27
Fri, Apr

විදෙස් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ජයගෙන තිබේ. ඔහු ජාතිවාදයේ, පුරුෂ මූලික අගතීන්ගේ, ප්‍රජාතන්ත්‍රවිරෝධී අත්තනොමතිකත්වයේ සහ පාදඩ දේශපාලන සංස්කෘතියේ සංකේතයක් බඳුය. එක්සත් ජනපද ජනාධිපතිවරණ ප්‍රතිපලය විසින් පෙන්වනුයේ මේ සමාජ ආර්ථික ක්‍රමයේ නිම නොවන මාරාන්තික අර්බුදයයි. මේ ක්‍රමයට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී, ඉදිරිගාමී, පිරිසිදු, මහත්මා දේශපාලන සංස්කෘතියක් ලබා දිය නොහැක. ලබා දිය හැක්කේ මෙවැනි කුණු ගොඩවල් පමණි. මෙවැනි පරිහානික සමයක ඉතිහාසයේ වේදිකාවට නගින්නේ මෙවැනි ජාතිවාදී, පුරුෂෝත්තමවාදී, ඒකාධිපති, දුෂිත පාදඩ චරිත පමණි. ධනවාදය එලෙසම පවතිද්දී 'වැදගත්' 'පිරිසිදු' 'ලිබරල්' දේශපාලන සංස්කෘතියක් ප්‍රාර්ථනා කළ ලංකාවේ ජනතාවට මෙන්ම එක්සත් ජනපදයේ ජනතාවටද එය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් බව ඔප්පු වෙමින් තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරනයේදී හිලරි ක්ලින්ටන් පෙනී සිටියේ පවතින සාපේක්ෂ තත්වයන් එලෙසම පවත්වාගෙන යාම වෙනුවෙනි. ඇයගේ පක්ෂයේම ප්‍රතිවාදියා වූ බර්නි සෑන්ඩර්ස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් එහි වෙනසක් වෙනුවෙන් විකල්ප ඉදිරිපත් ඉදිරිපත් කළේය. සෑන්ඩර්ස්ගේ දේශපාලන ස්ථාවර පිලිබඳ අපට කුමන විවේචන තිබුනද ඔහු විකල්පය ලෙස සමාජවාදය ඉදිරිපත් කළේය. ට්‍රම්ප් සුළුතර ප්‍රජාවන් මර්දනය කිරීම, අත්තනෝමතික ඒකාධිපතිත්වය ඇතුළු අන්ත දක්ෂිනාංශික විකල්පයක් ඉදිරිපත් කළේය. අවසානයේදී ජය හිමිව ඇත්තේ දකුණටය. එහෙත් ඉතිහාසය අවසන්ව නැත. මෙම තේරීමද දේශපාලන ආර්ථිකයේ ප්‍රකාශනයකි. තව දුරටත් වර්ධනය වන අර්බුදය විසින් විකල්පය වමෙන් බව එක්සත් ජනපද ජනතාවට ඒත්තු ගැන්වෙනු ඇත. ලංකාවේ ජනතාව සම්බන්ධයෙන්ද එය එලෙසමය. එසේ ඒත්තු ගැන්වීම සඳහා වාමාංශිකයන් වැඩකළ යුතුය. ප්‍රශ්නය පුද්ගල ප්‍රශ්නයක් නොවන නිසා විසඳුම මූණු මාරුවක් නොවේ. ප්‍රශ්නය දේශපාලන ආර්ථිකයේ ප්‍රශ්නයක් නිසා වෙනස් කළ යුතුව ඇත්තේ එයයි.

සටහන - පුබුදු ජයගොඩ

Add comment


Security code
Refresh