22
Sun, Oct

පුවත්

කල්පිටිය නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු විදුලි බලාගාරය සඳහා මේ වසරේ පරිසර බලපත්‍රය නිකුත් කර නොමැති බව වයඹ පළාත් පරිසර අධිකාරිය ප්‍රකාශ කරයි.
වයඹ පළාත් පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එස්.කේ.ඒ වන්නිආරච්චි ඒ සම්බන්ධයෙන් පවසන්නේ අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබඳ වැඩි දුර යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

වයඹ පළාත් පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එස් .කේ.ඒ. වන්නිආරච්චි, වයඹ පළාත් පරිසර අධිකාරියේ තොරතුරු ලබා දීමේ නිලධාරියා ද වන අතර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ද ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය නොහැකි බව දඔහු පවසයි.

කල්පිටිය නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු විදුලි බලාගාරය නිසා ඒ අවට ප්‍රදේශයේ විශාල පරිසර හානියක් සිදු වන බවට ජනතාව මැසිවිලි නගන්නේ දීර්ඝ කාලයක සිට ය.
බලාගාරය ඉදිකිරීමට පෙර සිටම ප්‍රදේශයේ ජනතාවගෙන් මෙන්ම පරිසරවේදීන්ගෙන් ද ඊට දැඩි විරෝධයක් එල්ල විය.
එහිදී පරිසරවේදීන් මෙන්ම ජනතාව ද පෙන්වා දුන් ප්‍රධාන කරුණක් වූයේ බලාගාරයෙන් ඉවත ලන අපද්‍රව්‍ය බැහැර කෙරෙන ආකාරය ගැටලු සහගත විය හැකි බවය.

අද වන විට අපද්‍රව්‍ය බැහැර කිරීමට අමතරව බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වන ගල් අඟුරු ගබඩා කිරීම හා එහි තත්ත්වය පිළිබදව ද බරපතළ ගැටලු මතුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ප්‍රදේශයේ ජනතාවට බරපතළ සෞඛ්‍ය ගැටලු කීපයකට මුහුණ දීමට සිදු වීම ඒ අතර ප්‍රධාන වේ.

බලාගාරය අවට ජිවත් වන ළමුන් පිරිසකට චර්ම රෝග වැළඳී තිබේ.
නොරොච්චෝලේ බලාගාරය ආසන්නයේ උතුරු දෙසින් පිහිටි නිවසේ ජිවත් වන දැරියකගේ දෑත්වල, බලාගාරයට දකුණු දෙසින් පිහිටි නිවසේ ජිවත් වන දැරියකගේ පාද වල ද, බලාගාරයට නැගෙනහිරින් පිහිටි නිවාස දෙකක ජිවත් වන දරුවන් දෙදෙනෙකුගේ පාදයේ හා හිසේ ද එම රෝගී තත්ත්වයන් දැක ගත හැක.

Add comment


Security code
Refresh