි. දේශපාලන බලපෑමේ අවකාශයද සම්පූර්ණයෙන් අහෝසි නොවිණි. අපගේ අදහස වුයේ දේශපාලන තන්ත්‍රය බලවත්වීම තරමටම නිලධාරී තන්ත්‍රය බලවත් වීමද ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට හානිකර බවය. නමුත් පාලක ස්ථාපිතයේ සියලු කොටස් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් බවත්, දැන් පොලීසිය-අධිකරණය වැනි ආයතන මර්දන උපකරණ නොව මහජන සේවා ආයතන බවත්, පොලිස්පති ආදී නිලධාරීන් පාර්ලිමේන්තු ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කරන ලද නිසා ඔවුන් මධ්‍යස්ථ ජනතා සේවකයන් වී ඇති බවත් පුන පුනා මතුරණ ලදී. මෙවැනි සිදුවීම් වලින් අනාවරණය වන්නේ එම මැතිරිලි වල නිරුවතයි.


පොලීසිය ඇතුළු මර්දන ආයතන වල දේශපාලන පක්ෂපාතී බවත්, ඒවායේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, නිලධාරීවාදී අත්තනොමතිකත්වයත් පිලිබඳ සමාජයට අධ්‍යාපනය ලබා දීමට මෙම සිදුවීම් උපයෝගී කර ගන්නා අතරම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් ජනතා හඬක්, ජනතා බලයක් ගොඩ නැගිය යුතුය.

Add comment


Security code
Refresh