26
Thu, Apr

පොත්

ගෑනු හරියට පූසෝ වගෙ පුරුපුරු ගගා... කොහොමද මුරු මුරු ගගා කනකොට... මේ, විජේටයි යූලිසිස්ටයි දාපු පාට් මා එක්ක දානව නෙවෙයි. මං මේ තම්බපන්නියේ පොළව පාගපු යක්ස කොල්ලෙක්. හරි...” ඉහත දැක්වූයේ කේ. කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව වන ‘මහිලා වංශය’ කෘතියේ එන වාක්‍යයකි.

මේ නිර්මාණශීලි ලේඛකයාගේ සාහිත්‍ය භාවිතාව වටහා ගන්ට ඒ කෙටි වාක්‍යය වුව ප්‍රමාණවත් යැයි මම සිතමි. කේ. කේ. සමන් කුමාර අපට හැඳින්විය හැක්කේ අසම්මත, විකල්ප, යථාර්ථ විරෝධි යන වචනවලින් අර්ථ ගැන්විය හැකි සාහිත්‍යධරයකු ලෙසිනි. ඔහු ලියු ‘සර්පයකු හා සටන් වැද’ (කෙටිකතා) ‘නේරංජනේ ඉස්නානේ’ (නවකතා) වැනි කෘති එය සාක්ෂාත් කරවයි. සමන්ගේ ‘මහිලා වංශය’ නවකතාව දැනටමත් සාහිත්‍ය ලෝකය තුළ කිසියම් කැලඹීමක් ඇතිකර ඇත. මේ සමන් සමඟ කෙරෙන සංලාපයකි.

• ඔබ ඔබේ ‘ආසාත්මිකතාව’ කෙටි කතා සංග්‍රහය පිළිගන්වා තිබෙන්නේ සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන, ටෙනිසන් පෙරේරා යන ලාංකික සාහිත්‍යයේ නූතනවාදි ත්‍රිත්වයට කියලා?
එව්. මේ තිදෙනා තමයි නූතනවාදි (MODERNISM) සාහිත්‍යයේ සුවිශේෂම තිදෙනා විදියට මම දකින්නේ.

• මං හිතන විදියට මෙරට නූතනවාදි කලාවේ ඇරැඹුම ’43 කණ්ඩායමේ’ පුරෝගාමියා වන ලයනල් වෙන්ඩ්ට් කියලයි. ඒක මගේ මතවාදය...
සාහිත්‍ය තුළ නූතනවාදය පටන්ගත්තේ මහාචාර්ය සිරි ගුනසිංහගේ නිසඳැස් කවිවලින්. දෘෂ්ටිමය වශයෙන්, ආකෘතිමය වශයෙන්, ශෛලිය අතින් නූතනවාදය සාහිත්‍ය කලාවේ සලකුණු කරන්නේ එතැනින්. හැබැයි කෙනකුට මීට ප්‍රතිපක්ෂ අදහස් දරන්නත් පුළුවන්. කෙනකුට කියන්න පුළුවන්, හේමපාල මුනිදාසගේ ‘කින්නර පිස්සුව’ කියන කෙටිකතාවෙන් නූතනවාදය පටන්ගත්තා කියලා. ඒක කොළඹ හතේ ගෑනියෙක් නිර්වස්ත්‍රව පාර පුරා ඇවිදින කතාවක්. NYMPHOMANIA කියන්නේ ඒකටනේ. ඒ කියන්නේ ‘කින්නර උන්මාදය’. මේක ගැහැනුන් තුළ අධිකාමුකත්වය ඇති කරවන, නිරුවතින් සැරිසැරීමට පොලඹවන මානසික රෝගී තත්ත්වයක්. ඉතිං ඒ වගේ කෙටිකතාවක් හතළිස් ගණන්වල හේමපාල මුනිදාස ලියලා තියෙන්නෙ.

• ඇත්තටම නූතනවාදය කියන්නේ මොකද්ද?
කාර්මිකකරණයත් එක්ක නාගරිකරණයත් එක්ක සමාජය පරාරෝපිත වෙනවා. මිනිස්සු පරාරෝපිත වෙනවා. (කාල් මාක්ස් පරාරෝපණය දකින්නේ ආර්ථික හා ප්‍රාග්ධන කේන්ද්‍රීය කෝණයකින්) සමාජ හා මනෝ විද්‍යාත්මක වශයෙන්, ආත්මිය වශයෙන් සමාජය විසංයෝජනයට පත් වෙනවා. එතකොට මිනිස්සු අභ්‍යන්තරිකව විසංයෝජනය වෙනවා. ආගම ගැන, පවුල් සංස්ථාව ගැන, සාරධර්ම ගැන එකිනෙකා ගැන තියෙන විශ්වාස බිඳ වැටෙන්න පටන් ගන්නවා. ෆ්‍රෙඩ්රික් නිට්ෂේ කිව්වා, දෙවියන් මියගිහිං, දෙවියන් රහිත වූ විශ්වයේ කිසිම තේරුමක් නැහැ කියලා. මොකද මිනිස්සුන්ගේ සියලු වටිනාකම් බැඳිලා තිබුණේ දෙවියන් එක්ක. දැන් දෙවියන් මියගියාට පසු කිසිදු අර්ථයක් මේ විශ්වයේ නැහැ. මේ පොදු තත්ත්වයට තමයි නූතනවාදය කියන්නේ. මේක දර්ශනය තුළ, සාහිත්‍ය තුළ, චිත්‍ර කලාව තුළ අනුක්‍රමයෙන් පිළිබිඹු වෙන්න පටන් ගන්නවා.

• අපි ශ්‍රී ලාංකික සාහිත්‍යයේ නූතනවාදි ත්‍රිත්වය ගැන පොඩ්ඩක් කතා කරමු ද?
අපිට පුළුවන් අජිත් තිලකසේනගෙන් පටන්ගන්න. නූතනවාදය උපරීමයට ගෙන ගියේ ඔහු. ඒ වගේම සමාජ විශ්ලේෂකයකු විදියටත් අජිත් කළ කාර්යභාරය විශිෂ්ටයි. ඔහු අනාගත සමාජයේ සිදුවන වෙනස පරිවර්තනය කල් තියා දුටු කෙනෙක්.

• නමුත් අද ඉන්න අජිත් එදා හිටපු අජිත් නෙමෙයි කියල ඇතැමුන් කියනවා.
පෞද්ගලිකව මම වුණත් ‘සාදය’ කෙටිකතා සංග්‍රහයෙන් පස්සේ ඔහු ලියපු කෘති ගැන ඒ තරම්ම ළැදියාවක් දක්වන්නේ නැහැ. ඔහුගේ මුල් කෙටිකතා (විශේෂයෙන් ‘සුන්නද්දූලි’ වගේ කෙටිකතා) බෝම්බ වගේ පුපුරපු කෘති. මං දන්නේ නැහැ වියපත් වීම නිසා ද කියලා, ඔහුගේ දැන් කෙටිකතා හරියට ජයතිලක කම්මැල්ලවීරගේ කෙටිකතා වගේ.

• ඇයි, කම්මැල්ලවීර කබල් කෙටිකතාකරුවෙක් ද?
නැහැ. ඔහු ඔහුගේ ධාරාව තුළ මෙරට බිහි වෙච්ච අතිවිශිෂ්ට කෙටිකතාකරුවෙක්. ඒක අපිට අභියෝග කරන්න බැහැ. මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා ඔහුගේ කෙටිකතා එක්ක අහලකින්වත් තියන්න බැහැ. කම්මැල්ලවීර තමයි යථාර්ථවාදී රිතිය තුළ ඉතා පරිණතම කෙටිකතාකරුවා. අජිත් එක්තරා කූටප්‍රාප්තියකට ගිහිල්ලා අද ඇල් මැරුණු යථාර්ථවාදයට කිට්ටු කෙටිකතා ලියන බවක් පේනවා. ඒක අස්සේ ඔහුගේ සුපුරුදු ශෛලිය එහෙන් මෙහෙන් තියෙනවා. එච්චරයි.

• ඔබ අජිත්ගේ ගෝලයෙක් නේද?
අජිත් අපිට බලපෑවා. ඒක ඇත්ත. ඔහු මගේ ‘සර්පයකු හා සටන් වැද’ පොත කියවලා මට එන්න කිව්වා. ඒ ගියාම ඔහු කියපු දේ තමයි සමන් මාර්ටින් වික්‍රමසිංහ වගෙ කබල් කෙටිකතාකාරයෙක් වුණානම් මං මේ විදියට සමන්ට එන්න කියන්නේ නැහැ. ඊට පස්සේ ඔහු මගේ ප්‍රතිභාව අගය කළා. මට උපදෙස් දුන්නා. ඒවා සාහිත්‍යකරුවකු ලෙස මට හුඟක් ප්‍රයෝජනවත් වුණා.

• ඊළඟට සයිමන්?
සයිමන්ව මට පේන්නේ හරියට පිටසක්වළ ජීවියෙක් වගේ. ඒක වෙනමම ලෝක බැහැදැක්මක්. මං හිතන්නේ අපේ සමාජය පුරෝකථනය කළ විශිෂ්ටතම සාහිත්‍යධරයා ඔහු. ඔහු 1989 දී ‘සාපේක්ෂණි’ නවකතාව ලියනවා. පසුකාලීනව අපේ සමාජය අංග ඡේදනයට පත්වෙන හැටි ඔහු එහි පුරෝකථනය කරනවා. ඔහු මවන අංගජාතකය නැති රණබාහුලා බවට සියලු විප්ලවීය දේශපාලන ව්‍යාපාර පත්වෙලා තියෙනවා. ඒක සයිමන් තරම් කාටවත් ඒ තරම් ලස්සනට පුරෝකථනය කරන්න බැරි වුණා.

• සයිමන්ගේ පසුකාලීන නවකතා කියවන්න සාමාන්‍යයෙන් පාඨකයන්ට අමාරුයි ඇයි?
අපිට තිබුණේ ථෙරවාදි ආධිපත්‍ය සහිත සාහිත්‍යයක්. ඒක මුලින්ම කඩන්නේ සයිමන්. ඔහු මහයාන සාහිත්‍යයක් ආදේශ කරනවා. අනික අපේ ඔළුවල තිබුණේ බටහිර සාහිත්‍ය විචාරයෙන් ආපු යථාර්ථවාදයක්නේ. ඒකෙන් පිට පනින සාහිත්‍යය අපිට තේරුණේ නැහැ. සයිමන්ව කියවල තේරුම් ගන්න කිසියම් හයිබ්‍රිඩ් එකක් ඕනැ කරනවා කියලා මට හිතෙනවා. සයිමන්ගේ අන්තිම කාලේ පොත් තේරුම් ගන්න මට වුණත් අවුරුදු අටක් ගියා. මොකද අපිට ඒවා වටහා දෙන්න පුළුවන් පුරෝගාමින් හිටියෙත් නැහැනේ මේ රටේ.

• ඔබ ටෙනිසන් පෙරේරාවත් නූතනවාදි සාහිත්‍ය ත්‍රිත්වයට ඇතුළත් කරනවා?
උපහාසය හා සමාජ විවේචනය ඉතාම කර්කශ විදියට යොදාගත් නූතනවාදී ලේඛකයා තමයි ටෙනිසන්. විශේෂයෙන් ‘දැති රෝදෙන් උපන් බුදුන්’, ‘දුට්ඨ ගාමිණි නොමළ වගයි’ කියන කෘති ඔස්සේ. ඔහු බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍ය භාවිතාවක නිරත වුණා. අපේ රටේ සාමාන්‍යයෙන් තියෙන්නේ ශ්‍රද්ධා මාර්ගික සාහිත්‍යයක්නේ. ඒ වගේම පේරාදෙණි සාහිත්‍ය විසින් හඳුන්වා දෙන ලද විඥාන ධාරා රීතිය (STREAM OF CONSCIOUSNES) ඒ ගුරුකුලයෙන් පිටස්තරව උපරීම තලයකට ගෙන ගියේ ටෙනිසන්. තවත් කාරණාවක් තමයි ඔහුගේ කෘතිවල මායා යථාර්ථවාදි (MAGICAL REALISM) ලක්ෂණ අඩංගු වීම.

• හැබැයි අජිත්ට වුණ දේම නේද පස්සෙ කාලෙක ටෙනිසන්ටත් වෙන්නෙ?
‘සක්වළ දඩයමෙන්’ පස්සෙ ඔහු ලියපු නවකතා වෘත්තාන්ත ලක්ෂණ දරනවා. අර මුල් සාධනීය ලක්ෂණත් එහෙන් මෙහෙන් ගැටගහගෙන තමයි ඔහු ඒ ප්‍රබන්ධ කරන්නේ. හරියට අපේ සමාන්තර සිනමාව වගේ. දෙපැත්තම බේරගෙන. ඔහුට විශාල පාඨක ප්‍රජාවක් ඉන්නවා. ඔහු දැන් සැහැල්ලු කියවීම් (LIGHT READER) සාහිත්‍යයකට ගිහිං තියෙන බව තමයි පේන්නේ.

• නූතනවාදි ත්‍රිත්වයට ඇතුළත් නොවුණත් ඔබ මහගමසේකර ගැනත් සුවිශේෂ මතවාදයක් දරනවා.
ඔහුත් සමාජය පුරෝකථනය කළ කවියෙක්. ඔහුගේ ‘ප්‍රබුද්ධ’ කවි පොත පසු කලෙක සිදුවන කලාකරුවන්ගේ පන්ති සංක්‍රමණය ගැන, අද කලාවට වෙලා තියෙන ඛේදවාචකය විවෘත ආර්ථිකයත් එක්ක, පාරිභෝගිකවාදයත් එක්ක මුලින්ම දකින්නේ සේකර.

• සිරිල් බී. පෙරේරාත් අපට අමතක කරන්න බැහැ?
ඔව්. ඒ සාහිත්‍යධරයකු වශයෙනුත්, කලා විචාරකයෙකු වශයෙනුත්. ඔහුගේ ‘මරණ තුනක් ඇති මිනිහෙක්’, ‘නිඹුල්ලු’ වගේ පොත් මුළුමනින්ම නූතනවාදියි. ඔහු නූතනවාදි කලා විචාරයක් ගොඩනැංවීමේ පුරෝගාමියෙක්. ඔහු තමයි මුලින්ම ෆ්‍රොයිඩියානු සංකල්ප කලා විචාරයට ගේන්නෙ.

• පේරාදෙණි සාහිත්‍යය බිඳ නොවැටුණා නම් නූතනවාදි සාහිත්‍ය මීට වඩා අභිවර්ධනය වෙන්න ඉඩ තිබුණා කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?
අපේ රටේ හැම දෙයක්ම ස්ටෙප් බයි ස්ටෙප් වෙන්නෙ නැහැනේ. ඒවා ඉතිහාසයේ වෙන ඇක්සිඩන්ට්. හැබැයි ඒකටත් අර්ථයක් තියෙනවා. අජිත් තිලකසේන වගෙ ලේඛකයන් පේරාදෙණි සාහිත්‍යයට සමාන්තරව ඊටත් එහා ගිහිං නූතනවාදයේ උපරීම තැනට එනවා. ඒත් පේරාදෙණි ගුරුකුලය අජිත් ගැන වචනයක්වත් කතා කරල නැහැ. ඔහු කල්ලිවලට වැටුණෙත් නැහැනේ. හැබැයි පේරාදෙණි ගුරුකුලයෙන් අපේ සාහිත්‍යයට විශාල වැඩ කොටසක් සිදුවුණා. ඒක නැහැ කියන්න බැහැ.

• නූතනවාදයෙන් පස්සේ එන්නේ පශ්චාත් නූතනවාදය...
පශ්චාත් නූතනවාදයක් කියලා දෙයක් නැහැ. තියෙන්නේ පශ්චාත් නූතන තත්ත්වයක් පමණයි. මාක්ස්වාදය වගේ ඒකේ අගට ISM එකක් දාගත්තා.

• ඇත්තටම මොකද්ද පශ්චාත් නූතනවාදය කියන්නෙ?
මහා ආඛ්‍යාන බිඳ වැටීම තමයි ප්‍රධානම දේ. ඒ වෙනුවට සුළු සුළු ආඛ්‍යාන; මූල ආඛ්‍යාන පැන නඟිනවා. ශොන් ප්‍රැන්ශුව, ලියෝතාද් කියන්නේ පශ්චාත් නූතන යන්න නිර්වචනය කරන්නේ මහා ආඛ්‍යාන කෙරෙහි වන අවිශ්වසනීය භාවය නිසා බවයි නූතනවාදය කාර්මිකරණයත් එක්ක ඇතිවුණානම් පශ්චාත් නූතනවාදය ඇතිවන්නේ ක්ෂුද්‍ර කාර්මිකරණයත් එක්ක. පරිගණක වගේ තාක්ෂණ බිහිවන්නේ ඒ තුළයි. කතුවරයා මියයෑම, බහු පඨිතතාව වැනි සංකල්ප එන්නේ පශ්චාත් නූතනවාදය යටතේ.

• ඔබ එක්තරා ලේඛනයකදී පශ්චාත් නූතනවාදය අපේ රටට හඳුන්වා දුන් අය ගැන (ජේ. උයන්ගොඩ, අර්ජුන පරාක්‍රම, නලින් ස්වාරිස්, රංජිත් පෙරේරා, ලියනගේ අමරකීර්ති) කියද්දි දීප්ති කුමාර ගුණරත්නගේ නම සඳහන් කරන්නේ නැහැ...
එහෙම වුණානම් ඒක මඟහැරිමක්. මේ සංකල්පය සමාජගත කරපු, ඒක සමාජ දේශපාලන ව්‍යාපාරයට ගෙන ආපු චරිතය තමයි දීප්ති. ඔහු ඒක අදටත් අඛණ්ඩව කරගෙන යනවා. ජේ. උයන්ගොඩ තමයි මුල් වතාවට ඔහුගේ ලියකියවිලි ඔස්සේ පශ්චාත් නූතනවාදය අපට හඳුන්වල දුන්නෙ. මේ මතවාදය සංවාද ඇතුළේ අපේ කුලයකට ගෙන ආවේ රොහාන් පෙරේරා. ඊළඟ පියවර තමයි දීප්ති. සාහිත්‍ය විචාරයට පශ්චාත් නූතනවාදය එක්කළේ සමන් වික්‍රමාරච්චි යැයි කියන්න පුළුවන්.

• පශ්චාත් නූතනවාදය තුළ විවිධ සාහිත්‍ය ශානර (GENRE) දක්නට ලැබෙනවා. ඒ මොනව ද?
අපොයි විවිධ ශානර තියෙනවා. මායා යථාර්ථවාදය (MAGICAL REALISM), මායා භ්‍රාන්තිමය යථාර්ථවාදය (HALLUCINATORY REALISM), සමසරාගික සාහිත්‍යය (GLBT), පශ්චාත් යටත් විජිතවාදි සාහිත්‍ය (POST COLONIAL LITERATURE), පාර ප්‍රබන්ධ (META FICTION) යනාදි වශයෙන් මේවා නම් කරන්න පුළුවන්. මායා යථාර්ථවාදය පටන්ගත්තේ ආර්ජෙන්ටිනාවේ ජෝර්ජ් ලුයි බෝගොස්ගෙන්. මායා භාන්ත්‍රිමය යථාර්ථවාදි සාහිත්‍යකරුවකුට හොඳ නිදර්ශනයක් තමයි 2012 නොබෙල් ත්‍යාගය හිමිකර ගත් චීන ලේඛක මෝසෑන්.

• ඒත් ටෙරි ඊගල්ටන් වගේ විචාරකයන් කියන්නේ යථාර්ථවාදය තවමත් වලංගු බවයි...
මොන ශානර ආවත් යථාර්ථවාදය අවලංගු වෙන්නේ නැහැ. යථාර්ථවාදය නමැති මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගැහුවයි කියලා කාටවත් කියන්න බැහැ. විචාරයක් හැටියට ඒක වලංගු වෙන්න පුළුවන්. ඒත් කෘති නිර්මාණයේදී එය තවමත් වලංගුයි. ඇලිස් මොන්රෝ වගේ ලේඛිකාවක් හඳුන්වන්නේ කැනේඩියානු චෙකෝව් වශයෙන්. ඇගේ කෙටිකතාවල දක්නට ලැබෙන්නේ චෙකෝවියානු ලක්ෂණ. ඇය යථාර්ථවාදි රීතිය ඉතාම අපූරුවට භාවිත කරනවා. එල්මෝර් කැට්න් නවකතාවක් ලියලා තියෙනවා, ‘ද ලුමිනරිස්’ කියලා. ඒකට බුකර් ත්‍යාගය ලැබුණා. ඇය තමයි එම ත්‍යාගය ලද ළාබාලම ලේඛිකාව. ඒකේ තියෙන්නේ වික්ටෝරියානු සාහිත්‍ය ලක්ෂණ. ‘අපසරණය’ ඒ කියන්නෙ DIGRESSION කියන එක ඒ පොතේ තියෙනවා. ඒවා අපිට බැහැර කරන්න පුළුවන් රීති නෙමෙයි.

• පෞද්ගලිකව ගත්තම ඔබේ නිර්මාණ අයිති වෙන්නෙ පශ්චාත් නූතනවාදයකට ද?
මගේ පශ්චාත් නූතනවාදි මිතුරන් කියන්නේ මම තවම ලියන්නේ 80 දශකයට කියලයි. මට තියෙන්නේ 80 දශකයේ ආත්මයක් කියලයි ඔවුන් කියන්නේ. මම මේ නූතන විනෝද සමාජයට වෛර කරනවා. ඒක මට පිළිකුල්. විචාරාක්ෂියෙන් ගත්තත් ඒක මට ආත්මීයව ගන්න බැහැ. අජිත් තිලකසේන කියනව වගේ කලාකරුවා කලා කෘතියේ භාව වේගයන්ට හසුව ගසාගෙන යනවා. ඒ ගැන පිටත ඉඳන් කිසියම් විනිශ්චයක් කරන්න පුළුවන්. එතකොට මං ලියන දේ තුළ කිසියම් හැඩයක් මම දකිනවා. මං යමක් ලියන්න වාඩිවෙනකොට අසුවල් රීතියෙන් ලියනවා කියලා මට කියන්න බැහැ. හැබැයි අපි අපේ කාමරයට අපි අකැමැති අය එනවට කැමැති නැහැ වගේ මගේ නිර්මාණවලට වැද්ද නොගන්න චරිත කීපයක් තිබෙනවා. ඒක සවිඥානකව වන දෙයක්. එක් කොටසක් තමයි ධනපති පන්තිය. අනිත් කොටස තමයි දේශපාලනඥයෝ. ඔවුන්ට මගේ කෘතිවලට එන්න මං ඉඩ තියන්නේ නැහැ. ඒක මගේ ෆැන්ටසියක් වෙන්න පුළුවන්.

• විචාරය කියන දේ අද වෙනකොට අහෝසි වෙලා කියලා ඔබ කියලා තියෙනවා. ඔබ එයින් අදහස් කරන්නේ මොකද්ද?
අතීතයේ තිබ්බනේ ගුණදොස් විචාරය කියලා දෙයක්. කතාව හොඳයි; දෙබස් හොඳ නැහැ. මේ කෘතියෙන් මේ වගේ පණිවිඩයක් දුන්නානම් හොඳයි. මේකේ අවසානය වෙන්න ඕනැ ඔහොම නෙමෙයි මෙහෙමයි වගේ ගුණදොස් විචාරයක් තිබ්බනේ. ඒක අහෝසියි. මොකද කලාකරුවාගේ අධ්‍යාශය කියල දෙයක් දැන් නැහැ. කතුවරයා මැරිලා. දැන් කලා කෘති බහු අර්ථයි. විවිධ පාඨන තියෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ශිල්පීය වශයෙන් මේවායේ දුර්වලකම් නැද්ද කියලා. දැන් ලෝකයේ ශිල්පීය වශයෙන් දුර්වල කෘති බිහිවෙන්නේ නැහැ. ඒවා බිහිවන්නේ අපේ රටේ විතරයි. ඒක අපේ දරිද්‍රතාව. මොකද පිටරට කලාකරුවො වගේ අපිට කලාව ප්‍රගුණ කරන්න, කලාව පවත්වගෙන යන්න පූර්ණ කාලය නැහැ. විවේක බුද්ධිය නැහැ.

• පෞද්ගලිකව ඔබේ පැවැත්ම කොහොම ද? ඔබේ පොත් හොඳට විකිණෙනව ද?
නැහැ. ඒකත් පිහිටන්න ඕනැ. මට වාසනාව කියන දේ නැහැ. අපෙන් පසුව බිහිවුණු මොහාන් රාජ් මඩවලට, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට, කෞශල්‍ය කුමාරසිංහට ඒ වාසනා ගුණය තිබෙනවා. එතැන පොඩි මාකටිං එකතුත් නැතිව නෙමේ. හැබැයි ඔවුන්ට පාඨක පිරිසක් ඉන්නවා. මට එහෙම නැහැ.

• එතකොට ඔබ මොකද කරන්නෙ?
මම ඉතිං ජීවත් වෙන්න මේසන් බාස්ලා වගෙ එක එක වැඩ කරනවා. Fmවල ගීත තෝරනවා. කුලියට උපාධි නිබන්ධ ලියනවා. එන්ජීඕවල පරිවර්තන වැඩ කරනවා.

සුනිල් මිහිඳුකුල

Add comment


Security code
Refresh