24
Wed, Jan

ඉතාලිය

ඉතාලි ව්‍යවස්ථා ජනමත විචාරණය - 2008 දී ආමරිකාවෙන් ආරම්භ වූ නව ලිබරල් ආර්ථික කඩාවැටීම යුරෝපය හා මුලූ ලෝකය හරහාම හඹායමින් තිබේ යුරෝපා සංගමයේ රටවල්ද මෙයට ගොදුරු වූ අතර මේ වන විට ඉන් ගොඩ ඒමට විවිධ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කරමින් තිබේ. අර්බුදයට ඇත්ත විසඳුම තිබියදී පවතින ක‍්‍රමය තුලම විසඳුම් සෙවීමට මේ සියලූ රටවල් දඟලමින් සිටී අප අද කථා කරන ඉතාලි ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයද අප අවධානයට ගත යුත්තේ ඒ සන්දර්භය තුල.

ඉතාලිය මේ වන විට පසුවන්නේ ආර්ථික අර්බුදයේ පතුලේය එය යුරෝපා සංගමය තුල කඩා වැටීමට නියමිත ආර්ථිකයක් සහිත රටවල් 5න් එකක් වේ මේ ආර්ථික අර්බුදයත් සමග ඉතාලිය තුල දේශපාලන අර්බුදයද උත්සන්න විය. ඒ අනුව මේ වන විට තනි පක්ෂයකට ආණ්ඩුබලයක් නැති අතර පාලනය කරන්නේ හවුලකි ජනතා ගැටලූ වලට විසඳුම් ගෙනෙන්නට ඔවුන් අපොහොසත් වන විට ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝදයකි ආර්ථික නොහැකියාවට එක් ප‍්‍රධාන හේතුවක් ලෙස ආණ්ඩුවම ප‍්‍රකාෂ කරන්නට යෙදුනේ රාජ්‍ය වියදම් අධික බවයි ජනතාවගේ පැත්තෙන්ද ඇත්තේ ඉතාලිය තුල කිසිදු වැදගත් කාර්යයක් නොකරන ජනතාවගෙන් යැපෙන විශාල දේශපාලන ව්‍යුහයක් පවතින බවයි. ඒ නිසා මෙම වියදම් කපා හැරීම සඳහා කටයුතු කල යුතු බවයි මෙය දඩමීමා කරගත් දේශපාලන ව්‍යුහය ඊට විසඳුම් ලෙස යෝජනා කලේ ඉතාලියේ මැතිවරණ සඳහා අධික මුදලක් දැරීමට සිදුවීමත් පාර්ලිමේන්තුව හා සෙනෙට් මණ්ඩළය වැනි ව්‍යුහයත් අධික බරක් බවත් ස්ථාවර ආණ්ඩු පිහිටුවන්නට නොහැකි වීමෙන් කෙටි කලක් තුල නැවත නැවත මැතිවරණ කැඳවන්නට වීමත් ඊට අමතරව දිස්ත‍්‍රික් පලාත් ප‍්‍රාදේශීය ආකාරයේ මැතිවරණ වරින් වර වෙන වෙනම පැවැත්වීමත්  විශේෂයෙන්ම බහු පක්ෂ ක‍්‍රමය නිසා සුලූ පක්ෂ වලට ආණ්ඩු වෙනස් කිරීමේ තීරනාත්මක හැකියාව ලැබී තිබෙන නිසාත් ද්වී පක්ෂ ක‍්‍රමයකට යායුතු බවත්.

මෙවැනි හේතු වල ප‍්‍රතිපලයක් ලෙස ඒ සඳහා මැතිවරණ ක‍්‍රමය ඇතුලූ ඉතාලි ව්‍යවස්ථා සංසෝධනය කල යුතුය යන්න ඔවුන් ආ නිගමනය විය. ඒ අනුව අලූත් ව්‍යාවස්ථාවක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් විය.
එහෙත් එහි මූලිකවම තිබෙන  ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ හා ඉන් පිටත සිටින වාමාංශික බලවේග ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට කල අරගළයේ ප‍්‍රතිපලයක් ලෙස තමයි දෙසැම්බර් 4 පැවැත්වීමට නියමිත මේ ජනමත විචාරණ අවස්ථාව ජනතාවට ලැබී තිබෙන්නේ.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුව ඔනෑම පාර්ලිමේන්තු පනතක් සම්බන්දයෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටීමේ අයිතිය පුරවැසියාට ඇත. ඒ සඳහා අවම වලංගු ජනතා අත්සන් 50000ක් අවශ්‍ය වේ. ඒ අනුව මෙම නව ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධ විවිධ පාර්ෂවයන් එක්ව පසුගිය කාලේ කල ජනතා අත්සන් එකතුකිරීමේ ප‍්‍රතිපලයක් ලෙස ආණ්ඩුවට මෙම ජනමත විචාරණය කැඳවන්නට සිදුවිය.

මෙහි යහපත් සහ අයහපත් දෙවර්ගයේම යෝජනා ඇත වෙන ආකාරයකට කියනවානම් වමත් දකුනත් දෙකම අකමැති බොහෝ දේ ඇත. ඒ අනුව ජනමත විචාරණයේදී නව ව්‍යවස්ථාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාෂ කරන ලෙසට මේ දෙපාර්ෂවයම ජනතාවගෙන් ඉල්ලමින් සිටී. ඒ නිසාම මේ වන විට ජනතාව තුල දැඩි ව්‍යාකූලත්වයක්ද හට ගෙන ඇත. සමහරෙක් ප‍්‍රකාෂ කරන්නේ අන්ත දක්ෂිනාංශික හා ජාතිවාදී කොටස්ද එයට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලීම නිසා තමන් වික්ෂිප්ත වී ඇති බවකි. ඒ නිසාම සමහර අය පවසන්නේ තමන් මෙයට පක්ෂව ඡුන්දය දෙන බවයි. ඒ ව්‍යවස්ථාවේ ඇති කරුණු මත පදනම්ව නොව ජාතිවාදී හා දක්ෂිනාංශික පක්ෂ වලට ඇති තම අකමැත්ත ප‍්‍රකාෂ කිරීම සඳහායි.

කෙසේ වෙතත් ආණ්ඩුවද මේ හදන්නේ බොරදියේ මාලූ බෑමටය. වියදම් කපා හැරීමේ මුවාවෙන් තම බලය ස්ථාවර කර ගැනීමේ උප්පරවැට්ටියකටය.

අප දැන් මෙහි ඇති වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කරමු

වමේ කණ්ඩායම් මෙයට එරෙහි වන ප‍්‍රධාන හේතුව වන්නේ මින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක් එල්ල වන නිසාය . ඔවුන්ගේ අරමුණ එය පැරදවීමය. ඒ අතරට මෙය සම්මත වුවහොත් දැනට තිබෙන ද්වී පාර්ලිමේන්තු ක‍්‍රමය අහෝසි වී සෙනට් මණ්ඩළය නාම මාත‍්‍රික එකක් වන අතර එහි නියෝජිතයින් පත් කිරීම ජනතා ඡුන්දයෙන් නොව බලයේ සිටින දේශපාලන පක්ෂයන් විසින් සිදු කිරීමයි. එමෙන්ම දැන් තිබෙන පරිදි කිසියම් පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත වුවද සෙනට් සභාවෙන් සම්මත නොවේනම් ක‍්‍රියාත්මක කල නොහැක.
පසුගිය අත්දැකීම් වලට අනුව සමහර පක්ෂ වලට පාර්ලිමේන්තු බලය තිබුනත් සෙනට් සභාවේ එම බලය අවම වී ඇත. ඒ නිසාම පාර්ලිමේන්තුව නැවත පරික්ෂා වීමද සෙනට් මණ්ඩළයෙන් සිදුවේ. නියෝජිතයින් පත්වීමද මහජන ඡුන්දයෙන් වීම නිසා පාර්ලිමේන්තුවේ පිළිබිඹුවම සෙනට් මණ්ඩළයේ ප‍්‍රකාෂ වන්නේද නැත. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් හොඳ ගුනයක් බවයි ඔවුන්ගේ අදහස. යෝජිත ව්‍යවස්ථාවෙන් එය මුලූමනින්ම අකර්මන්‍ය වන අතර පාලක පක්ෂයේම නියෝජිතයින්ගෙන් සමන්විත වීම නුසුදුසු බවයි ඒ අනුව මුල් තර්කය වූ වියදම් අඩු කිරීමද සැලකිය යුතු මට්ටමකින් සිදු නොවන බවයි.
 
තවද මෙයට අනුව මැතිවරණයකින් වැඩියෙන්ම ඡුන්දය ගන්නා පක්ෂයට පාර්ලිමේන්තුවේ සියයට 54ක බලයක් හිමිවේ. එවිට සුලූ පක්ෂ සහය නැතිව ආණ්ඩුවක් ගෙනයා හැකිය. එනිසා නියමිත කාලයට පෙර මැතිවරණ එන්නේද නැතිවා පමනක් නොව සුලූ පක්ෂ පදේට නටන්නට සිදු වන්නේද නැත.

එහෙත් වාමාංශිකයින් පෙන්වා දෙන්නේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වලංගු ඡුන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ඉක්මවීමේ අවශ්‍යතාවය මින් අහෝසි වී ජනතා කැමැත්ත විකෘති වී ඒකාධිපති පාලනයකට මෙය පාර කපන බව හා වෙනස් අදහස් නියෝජනයකට ඉන් ඉඩ ඇහිරෙන බවයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරකි.  ඒ අනුව වලංගු ඡුන්ද වලින් සියයට 25ක් ගත් පක්ෂයනම් වැඩි ඡුන්දලබාගත් පක්ෂය වන්නේ ආණ්ඩු බලය හිමි වන්නේ ඔවුන්ටය. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘතියක් බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ වගේම පනතක් පිළිබඳ යෝජනාවක් ගෙන එන්නට ජනතාවට ඇති අවස්ථාවටද මෙයින් වැට බඳින්නට උත්සහ කර ඇත. දැනට ජනමත විචාරණයක් කැඳවා ගන්නට අවශ්‍ය ජනතා අත්සන් 50000 වෙනුවට එහි සීමාව මෙම ව්‍යවස්ථාවෙන් 150000දක්වා වැඩි කර ඇත. එසේ වුවහොත් මින් පසු කිසිදා ජනයාට එරෙහි පනතක් කෙරෙහි බලපෑම් කිරීමේ අවම අවස්ථාවද ඇහාරෙන බව වමේ මතයයි.

දක්ෂිනාංශික පක්ෂ අතර මුල්ම අරමුණ වන්නේ මේ හරහා ආණ්ඩුව ගෙදර යැවීමයි. ඉන් පසු තමන්ට බලයට එන්නට ඉඩ හදා ගැනීමයි. මොකද මේ වන විට ඉතාලි ආණ්ඩුව සමන්විත වන්නේ පැවති ආණ්ඩුවේ අගමැති වූ බෙර්ලූස්කෝනිගෙන් වෙන්වූ දක්ෂිනාංශික කොටසත් මැද වම කියාගත් දකුණට පල්ලම් බැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා සාම්ප‍්‍රදායික වම කෙරෙහි කලකිරී ඉන් ඉවත්වී ස්වාධීනව මැතිවරණයට තර`ග කල ස්තෙල්ලා කණ්ඩායමේ පිරිසත් එකතුවය.

අනෙක් දක්ෂිනාංශික හා ජාතිවාදී පක්ෂ මෙයට විරුද්ධ වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර වාදයට ඇති සැලකිල්ලක් නිසා නොව තමන්ට ආණ්ඩුවකට හවුල් වී ඇමතිකමක් ගෙන ආණ්ඩුබලය හෙබවීමට ඇති අවස්ථාව අහිමි වීම නිසාය. කෙසේ නමුත් වම දකුණ දෙකම එකවර මෙහි නෝ  පාර්ෂවය නියෝජනය කිරීම විසින් ජනයා ව්‍යාකූලත්වයකට පත්කර ඇත. අපගේ අවබෝධයට අනුව එය සැලකිල්ලට නොගෙන ප‍්‍රධානම කාරණය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීම වස් මෙය පරාජය කල යුතුයි. එම නිසා ඉතාලි පුරවැසිභාවය ලත් ලාංකිකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ (NO)නෝ යන්නට කතිරය ගසා මෙය පරාජය කිරීමට දායක වන ලෙසයි.

Add comment


Security code
Refresh