21
Sat, Apr

දේශීය පරිසරවිනාශය

ආසියානු අලි ඇතුන් සියවස් ගණනාවක් පුරා ජනතාවගේ ගෞරවයට පාත්‍රවී ඇති සත්ත්ව විශේෂයක් වන අතර අතර ඔවුන් වාසය කරන මහාද්වීපයේ සංස්කෘතික හා ආගමික සංකල්ප තුල වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

එසේම කලාපීය වනාන්තර වල ආරක්ෂාව සඳහා ද ඔවුන් වැදගත් භූමිකාවක් ඉටු කරයි. ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත ලේඛණයට අනුව ‘තර්ජනයට ලක්වූ’ සත්ත්ව විශේෂයක් ලෙස ආසියානු අලි ඇතුන් (Elephus maximus) ලැයිස්තුගත කර ඇති අතර මිහිමත වෙසෙන මුළු ආසියානු අලි ගහනය 43,445 ක් බව ගණන් බලා තිබේ. ආසියානු අලි ජනගහනය පසුගිය පරම්පරා තුන තුළ අවම වශයෙන් 50% කින් අඩු වී ඇත. ඔවුන් ජීවත්ව වාසභූමි ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව පරිහානියට ලක්වීම ඊට ප්‍රධාන ලෙසම බලපා ඇති අතර මේ වනවිට ආසියානු අලි ඇතුන් දිවිගෙවන සමස්ථ භූමි ප්‍රමාණ වර්ග කිලෝමීටර් 486,800 ක් පමණ සුළු ප්‍රමාණයක දක්වා සීමා වී ඇත.

ආසියානු අලි සංරක්ෂණ සම්බන්ධයෙන් සැලකීමේදී ශ්‍රී ලංකාව වැදගත් භූමිකාවක් ඉටු කරයි. ගෝලීය ආසියානු හස්ති වාසභූමි වලින් 2% කට වඩා අඩු ප්‍රමාණයක සමස්ථ ආසියානු අලි ඇතුන්ගෙන් 10% කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වීම ඊට හේතුවයි. එසේම ආසියානු අලි ඇතුන් දිවිගෙවන රටවල් අතර ඉහළම මානව ඝනත්වයක් සහිත රටක් වශයෙන්ද ශ්‍රී ලංකාව සැලකේ. ශ්‍රී ලංකාවේ වන අලින්ගේ ජනගහනය 2011 දී 5879 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. දිවයිනේ අලි ඇතුන් සඳහා ප්‍රධාන තර්ජනයක් වන්නේ හස්ති නිජබිම් සීග්‍රයෙන් මානව ජනාවාස හා ස්ථීර වගාබිම් බවට පත්කිරීම නිසා හටගෙන ඇති අලි මිනිස් ගැටුමයි. මෙම වාසභූමි අහිමි කිරීම දිගින් දිගටම වේගයෙන් වර්ධනය වන අතර, විශේෂයෙන් පශ්චාත් යුද සමයේ සිදුකෙරෙන 'සංවර්ධනය' අලි මිනිස් ගැටුම් ඔඩු දිවීමට දැඩි ලෙස හේතුවී ඇත. ශ්‍රී ලංකාවේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 60% ක පමණ ප්‍රදේශයක් තුළ පැතිරුණු මුළු වියළි කලාපය පුරාවටම හා වියලි කලාපයේ ඇතැම් ස්ථාන කිහිපයක අලි ඇතුන් හමුවේ.

මෙම අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු ආයතනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.ඒ සඳහා යොදා ගන්නා ප්‍රධාන ක්‍රම වන්නේ වගා ආරක්ෂා කිරීම, අලි රංචු වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීම, අලි මිනිස් ගැටුමට ප්‍රභල ලෙස දායකවන අලි අල්ලා පරිස්තාපනට කිරීම, හා විදුලි වැටවල් යෙදීමයි. කෙසේවෙතත්, මෙම ක්‍රම කිසිවක් වර්තමාන භාවිතයන් තුල ප්‍රමාණවත් සාර්ථකත්වයක් අත්කරගෙන නොමැති අතර අලි මිනිස් ගැටුම බරපතල සමාජ-ආර්ථික ගැටළුවක් ලෙස දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.

පසුගිය දශක හය පුරා ශ්‍රී ලංකාවේ අලින් සංරක්ෂණය හා අලි මිනිස් ගැටුම පාලනය සඳහා වනජීවීය භාවිතා කරන ප්‍රධාන සිද්ධාන්තය වන්නේ වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශ වලට අලි ඇතුන් සීමා කිරීමයි. කෙසේ වෙතත් වත්මන් වනජීවී ආරක්ෂිත ප්‍රදේශය ජාලය මගින් ආවරණය වන්නේ දිවයිනේ මුළු බිම් ප්‍රමාණයෙන් 13% ක් පමණ වන අතර දිවයිනෙහි ආසන්න වශයෙන් 60% ක් පමණ ප්‍රදේශයක වන අලි ඇතුන් ජීවත්වේ.

අලි වෙඩි වලට නැවත නැවත නිරාවරණය වීම නිසා අලි ඇතුන් වඩාත් ආක්‍රමණශීලී වීම නිසා අලි වෙඩි භාවිතය දැන් දැන් යල්පැන ගිය අලි පාලන ක්‍රමවේදයක් බවට පත්වෙමින් පවතී. ඒ නිසා ගම් වදින අලි පලවා හැරීම වඩාත් දුෂ්කර ප්‍රයත්නයක් බවට පත්ව ඇති අතර අලි ඇතුන්ගේ ප්‍රහාර වඩාත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන ඇත. අලි පලවා හැරීම මගින්ද සිදුවන්නේ අලි ඇතුන් වඩාත් ආක්‍රමණශීලී වීම වන අතර එමගින්ද අලි මිනිස් ගැටුම උග්‍ර අතට හැරීම සිදුවේ. අලි මිනිස් ගැටුමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පිරිමි අලින් අලි පලවාහැරීම් වලින් පසු නැවත මුල් වාසභූමි වෙත පැමිණීම හෝ පලවාහැරීම් මඟහැර සිටීම සිදුවේ. අලි පලවාහැරීම් වලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ අලි පැටවුන් හා ගැහැණු සතුන් පමණක් වන අතර එම සතුන් පීඩාවට පත්වීම හා විශේෂයෙන් අලි පැටවුන් අකාලයේ මියයාම පමණක් මෙමගින් සිදුවේ.

විශේෂයෙන් මිනිස් ජීවිත හා දේපොළවලට තර්ජන එල්ල කරන බවට චෝදනා ලබන අලි ඇතුන් පරිස්ථාපනය නොඑසේනම් තමන් වෙසෙන වාස භූමිවලින් නිර්වින්දනය කර අල්ලා බැඳ දමා ලොරියක් වැනි ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් එම සතුන්ගේ පාරම්පරික වාසභූමියෙන් ඉවත් කර වඩාත් දුරබැහැර ආගන්තුක පරිසරයක පිහිටි වනජීවී රක්ෂිතයකට පිටමංකිරීමද වනජීවීය භාවිතා කරන අමනෝඥ අලි මිනිස් ගැටුම් පාලන ක්‍රමයකි. එවැනි අලිද යලි තම පාරම්පරික වාසභූමිය වෙතම යලි පැමිණීම, ආගන්තුක පරිසරයේ නැවත අලි මිනිස් ගැටුම් ඇතිකරගැනීම හා අකාලයේ මරණයට පත්වීම සිදුවේ. වර්තමාන සන්දර්භය යටතේ මෙම ගැටුම අවම කිරීම සඳහා විදුලි වැටවල් මගින්ද සාර්ථක පිටිවහලක් නොලැබේ. ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට නම් නිසි ප්‍රමිතියකින් යුතුව, නියම ස්ථානයේ ඉදිකිරීම හා අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සිදුකිරීම අවශ්‍ය වේ. නමුත් බොහෝ විදුලි වැටවල් ඉහත අවශ්‍යතාවලින් එකකට හෝ ඊට වැඩි ගණනක් සපුරා නැත. එම නිසා ඒවාට ඇත්තේ මාස කිහිපයක සිට වසරක පමණ කෙටි ආයු කාලයක් පමණි. දුර්වල විදුලි වැටවල් කැඩීමට හුරුවන අලි පසුව හොඳින් නඩත්තු කෙරෙන විදුලි වැටවල් බිඳ වැටීමටද හුරුවීම නිසා අවසාන ප්‍රතිඵලය සමස්ථ විදුලි වැටවල් ක්‍රමයම අසාර්ථක වීමය.

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් සැලකියයුතු ප්‍රමාණයක් ජීවත්වන්නේ වනජීවී රක්ෂිත වලින් පරිබාහිරව වන අතර එම සතුන්ගේ වාසභූමි සංරක්ෂණය කිරීමේ පළමු ව්‍යුහගත ප්‍රයත්නයද සාර්ථක වූයේ නැත. මෙසේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ප්‍රදේශයේ ජීවත්වන 400 කට වැඩි වන අලි ඇතුන් ප්‍රමාණයක් විද්‍යාත්මකව හදුනාගෙන එම අලි ගහනයේ වාසභූමිය ‘වන අලි කළමනාකරණ ප්‍රදේශයක්’ වශයෙන් නඩත්තු කිරීම සඳහා එම ප්‍රයත්නය දැරිණ. කෙසේවෙතත්, නිසි නීතිමය ආරක්ෂාවක් නොතිබීම, අඛණ්ඩ නීති විරෝධී අනවසර ඉඩම් ඇල්ලීම් හා අවිධිමත් සංවර්ධන ක්‍රියාකාරකම් නිසා මෙම සංරක්ෂණ ව්‍යාපෘතියද සාර්ථක වූයේ නැත.

මෙවැනි පසුබිමක් තුල ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පාලනය හා වන අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රායෝගික හා සපලදායක විසඳුමක් හමස් පෙට්ටියෙන් පිටතට ගත යුතු කාලය අපි දැනුදු ගෙවා දමමින් සිටින්නෙමු. නමුත් ඒ වෙනුවට සිදුවන්නේ ඇතැම් තක්කඩි දේශපාලකයන් බොර දියේ මාළු බෑම පමණි. මෙරට වනාන්තර වල ජීවත්වන අලි ප්‍රමාණය ‘වැඩි’ බව පවසමින් එම සතුන් විකුණා මුදල් ඉපයීමට යෝජනා ඉදිරිපත්කරන්නේ එවන් තක්කඩි දේශපාලකයෝ. එවැනි අනුවණයන් පිළිබදව අපට විමතියක් නොමැත. නමුත් කණගාටුවට කරුණ වන්නේ අලි ඇතුන් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ දෙස් විදෙස් පතල අපේම රටේ විද්වතුන් සිටියදී හා ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිපල අලි ඇතුන් සංරක්ෂණයට ඉවහල් කරගැනීමට ඕනෑතරම් අවකාශ තිබියදී මෙවැනි අමනෝඥ අවස්තාවදීන්ගේ අමන කියුම්වලට මහා දාර්ශනිකයන්ගේ වියත් වදන් වලට මෙන් පාලන තන්ත්‍රයේ ඉඩ කඩ සැදීමය.

වනජීවී සංරක්‌ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීම පෙර රජ දවස දක්‌වා ඈතට ඇදී යන අතර මෙරට කරවූ ඉපැරණි රජවරුන් ඒ සඳහා අත්පොත් තබන්නේ වනජීවීන් වෙනුවෙන් වෙන් කෙරුණු ලෝකයේ ප්‍රථම අභය භූමිය මෙරට තුළ ස්‌ථාපනය කරමිනි. ගහකොළ හා සතා සිවුපාවා වෙනුවෙන් සෙත සෑදූ එවැනි ගෞරවාන්විත අතීතයක්‌ අප රටට හිමිව තිබුණද වර්තමානයේ අප රට කරවන පාලකයන් වනජීවී සංරක්‌ෂණය සම්බන්ධයෙන් දක්‌වන්නේ ඉතා නිද්‍රශීලී පිළිවෙතකි. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදුවූ ඉතා අමානුෂිකම සංවිධානාත්මක වනජීවී අපරාධය ලෙස සැලකිය හැකි අම්මාවරුන් මරා වනාන්තර වල ජීවත්වූ අලි පැටවුන් නීතිවිරෝධී ආකාරයෙන් පැහැරගෙන විත් මුදලට විකිණීමේ ජාවාරමට මුල්වූ පාපතරයන්ට නිසි දඬුවම් ලබා දීම පසෙක තබා එම අලි පැටවුන්ද මුදලට විකුණා මුදල් ඉපැයීමට යෝජනා කිරීමට තරම් බංකොලොත්වී ඇති වර්තමාන යහපාලන ආණ්‌ඩුවද දැන් වනාන්තර වල ජීවත්වන අලි ඇතුන්ද රටට බරක් යැයි කියමින් විකුණා දැමීමට යෝජනා කිරීම අමුතු දෙයක් නොවේ.

මෙරට වන අලි ඇතුන් නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කළමනාකරණය කිරීම හා සංරක්ෂණය කිරීම මගින් අලි මිනිස් ගැටුම පාලනය කරගැනීමටත් අලි ඇතුන් ප්‍රධාන සංචාරක ආකර්ශකයක් ලෙස භාවිතා කරමින් මුදල් ඉපයීමටත් හැකියාව තිබියදී එම සතුන් සිල්ලරට විකුණා මුදල් ඉපයීමට තරම් නිර්ලජ්ජිත දේශපාලකයන් සිටින රටක අනාගත කෙබඳු වේදැයි සිතාගැනීමටත් අපහසුය. එබැවින් ‘අනේ අලි ඇතුනේ, තොපටත් හෙටක් නැත්තේ’ මැයි කියමින් නිහඬවීම හැර වෙනත් යමක් ලිවීම අවශ්‍ය නැතැයි අප සිතන්නේ අප ඕනෑවටත් වඩා අලි ඇතුන් කළමනාකරණය හා සංරක්ෂණය පිළිබඳව රට කරවූ හා කරවන බීරි අලින්ට වීණා වයා ඇති බැවිණි.

සුපුන් ළහිරු ප්‍රකාශ්

Add comment


Security code
Refresh