24
Wed, Jan

සංවාද

කසළ සම්බන්ධ පාලකයන්ගේ ප්‍රතිපත්තිය වූයේ කොතැනක හෝ ගොඩගැසීමය. ඒ සදහා විවිධ ව්‍යාපෘති ඇති බව ප්‍රකාශ කළද ජනතාව කුනු ගොඩගසන ක්‍රියාදාමයට දිගින් දිගටම විරෝධය පළ කළේ නිසි කසළ ප්‍රතිචක්‍රිකරණ සැලැස්මක් ආණ්ඩුව විසින් ඉදිරිපත් නොකිරීම නිසාය. එවැනි ව්‍යාපෘති සදහා ඉදිරිපත් වූ ව්‍යවසායකයන් පවා නිහඩ කරවමින් ‘කුනු කදු ගොඩගැසීමේ ලාභදායක ව්‍යාපෘති‘වලට ප්‍රාද්ශීය දේශපාලකයන් මැදිහත් විය.

කසළ ප්‍රශ්නයට තාවකාලික විසදුම් ලෙස බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ ඒ කසළ ගොඩගැසීමට වෙනත් ඉඩකඩ සහිත ස්ථානයක් බව පැහැදිලිය. නමුත් කසළ කදුවල පාරිසරික හානියට විසදුම වන්නේ ඒවා වෙනත් තැනක ගොඩගැසීම නොවේ. කසළ කදුගැසීම වෙනුවට නිශ්චිත ප්‍රතිචක්‍රීකරන ක්‍රම භාවිතය සදහා යායුතුය. එය දේශපාලකයන්ට ලාභදායක නැත. ඒ නිසා ඒවාට බරතැබීම වෙනුවට ඉඩම්වල කදුගැසීම හා ඒ වෙනුවෙන් ජනයාගේ බදු මුදල්වලින් ගෙවන ගාස්තු සහ අතරමැදි කොමිෂන් සාක්කුවට දමාගැනීමට ඔවුහු ගිජු වෙති.

බ්ලුමැන්ඩල් කසළ කන්ද පාරිසරික හා සමාජ ප්‍රශ්නයක් ලෙස ඉදිරියට ගෙනැවිත් අධිකරණ තීන්දු ඉදිරිපත්වීමෙන් පසුව මීතොටමුල්ලට මාරුකරන ලද්දේ තාවකාලික විසදුමක් ලෙසය. එහිදී ජනතා විරෝධය මතුවූයේ මුලින් අවසර දුන් අක්කර 2 වෙනුවට තවත් අක්කර 16ක් ඒ සදහා යොදාගැනීම පටන්ගත් විටය. විරෝධතා මැද පවා තවත් අක්කර 3ක් ඒ වෙනුවෙන් එක්කරන්නට වත්මන් පාලකයන් තීන්දු කළ බව අමතක කළ යුතු නැත. මීතොටමුල්ල ඛේදවාචකයට හිටපු පාලකයන් මෙන්ම වත්මන් පාලකයන්ද වෙනස් නොවුණූ ඇමැති බාන්ද වගකිවයුතු බව අප කියන්නේ ඒ නිසාය. විරෝධතා නිසා ව්‍යාපෘති කරන්න බැරි වුණ බව කියන්න ඇමැතිවරු ඉක්මන්වන්නේද තමන්ට චෝදනා එල්ලවන බව දන්නා නිසාය.

නාගරික කසළ මීපේ වෙතත් පසුව දොම්පෙ වෙතත් අවසානයේ පුත්තලමේ අලුවක්කාලු වෙතත් ප්‍රවාහනය කරන බවට දේශපාලකයන් ප්‍රකාශ කළේ ප්‍රතිචක්‍රිකරණය වෙනුවට කසළ ගොඩගැසීම ආදායම් මාර්ග බවට පත්ව ඇති නිසාය.

චන්දන සිරිමල්වත්ත

Add comment


Security code
Refresh