24
Wed, Jan

ගීතය

ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ  අමා ඵලයක් වන් දාරක ස්නේහය පිළිබඳ විශිෂ්ට ගී පද දහස් ගණනක් ලියැ වී ඇතත්, ඊට අවමන් කෙරෙන ආකාරයේ ගී පද රචනා කිහිපයක් ද ලියැ වී තිබේ.

දයාරත්න රණතුංග ගායනා කරන 'රූං පෙත්ත කැරකෙනවා' සහ නිමල් ගුණසේකර ගායනා කරන 'මට නෙවෙයි ඔබ ආදරය කලේ ' ගී, එයින් මුල් තැන ගනී.
ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයෙන් ලියැ වී තිබෙන මෙකී දුර්ප්‍රබන්ධවලින් පීතෘ ස්නේහය තිරිසන් මට්ටමකට ඇද දමා තිබේ.

'සුදු කොට රැලි ගවුම ඇඳන් පාසල් ගිය කාලෙ වගේ'
'පුංචි පුතේ නුඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා',
'පුංචි පුතා අපෙ ලොවට එකතු වී මව් පදවිය ලද දා

මා අමතක කර සුරතල් බැලුවේ කිමද කියන් ළඳුනේ - ආදරේ නම්' වැනි අදහස්වලින් ඉස්මතු කෙරෙන්නේ රෝෂයයි.

තමන් ගේ ලෙයින් ඉපදුණු දරුවකු ලෙස මේ ආකාරයෙන් බලනු ඇත්තේ කවර නම් පියෙකු ද? දරුවා කෙරෙහි දක්වන අපමණ මාතෘ සෙනෙහසට වෛර කරන පියවරුන් යනුවෙන් හැඳින්වෙන ජඩ මනස් ඇත්තන් සිටිය හැකි වුවත්, එය ගී පද රචනයකට යොදා ගත හැකි ආකාරයක් ද තිබේ. ඒ විවේචනාත්මක ව ය.

දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වන වධ වේදනා සුව වන්නට කලක් ගත වන අතර, මව ගේ එකී වේදනා සමනය කෙරෙන දිව ඔසුව වන්නේ ද දරු සෙනෙහස ම ය.
මේ දෙස කරුණාව පෙරදැරි ව බැලිය හැකි ආදරණීය හදවතක් පිරිමියාට තිබිය යුතු ය. මිනිස් පිරිමියා ගෙන් ලෝකය අපේක්ෂා කරනුයේ එවැන්නකි. පීතෘත්වය යනු එයයි.

උක්ත ගී පද ද්විත්වයෙන් පීතෘ සෙනෙහසට සහ සිංහල ගී පද සාහිත්‍යයට සිදු කරන ලද ඉමහත් වරද, නිවැරැදි කෙරෙන ආකාරයේ මහඟු ගී පද රචනයක් ඇස ගැටීමත් පිනකි. පහත දැක්වෙන්නේ එයයි.

රාත්‍රියේ සම්භෝගය අවස්ථාව ද පාදක කර ගනිමින් ලියැ වී තිබෙන මෙකී පදවැල සාහිත්‍යසම්පන්න පදවැලක් ලෙස අග්‍රස්ථානයේ වැජඹෙයි.
දරුවා නිදි ගන්වන ඈ, සැමියා නිදන නිදි යහනට 'නූපුර නොසළා' පැමිණින්නී ය. හෙවත් වඩින්නී ය. ඒ පුතු ඇහැරෙන නිසා ය. ඒ මොහොතේ ම අනෙක් යහනක නිදන පුතු පිළිබඳ ව, පියා ගේ හදවතේ ඇති වන අපමණ පීතෘ ස්නෙහය, ගී පද රචකයා ඉස්මතු කර තිබෙන ආකාරය මානව ගුණයෙන් අනූන ය.

පීතෘ ස්නේහය, විජයිඳුපායේ තබා තිබේ. එහෙත්, මව ගේ ඇකයෙන් මොහොතකට මිදෙන දරුවා, අනාරක්ෂිත වන බව දැන ගන්නා පියා ගේ සිත චංචල වෙයි. සියලු අදහස් ජනිත වන්නේ ඒ ඔස්සේ ය. පුතුට ආශීර්වාද කරන ලෙස පියා, මවට ආරධනා කරයි. ඒ, මව් සෙනෙහසේ අගය දන්නා නිසා ය. ඒ අනුව, මව සහ පියා සම අසුන්වල හිඳුවා තිබේ. මෙය නූතනවාදී කියවීමකි.

මෙයින් ප්‍රකාශමාන වන්නේ පීතෘ ස්නේහය යනු, ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ම දිගුවක් ලෙස පුනරාවර්තනය කෙරෙන්නක් බව ය.
පීතෘ ස්නේහය යනු, ස්ත්‍රී ශරීරයට ලොල් වීමෙන් ඇති වන රෝෂය යනුවෙන් අදහස් කරන ලද අමන, අනුවන රචකයන්ට, මේ ගී පදවැල අප්‍රමාණ පාඩමක් වැන්න.

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසළා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳුපායට වඩින ලියේ

බුදුගුණ ලකරින් මංගල සුතුරින්
පිරුවානා කවි සිලෝ කියා
ආශිර්වාදය කළ මැන පුතු හට
සරසවි දැහැනෙන් තිලක තියා

සඳ රේඛාවෙන් බසින ලියේ...

සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා
හෙල විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහනේ සිරස තියා

සඳ රේඛාවෙන් බසින ලියේ...

ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - කලණි පෙරේරා
ගී පද - හේමසිරි ගුණතුංග

- කුමාර ලියනගේ

Add comment


Security code
Refresh